මෝදර ධීවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර ඇමති වත්මන් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුවේ චෝදනා සනාථ කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට ලේඛනගත කර තිබූ ලේඛන අතුරින් එක් ලේඛනයක් අස්ථානගත වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහට දැනුම් දී තිබේ.
අල්ලස් කොමිසම හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රයට අදාළ නඩුව සම්බන්ධයෙන් “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ලේඛනයක් වශයෙන් නම් කර තිබූ ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2014 සැප්තැම්බර් 11 වැනි දිනට අදාළ අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාව මෙලෙස අස්ථානගත වී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
2014 වසරේ අගෝස්තු මස පළමුවැනිදාත් නොවැම්බර් මස පළමුවැනිදාත් අතර කාලයේ කොළඹදී මෝදර ධීවර වරාය ‘සී ගල්ෆ් යූ.කේ.’ සමාගමට අඩු මුදලකට බදු දීම සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය පෙළඹ වූ බවටද ඒ අනුව මෝදර ධීවර වරාය එම සමාගමට අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.
එමගින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ දැක්වෙන දූෂණය නමැති වරද සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිචෝදනා 05ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයන් 17 දෙනකු නම් කර ඇති විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 55ක් ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම නඩු භාණ්ඩ ලේඛනයක් මගින් අධිකරණයට දැනුම් දී තිබේ.
හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු අධ්යක්ෂ උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්යක්ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ නමැත්තන්ය.
ලංකාදීප