රටේ ගෑස් හිගයක් නැහැ- ගෑස් මිල ගැන අගමැති කියයි

රටතුළ ගෑස් හිගයක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ උත්සව සමයේ ගෑස් මිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳපොළ සම්බන්ධයෙන් පැවැති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස පැවසීය.

මෙහි දී සහල්, පොල්, කිරිපිටි, මාළු,මස්, බිත්තර, පරිප්පු හා ධාන්ය, ලොකු ලූනු හා රතු ලූනු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අවශ්යතාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
කොවිඩ්-19 වසංගතයට සමඟාමීව සැපයුම් ජාල අඩපණවීම, විනිමය අනුපාත වෙනස්වීම හා සහල් ඇතුළු අත්යවශ්ය ආහාර ද්රව්ය මිල ඉහළ යාමත්, ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීම සඳහා කරනු ලබන ඉල්ලීම් පිළිබඳවත් වෙළඳ අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම සාකච්ඡාවේ අවධානය යොමු කළේ ය.
මෙහි දී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය වාර්තාවක් ඉදිරිපත් කරමින් කොවිඩ්-19 වසංගතය සමඟ ගෝලීය ආර්ථිකයේ අත්යවශ්ය භාණ්ඩ මිල ඉහළ යමින් තිබෙන බව පෙන්වා දුන්නේ ය. එමෙන්ම ආනයන පාලනය ලිහිල් කළහොත් වෙළඳ හිඟය වැඩිවිය හැකි බව මහ බැංකු නියෝජිතයෝ පෙන්වා දුන්හ.
ඒ අනුව දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමත්, දේශීය ව්යාපාර ශක්තිමත් කරමින් වෙළඳ භාණ්ඩ අපනයනයටත් යොමු වෙමින් විදේශ විනිමය රැස්කර ගැනීමට අවශ්ය බව මහ බැංකු නියෝජිතයෝ පැහැදිළි කළහ.
පුවත යවන්න