ජන්දයට බය වෙන හේතුව පාඨලී හෙළිකරයි

‘කොළඹ දිස්ත්‍රික්කය ඇතුලු සියලු දිස්ත්‍රික්ක වල විවිධ ආයතන වලින් මත සමීක්ෂණ කරලා තිබුණා. ඒ සමීක්ෂණය අනුව කීයද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය? 2500යි. 2.78%, ඉතින් මේකයි ඡන්ද තියන් නැත්තේ’ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ විශ්ව විද්‍යාල භූමි තුළට හමුදාව ඇතුළු වී අනීතික ආකාරයෙන් සිසුන්ට පහර දී සිසුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලය අසල සිදු වූ සිදුවීම් සහ කැලණි විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ගුරුවරු හා වෘත්තීය සමිතිවල අරගල එක්ක සිදු වූ ක්‍රියාවලිය. පළවෙනි කාරණය තමයි විශ්ව විද්‍යාලය තුළට පැමිණිලා පොලිසිය විසින් සිසුන්ට පහර දීම හා ඒ කඳුළු ගෑස් ප්‍රහාර නිසා යැයි විශ්වාස කරන තවත් ආරක්ෂක නිලධාරියෙකුගේ මරණයක් වාර්තා වීම. මේ නූතන විශ්ව විද්‍යාල ඉතාලිය, බොලක්නෝ නුවරින් තමයි බිහිවුණේ. ඒ බිහි වූ දවසේ සිට බොලොක්නෝව, සෝබෝ, ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල සිට ලංකාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය දක්වා තිබුණු සම්ප්‍රධාය තමයි ස්වාධිකාරය තැබීම. යම්කිසි ප්‍රශ්නයක් මතුවුණු අවස්ථාවක උපකුලපතිතුමාගේ අවසරය මත පොලිසිය ඒ විශ්ව විද්‍යාල තුළට ඇතුල්වීම තමයි සම්ප්‍රධාය. 1988 එවකට ජනාධිපති හා උසස් අධ්‍යාපන ඇමති ජේ ආර් ජයවර්ධන මහතා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා ශිෂ්‍ය නායකයින් හැටියට අපිත් එක්කත් එකඟතාවයක් හදාගත්තා නීතිය හා සාමය කඩවෙන අවස්ථාවකදී පවා පොලිසිය හෝ හමුදාව ඇතුල් කරන්නේ නැහැ උපකුලපතිවරයාගේ අනුදැනුමකින් තොරව හා පූර්ව දැනුම් දීමකින් තොරව කියලා. නමුත් අද පොලිසියේ ඇතැම් නිලධාරීන් නීතිය තමන් යැයි සිතා කටයුතු කරන තත්වයක් එක්ක විශ්ව විද්‍යාල තුළට ඇතුල් වෙලා ප්‍රහාර එල්ල කරන පත්වෙලා තියෙනවා. සුළු සේවකයා මියගියේ කල් ඉකුත් වූ පැරණි, කඳුළු ගෑස් වර්ග පාවිච්චියෙන් ද කියන එක සොයා බැලිය යුතු වෙනවා. පර්යේෂණ වලින් පෙනී ගිහින් තිබෙනවා ශ්වසන ආබාධ, හෘද ආබාධ හා දිගු කාලීන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවයි කියලා මේ කඳුළු ගෑස් වල අන්තර්ගත වෙන රසායනිකය නිසා. මේ පිළිබඳ මටත් තියෙනවා පුද්ගලික අත්දැකීමක්. ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කළ අවස්ථාවේ 1993 එතුමාගේ අවමංගල්‍ය පෙරහැරට ඉතාම දරුණු විදිහේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්ල කළා. ඒ අවස්ථාවේදී ඒ කඳුළු ගෑස් ආග්‍රහණය වීමෙන් දීර්ඝ කාලීන ස්වසන රෝග වලට මුහුණ දෙන්න මටත් සිදුවුණා. අපි ඒ කාලේ තරුණ ළමයි. අද තත්වය අපිට පැහැදිලියි. වැඩිහිටි පිරිස් වලට මේවා කිසිසේත්ම ඔරොත්තු දෙන්නේ නැහැ. එම නිසා වහාම මේ පිළිබඳව මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් කල යුතුයි. නිවැරදි ප්‍රමිතියෙන් තොරව කල් ඉකුත් වූ කඳුළු ගෑස් වර්ග පාවිච්චි කරනවා නම් ඒවා විෂ රසායන ලෙස නම් කොට ඒ පිළිබඳව අණදුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි. ඒ වගේම විශ්ව විද්‍යාල සිසුන්ගෙනුත් ගුරුභවතුන්ගෙනුත්, සේවකයින්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා මේ ලේ පිපාසිත පිරිස් වලට උඩගෙඩි දෙන ආකාරයේ නීති විරෝධී හිංසාකාරී කටයුතු වලට විශ්ව විද්‍යාල භූමි ගොදුරු කරන්නත් එපා. අවිහිංසාවාදී සීමාව තුළ අරගලය කරගෙන යන්න කියලා. ඊළඟ චෝදනාව නිශ්චිතවම කුරුඳු පොලු හමුදාවකට සමාන යුධ හමුදා නිලධාරීන් යැයි සැක කරන පිරිසක් මර්ධනයට යොදවාගෙන තිබුණා. හමුදාව යොදවන්න බැහැ හදිසි නීතිය යටතේ පොලිසිය කැඳවීමකින් තොරව. අපි දැක්කා ජෝර්ජියාවේ, පැරීසියේ කිසිම අවස්ථාවක හමුදාව යොදවන් නැතුව පොලීසිය යොදවලා තමයි විරෝධතා පාලනය කළේ. ඒ ආණ්ඩු විනයානුකූලව සීමාවෙන් ඔබ්බට යන්නේ නෑ. ජයවර්ධන ජනාධිපතිතුමාටත් හිටියා සොත්ති උපාලිගෙ මැර හමුදාවක්. විශ්ව විද්‍යාල පුද්ගලීකරණය කිරීමටත්, උපකුලපති කිරීම ජනාධිපති අතට පත් කිරීමටත්, ශිෂ්‍ය සභා අහෝසි කිරීමටත්, 1985 දී ගෙනාපු නව අධ්‍යාපන පනතට විරුද්ධව අපි උද්ඝෝෂණය කරන්න ගියහම, සොත්ති උපාලි මහත්තුරු අපිට දරුණු ප්‍රහාර එල්ල කළා. හැබැයි සිවිල් ඇඳගෙන. හමුදාව වගේ ඇඳගෙන, කුරුඳු පොලු අරගෙන නෙවෙයි. එවකට ශිෂ්‍ය නායකයාව හිටපු රංජිතම් ගුණරත්න ඇතුළු 663 ක් ශිෂ්‍යයෝ මරා දැමුණා.ඒක නිසා නැවත වතාවක් ඒ යුගයට රට අරන් යන්න එපා කියලා රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න දරුවෙක්ගෙ පියෙක් හැටියට මම ආයාචනයක් කරනවා.

ජනාධිපතිතුමාගේ පාසල රාජකීය විද්‍යාලය, විශ්ව විද්‍යාලය කොළඹ විශ්ව විද්‍යාලය නීති පීඨය. ඒ සම්බන්ධයෙන් එතුමාට පුද්ගලික වගකීමකුත් තියෙනවා කියලා මතක් කරන්න කැමතියි. ඔය නීති පීඨයේ සමහරු කියනවා ලෝක ඉතිහාසයේ කවදාකවත් වුණේ නැති දෙයක් කියලා. නැහැ. ඔය නීති පීඨය තමයි 1989 දී ඔපරේෂන් කොම්බයින් කියන සිසිල් වෛජයරත්න මහතා යටතේ තිබිච්ච හමුදා වධකාගාරය පවත්වාගෙන ගියේ. කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෝ හැටියට හිටපු, සරත් විජේවර්ධන, හේමන්ත චන්ද්‍රසිරි වැනි අය ඝාතනය කළේ එහිදී. විශේෂයෙන්ම යුද හමුදාව රණවිරුවන්ගේම ගෞරවය කෙළෙසමින් කුරුඳු පොලු අතට දීලා උගත් දරුවන්ගේ පිටකොඳු කඩන්න යවනවා නම් කිසිම කෙනෙකුට ඒ ගැන අනුකම්පාවක් ඇතිවෙන්නේ නැහැ. යුද හමුදාපතිවරයා ඇතුළු හමුදා ජෙනරාල්වරු තමන්ගේ හමුදාවේ කීර්තිය හා ගෞරවය පිළිබඳව කටයුතු කළ යුතුයි. හැමදාම හිතන්න එපා රණවිරු ලේබලයට යටවෙලා මිනිස්සු ඔබට ගෞරව කරයි කියලා. ඔබගේ හමුදාව අද හැසිරෙන ආකාරයට අනුව හා හසුරුවන ආකාරයට අනුව තමයි ගෞරවය තියෙන්නේ. ගෞරවය යනු දිනාගත යුතු දෙයක් මිසක් ලේබල් ගහලා ලබාගත යුතු දෙයක් නෙවෙයි. ඒ ගැන ඔබගේ අවධානය අපි යොමු කරනවා. ඒ වගේම අන්තවාදයට පාර කපන්න එපා. ඒක මේ රටේ අනාගත ප්‍රතිසංස්කරණයට බාධාවක්. රාජ්‍ය ගොඩනැංවීමට, රටේ ප්‍රතිරූපයට බාධාවක්. රජයත් සහ කම්පනයෙන් යුතුව මහජනයා දෙස බැලිය යුතුයි. මේ පාර්ශව සමඟ සාකච්ඡා කළ යුතුයි. පේයිං ටැක්ස් එක ගහලා පාර්ශව සමග සාකච්ඡා කරලා වැඩක් නෑ. ඒක ගහන්න කලින්ම ඒ පිළිබඳව සාකච්ඡාවක් ඇති කරගත යුතුයි. ඔය පේයිං ටැක්ස් 2017 ගෙනාවා. ඒ අවස්ථාවෙදි අපි මැදිහත් වෙලා සාකච්ඡා කරලා යම් විසඳුමකට ආවා. විසඳුමකට ඇවිල්ලා තමයි බිලියන 49 තරම් ආදායමක් උපදවන ඒ පේයිං ටැක්ස් එක දැම්මේ. එතෙන්දි කිසි විරෝධයක් මතු වුණේ නෑ. මොකද සාකච්ඡාවෙන් සම්මුතියෙන් තමයි ක්‍රියාත්මක කළේ. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් බැංකුව, ඒ. අයි. බී. බැංකුව, වැනි අය බලාපොරොත්තුවෙන් ඉන්නවා මුල්‍ය අරමුදලත් සමඟ ගිවිසුම අත්සන් කළාට පස්සේ තමන්ගේ නතර කල සංවර්ධන ක්‍රියාදාමයන් ඉදිරියට ගෙනියන්න. හැබැයි ඒගොල්ලොත් ඉල්ලා හිටිනවා මහජන කැමැත්තකට එරෙහිව ප්‍රජා පීඩනයේ යෙදෙන ආණ්ඩුවක් එක්ක කටයුතු කරලා සංවර්ධන ව්‍යාපෘති වලට ප්‍රතිඵල ලැබෙන්නේ නෑ කියලා. ඒ නිසා මහජන සම්මුතියට ඉඩ දෙන ආකාරයට කටයුතු කරන්න. ”

ප්‍රශ්නය: මැතිවරණය සම්බන්ධයෙන් මොකද ඔබතුමන්ලා අදහස අත්ඇරලද තියෙන්නේ?

පිළිතුර: මේ යන ක්‍රියාදාමය තුළ මැතිවරණය හැම කෙනාටම එපා කරවන සුළු ක්‍රියාදාමයක තමයි නියැලෙන්නේ. මැතිවරණ කොමිසම එක්කෝ කියන්න ඕනේ ඉස්සරහට ඇවිල්ලා අපිට මුදල් දෙන්නෑ, අපිට ආරක්ෂාව දෙන්නෑ, අපිට මේ මැතිවරණය තියන්න බෑ, එහෙම නැත්නම් පාර්ලිමේන්තු යෝජනාවක් මගින් මේ නාමයෝජනා කරලා, අර තුන්දාහකට අධික රජයේ සේවකයෝ ටිකට ආපහු සේවයට වාර්තා කරන්න දෙන්න, මේ වැඩේ නතර එක්කෝ කියන්න ඕනේ. එහෙම නැත්නම්, අධිෂ්ඨානශීලීව ඉදිරියට ඇවිල්ලා, මැතිවරණය තියෙනවා. තියන්න දෙන්නේ නැත්නම් අපි ගෙදර යනවා කියලා ජාතික ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශ කරලා තීරණාත්මකව කටයුතු කරන්න ඕනේ. පසුගිය දවස් ඔබ දකින්න ඇති මේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලු සියලු දිස්ත්‍රික්ක වල විවිධ ආයතන වලින් මත සමීක්ෂණ කරලා තිබුණා. ඒ සමීක්ෂණය අනුව කීයද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය? 2500යි. 2.78%, ඉතින් මේකයි ඡන්ද තියන් නැත්තේ.

ප්‍රශ්නය: ඔබතුමාත් පක්ෂ බිහිකරපු එක්කෙනෙක්නේ. තමුන්ගේ පක්ෂයක් තියෙනවා නම්, ව්‍යවස්ථාව කොයි වගේ විය යුතුද?

පිළිතුර: පක්ෂ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මම හිතනවා මැතිවරණ කොමිසම යම් නිර්ණායක නිකුත් කළ යුතුයි. මොකද හුඟාක් පක්ෂවල රටේ ප්‍රජාතන්ත්‍රවාදය කතා කළාට, පක්ෂ ව්‍යුහය, නායකයාට තියෙන බලතල පිළිබඳව, නායකයා පත්කිරීම පිළිබඳව, එවැනි ප්‍රජාතාන්ත්‍රික නිර්ණායකයන් තිබිය යුතුයි.

– Media unit

පුවත යවන්න