තරුණිය ඝාතනය කළ SIගේ නිවසට අල්ලපු වත්තේ සැක සහිත පැල්ලම් / පොලිස් නිල සුනඛයන් කැඳවයි

වේල්ලවීදියේ බෑගයකින් හමුවූ තරුණියගේ මළ සිරුරේ, හිස කොටස සොයා සිදු කරන විමර්ශනවලදී අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට යාබද ගෙවත්තෙන් ලේ පැල්ලම් වලට සමාන පැල්ලම් කිහිපයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
එහි කෙසෙල් ගසක් යට පිහිටි පොල් අතු කිහිපයක් උඩ තැවරී තිබියදී යි මෙම පැල්ලම් හඳුනාගෙන තිබුණේ.

අදාල පැල්ලම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මොනරාගල පොලිස් නිල සුනඛ අංශයේ සහය ලබා ගැනීමට ද කටයුතු යොදා තිබෙනවා.

මේ අතර, කොළඹින් පිටත්ව ගිය විශේෂ පොලිස් කණ්ඩායම, සැකකරු බසයෙන් බැස තිබූ බුත්තල නගරයේ සිට ඔහුගේ නිවස දක්වා වන සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමට ද පියවර ගෙන තිබුණා.

මීට අමතරව, ඒ සම්බන්ධයෙන් අවට පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් ද ප්‍රකාශ ලබා ගත් බවයි විමර්ශන නිලධාරින් සඳහන් කළේ.

මීට අමතරව හංවැල්ල පොලීසියද ඝාතනය වූ තරුණිය සහ ඝාතනය සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයා නවාතැන් ගත් ලැගුම්හල තවදුරටත් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත් අතුරුදන්වූ හිස කොටස සම්බන්ධයෙන් එහිදී කිසිදු හෝඩුවාවක් ලැබී නැහැ.

එමෙන්ම, ඔවුන් ලැගුම්ගෙන සිටි හංවැල්ලේදී පසුගියදා සොයා ගත් බෑගය අදාළ මියගිය තරුණියගේ බවට ඇයගේ වැඩිමල් සහෝදරයා විසින් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දිවි හානිකර ගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අද රාත්‍රියේ ඥාතීන්ට භාරදීමට නියමිතයි.

ඒ අදාල මෘත ශරීරයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට ලද සහතිකයට අනුවයි.

පුවත යවන්න