චීන තානාපතිගේ නමින් සංසරණය වන ව්‍යාජ ලිපියක් ගැන විමර්ශනයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුගත කිරීම සම්බන්ධව චීන රජයේ ස්ථාවරය සඳහන් කරමින් චීන තානාපති කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදාගෙන නිකුත් කළ ව්‍යාජ ලිපියක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.

ඒ මෙරට චීන තානාපතිවරයා කළ පැමිණිල්ලක් මතය. චීන තානාපතිවරයා තමාට කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පැවැසීය.

මෙම ව්‍යාජ ලිපිය සකස් කළේ කවුරුන්ද? මෙම ලිපිය සංසරණය කිරීමට මුල් වූ පාර්ශ්ව කවුරුන්ද යන්න සොයා බලන ලෙස චීන තානාපතිවරයා ඉල්ලා ඇත. මෙරට චීන තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යවන ලිපියක් මෙන් මෙම ලිපියේ කරුණු අන්තර්ගත වී තිබේ. ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබාදීමට නොහැකි බවත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවට සහාය වන ලෙස අයි.එම්.එෆ්. වෙත දැනුම් දිය යුතු බවත් මෙම ව්‍යාජ ලිපියේ ප්‍රධාන වශයෙන් සඳහන් කර තිබිණි.

පුවත යවන්න