විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කරයි

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව පවතින නඩුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (13) වරෙන්තු නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

ඉකුත් 2016 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී මෙම විත්තිකරුවන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණයක් කළ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ රොජර් සෙනෙවිරත්න යන අයවලුන් මෙහි අනෙකුත් විත්තිකරුවෝ වෙති.

පුවත යවන්න