සිවු වසරක් හිරේට නියමව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා රැගෙන එන්නැයි කියමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කීප වතාවක්ම පාර්ලිමේන්තුවේදී මහ කලබගැනීයක් ඇති කළෝය. එහෙත් කථානායක කියන්නේ උසාවි තීන්දුවක් දෙන තුරු එය කළ නොහැකි බවය. එබැවින් අපි කල්පනා කළේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හිරේ ඉඳන් මේ දිනවල කරන්නේ මොනවාදැයි සොයා බලන්නටය.
සැලෝලයිඩ් පටවලදී බොහෝ වාරයක් සිරබත් කෑ රන්ජන් රාමනායකට අන්තිමේදී ඇත්තටම සිරබත් කන්නට සිද්ධ වුණේය. ඒ නළුවෙක් ලෙස නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඔහු කී කතාවක් නිසාය. ඔහුගේ හිර දඬුවමට දරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අදාළ වන්නේ නැත. රන්ජන් රාමනායකට වසර හතරක සිරදඬුවමක් නියම වන්නේ ඔහු අධිකරණයට අපහාස කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ රජ තුන්තට්ටුවක් දුන් තීන්දුව නිසාය. එම නියෝගය ලැබුණේ ජනවාරි මස දහනව වැනි දිනය.
බන්ධනාගාර ගත කරන සියලුම අය කොරෝනා නිසා මේ දිනවල නිරෝධායනයට ලක් කෙරෙන්නේය. රන්ජන් රාමනායකද පල්ලංසේන බන්ධනාගාරය වෙත යොමු කළේ දින දාහතරක නිරෝධායන කටයුතු සඳහායි. අනතුරුව පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමෙන්, ඔහුට කොරෝනා වයිරසය ආසාධිත වී නොමැති බවට තහවුරු විය. ඊළඟට තිබුණේ රන්ජන් රාමනායක හිරගෙරදට යැවීමය. මෙපමණ කලක් හිරේට නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යැව්වේ වැලිකඩ හිරගෙදරටය. අධිකරණයට අපහාස කිරීමට වැරදිකරු වූ එස්.බී. දිසානායක, මිනී මරා එල්ලුම් ගහට නියම වූ දුමින්ද සිල්වා, ප්‍රේමලාල් ජයසේකර මෙන්ම යුද්ධාධිකරණයෙන් වරදකරුවෙක් වූ සරත් ෆොන්සේකාද සිටියේ වැලිකඩ හිරගෙදරය. නමුත් රන්ජන් යොමු කළේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙතටය. හම්බන්තොට පිහිටි එම බන්ධනාගාරය හැඳින්වෙන්නේ නවීන පහසුකම්වලින් පිරුණු ලංකාවේ හොඳම හිරගෙදර ලෙසය. මන්ත්‍රීන් ඇතුළු ප්රභූවරු කෙතරම් සුවසේ බාහිර සමාජයේ කාලය ගත කළත් බන්ධනාගාරගත වූ විගස ඔවුන්ට හාර්ට් ඇටෑක් හැදෙති. පෙෂර්, ෂුගර් වැඩි වෙති. මේ නිසා හිරේ ගිය ඔවුන්ට යකඩ පොලු අතරේ බිම නිදිය ගැනීම වෙනුවට බන්ධනාගාර රෝහලේ ඇඳක් උඩ සුවසේ කාලය ගත කිරීමට වරම් ලැබේ.
ඒත් රන්ජන් රාමනායකට හිරේ ගිය ද තවමත් ඉහෙන් බහින රෝගයක් වැලඳී ඇති බවක් කීවේ නැත.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය රන්ජන් යොමු කළේ විශේෂිත වාට්ටුවකටය. හිරගෙදර වාට්ටු කියන්නේ ඉස්පිරිතාලේ වාට්ටු මෙන් හැදූ තැනක් නොවේ. කුඩා ඉඩකඩක බොහෝ පිරිසක් වාට්ටුවේ සිටිති. ඇඟට හිර වූ ඇඳුම් ඇඳීම රන්ජන් රාමනායකගේ සිරිත වුවත් හිරේ යන කාටත් ලැබෙන්නේ හැඩක් නැති බුරුල් ජම්පරය. ජම්පරය ඇඳගත් රන්ජන්ට හිර ගෙදර ඇතුළේ නිකං සිටින්නට ඉඩ ලැබෙන්නේ නැත. අච්චු ලද සිරකරුවන් විවිධ වැඩවලට යෙදවීම බන්ධනාගාර නීතියයි. ඔවුහු කර්මාන්ත අංශය, ගෘහ සේවයට යොදවනු ලැබේ. රන්ජන් රාමනායකට ලැබුණේ ගෘහ සේවයයි. බන්ධනාගාරය පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කිරීම, අතුපතු ගෑම, අස්පස් කිරීම, වැසිකිළි සුද්ද කිරීම ගෘහ සේවයට අයත් වැඩය. උදේ 8.30 වන විට ඔවුහු ගෘහ සේවය පටන් ගත යුතුය. ඊට පෙර සෙසු සිරකරුවන් මෙන් රන්ජන් රාමනායක ද උදෑසන ආහාර වේල ගැනීමට පෝලිමේ සිටිය යුතුය. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් ලැබෙන ආරංචි මාර්ග අනුව සෙසු සිරකරුවන් රන්ජන්ට පෝලිමේ එන්න කියන්නේ නැත. එනමුත් ඔහු ආහාර ගැනීමට පෝලිමේ එන බව පැවසේ. ආහාර ගැනීමෙන් පසු කර්මාන්ත අංශවලට යොමු කර ඇති සිරකරුවන් තමන්ගේ කර්මාන්ත වෙත යා යුතුය. ගෘහ සේවයේ යොදා ඇති රන්ජන් හිරෙන් එළියට ගන්නේ 8.30ටය.
නැවතත් දහවල් දොළහ වනවිට දිවා ආහාරය ලබා ගැනීමට ඔහු, සියල්ලෝම සමග පෝලිමට එක්වෙයි. ආහාර ලබාගත් පසු යළි ඔහුට හිමිවන්නේ සිරමැදිරිය.
සවස් කාලයද එළිමහනට යොමු කර පස්වරු පහයි පහළොව වන විට රාත්‍රි ආහාරය ලබාදී සිරමැදිරිය තුළට යොමු කරයි. කෙසේ නමුදු ගිය සතියේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බැලීමට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි ගියේය. ඔහු රන්ජන් රාමනායක සමග පුරා පැය දෙකක් පමණ කතා කළේය. රන්ජන් බලා කොළඹ ආ මන්ත්‍රීවරයා කීවේ ඔහුගේ ජීවිතය අනතුරේ බවකි. රන්ජන් ඉන්න වාට්ටුවේ කාමර 4ක් තියෙනවා. එහේ 44ක් ඉන්නවා. රන්ජන් ඉන්නේ එකළොස් දෙනෙක් දාලා ඉන්න කාමරයක.
දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ජුලම්පිටියේ අමරේ නමැත්තා හා ඔහුගේ ගෝලයන් පිරිසක් සිටින කාමරයකට රන්ජන් රාමනායක දමලා දිලිප් වෙදආරච්චි කියන්නේය. නමුත් මන්ත්‍රීවරයාගේ එම චෝදනාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ප්‍රතික්ෂේප කරයි.
ඔහු පවසන්නේ විශේෂිත සිරමැදිරියක රන්ජන් රාමනායක තනිවම රඳවා ඇති බවය.
දිලිප් වෙදආරච්චි තවත් චෝදනාවක් කළේය. ඒ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ රාත්‍රි දහයට පමණ බන්ධනාගාර අධිකාරිගේ ජංගම දුරකථනයට ඇමතුමක් දී රන්ජන් රාමනායකට දුරකථනය දෙන ලෙස පවසා ඇති බවයි.
බන්ධනාගාර අධිකාරීවරයා සිරමැදිරිය ළඟට ගෙනවිත් ස්පීකර් ඔන්කර කතා කිරීමට සලස්වා ඇති බවද දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා සඳහන් කරයි. ඔහු කියන විදියට ඇමැතිවරයා කියා ඇත්තේ ‘‘උඹ අපේ පැත්තට වරෙන්. උඹ ආශ්‍රය කරපු ගෑනු දැන් ඉන්නෙ අපි ගාව’’යනුවෙන්ය. ලොහාන් රත්වත්තේටත් බන්ධනාගාරය හොඳට හුරු පුරුදුය. උඩතලවින්න දස පුද්ගල ඝාතනයේ සැකකරුවෙක් වූ ඔහු කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටියේය. එකල ඔහු කීවේ මිනීමරා හිරේ ගිය විට ඉහළ පිළිගැනීමක් ඇති බවත් බාල අපචාර ස්ත්‍රී දූෂණවලට හිරේ ගිය විට හිරකරුවන් එම චෝදනාවට ලක් වූ පුද්ගලයාට හොඳ හැටි පහර දෙන බව ය. ඒ කතා කෙසේ වෙතත් දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා කියන කතාව ඇත්ත දැයි අපි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගෙන් ඇසුවෙමු.
‘‘රන්ජන් රාමනායකට හිරගෙදරට යාමට සලස්වා විපක්ෂයේ පිරිස් දැන් ඒ මගින් පටු දේශපාලනයක් කරනවා. ඔය චෝදනා මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ලංකාවේ නවීනතම ආරක්ෂිත බන්ධනාගාරය තමයි අඟුණකොළපැලැස්ස. දුරකථන සංඥා අවහිර කිරීමේ ජෑමර් සවිකර තිබෙන ඒ තැනට මම ජංගම දුරකථනයෙන් කතා කිරීම කියන එකම හාස්‍ය දනවන කරුණක්.
ඔය කියන කිසිදු චෝදනාවක් අපි පිළිගන්නෙ නැහැ. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිත ආරක්ෂාව සෞඛ්‍ය පිළිබඳව අපි ප්‍රධාන අවධානය යොමු කරල තියෙනවා. අපිට පටු දේශපාලනයක් කිරීමට අවශ්‍ය නැහැ. ඇමැතිවරයා කීවේය. කෙසේ නමුදු දුමින්ද සිල්වලා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පමණක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තැබීම විපක්ෂය ප්‍රශ්න කළේය.
කොරෝනා වයිරසය හා වැලිකඩ බන්ධනාගාරයේ තදබදය නිසා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ මන්ත්‍රීවරයා රඳවා ඇත්තේ එහි උපරිම ආරක්ෂාව ද ඇති නිසාය ඔහු බාහිර සමාජයට මන්ත්‍රීවරයකු වුවත් අප පාලනයට ආ විට ඔහු සිරකරුවෙක් පමණයි. ඒ නිසා සිරකරුවන්ට දෙන ආරක්ෂාව සෞඛ්‍ය පහසුකම් යටතේ ඔහු රඳවා තැබීමට පියවර ගන්නවා. නමුත් විවිධ පුද්ගලයන් අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටිනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය කියන්නේය.
හේමන්ත ලියනපතිරණ – Aruna