බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණයේ 34 දෙනෙකුට කොරෝනා

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණයේ 34 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා.

රෝගීන් 22ක්, සහායකයින් 7 දෙනෙකු, කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ දෙදෙනෙක්, හෙද නිලධාරීන් දෙදෙනෙක් සහ වෛද්‍යවරියක් ද මෙම ආසාදිතයන් අතරට අයත් බවයි තහවුරු කර ඇත්තේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ මීට පෙර රෝගියෙක් සහ හෙද කාර්යමණ්ඩල සාමාජිකයෙක් කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමත් සමග අනෙකුත් පිරිසගේ PCR පරීක්ෂණ සිදුකර තිබූ බවබවයි.

ඒ අනුව මේ වනවිට බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණය වසා දමා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට පියවරගෙන ඇති අතර කාර්යමණ්ඩල සාමාජිකයින් නිවෙස් තුළ නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන පිළිකා රෝගීන් සඳහා බාහිර රෝගී අංශයේදී ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව වෙනත් වාට්ටු වෙත ඇතුළත් කිරීමට තාවකාලිකව පියවර ගෙන ඇති බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කළා.

පිළිකා රෝගීන් තුළ මෙම වෛරසය පැතිරයෑම බරපතළ තත්ත්වයක් වියහැකි බවත් ඒ හේතුවෙන් වෛරසය ඇතුළු වූ ආකාරය සොයාගෙන  කඩිනමින් පියවරගත යුතුව ඇති බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවා.
මේ වන විට එම සංකීරණයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 200 ක් පමණ වනවා.

පුවත යවන්න