කොළඹ වරායේ බටහිර පර්යන්තය ගැන ඉන්දියාවෙන් පරස්පර ප්‍රකාශයක්

කොළඹ වරායේ බටහිර පර්යන්තයට අදාළ ආයෝජන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙරට රජය ඉන්දියාවේ අදානි සමාගම සමග සෘජුව සම්බන්ධ වී ඇති බව ඉන්දීය රජය පවසනවා
ඉන්දීය විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අනුරග් ශ්‍රී වාස්තව මේ බව පැවසුවේ නවදිල්ලි නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
මෙහිදී ඉන්දියානු විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සදහා ඉන්දියානු අදානි සමූහ ව්‍යාපාරයේ ඉදිරිපත් කළ යෝජනාව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය තහවුරු කළ බවට ශ්‍රී ලංකාව කළ ප්‍රකාශය නිවැරදි නොවන බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අදාළ ආයෝජකයින් සමග සෘජුව සම්බන්ධ වී ඇති බව පෙනී යන බවයි.
කොළඹ වරායේ බටහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ඉන්දියානු සහ ජපාන රජය විසින් නම් කරන ලද පාර්ශ්වයන් සමඟ එක්ව පෞද්ගලික පොදු සීමිත සමාගමක් ලෙස සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධඡ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා.
එහිදී වැඩිදුරටත් පැවසුවේ අදානි සමාගම සමග මෙම ආයෝජනය කිරීම ඉදිරිපත් කරන ලද යෝජනාවට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින්ද අනුමැතිය ලබා දී ඇති බවයි.
මෙම යෝජනාවට ජපානය පාර්ශවයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැහැ.

පුවත යවන්න