ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙලෙස සදහන් කළේය.
ආනයනය කරන භාණ්ඩ මිල තීරණය වන්නේ ලෝක වෙළෙඳපොළ බලවේග අනුව වන අතර ඒවායේ මිල පාලනය කළ හැක්කේ බදු අඩු කිරීමෙනි. දැනට මේ රජය පත්වීමෙන් පසු රට තුළ වගා කළහැකි භෝග ද්‍රව්‍ය 17ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කර ඇත. දැන් මේ භෝග රට තුළ වගා කිරීම ආරම්භ කර ඇති අතර ඉන් ලැබෙන ආදායම අපේ ගමේ අපේ ගොවීනට ඉදිරියේදී ලැබෙනු ඇත.
කලින් රුපියල් 32ක් වූ වී කිලෝවකට ගෙවන මිල රුපියල් 50ට වැඩි කිරීමෙන් පසු නිෂ්පාදනය සේම ගොවීන්ගේ ආදායම ද ඉහළ ගියේය. වී මිල වැඩි කිරීමේ වාසිය එක් ප්‍රදේශයකට නොව මුලතිව්, කිලිනොච්චි, යාපනය දිස්ත්‍රික්කවල ජනතාවට ද හිමි වී ඇති අතර මානව හිමිකම් ගැන කථා කරන පිරිස් ජනතාවට ලැබී ඇති ප්රතිලාභ ගැන කිසිවක් නොකීම සැලකිය යුතු කරුණකි.
පසුගිය ජනාධිපතිවරණය සමයේදී හා මහමැතිවරණයේදී ලද ජයග්‍රහණ උදෙසා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතුය. රජයේ ප්‍රගතිය මැන බැලීමේදී, රජය අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඒවායේ ප්රතිලාභ සලකා බැලීම වැදගත් වේ.
කෘෂිකර්මය පදනම් කරගත් ආර්ථික සංවර්ධනයේ ප්රතිලාභ සියලු ජනතාව අතර බෙදී යයි. එමගින් නිෂ්පාදකයාට සේම පාරිභෝගිකයාටත් සාධාරණය ඉටුකිරීමට පිළිවන් වේ. අප බලයට පැමිණීමෙන් පසු විශාල වැඩකොටසක් ඉටුකොට තිබේ.
උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කිරීමෙන් රජයේ සේවකයන්ගේ ආදායම ඉහළ ගොස් ඇත. මේ ප්‍රගතිය නොදකින පිරිස් දුර්මත සමාජගත කරමින් රට යළිත් විනාශයට ඇද දැමීමට උත්සාහ කරමින් සිටී.
ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගත්විට රජයට නිහඬව සිටීමට නොහැකිය. දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා ගවයනට ආහාර පිණිස තෘණ බිම් ඇතිකළ යුතුය.
පාරම්පරික ඉඩම් ගොවීනට අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවේ. රජය කිසිවිටෙකත් වනාන්තර කපා දමන්නට අනුබල දී නැත. 2030 වන විට බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය මූලාශ්‍ර මගින් සපුරා ගැනීමට සැලසුම් කර තිබේ.
පරිසර සංරක්ෂණයට එය විශාල පිටිවහලක් වනු නිසැකය. කටු පොල් වගාව නතර කිරීමෙන් දිස්ත්‍රික්ක ගණනාවක සිදු වෙමින් තිබූ පරිසර හානියට තිත තැබිණි. පරිසරය නියාමනය කරනවා සේම සංවර්ධනය කිරීම ද අවශ්‍ය වේ.
රජය බලයට පැමිණීමෙන් පසු ජනතාවගේ යහපත පිණිස විශාල කාර්යභාරයක් ඉටුකර ඇත.
රටට සතුරු බලවේග මේ සත්‍යය යටපත් කිරීමට බොරු ගොතා ප්‍රචාරය කරමින් සිටිති. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තිස් අවුරුදු යුද්ධය අවසන් කොට පෙර නොවූ විරු ආර්ථික සංවර්ධනයක් ඇති කළේය. එහෙත් විරුද්ධවාදීන් ගෙන ගිය අසත්‍ය ප්රචාරයෙන් මුලා වූ ජනයා 2015 දී එතුමා පරාජය කළහ.
ඉන්පසු සිදුවූයේ දැවැන්ත විනාශයකි. ජාතික ආරක්ෂාව බිඳ වැටිණ. ආර්ථිකය ද කඩා වැටිණ.
රටේ ස්වාධීනත්වය පාවා දෙනු ලැබීය. දැන් නැවත වරක් අපි රට එදා තිබුණු තත්ත්වයට පත් කිරීමට වැඩකරමින් සිටින්නෙමු.
රජයේ අවංක උත්සාහය රට ගොඩනැගීමෙන් ජනතාවට සමෘද්ධිය අත්කරදීම වන අතර ඒ අරමුණ දිනාගැනීම සඳහා එක්ව වැඩ කළ යුතුය.
අද හමුවට සහභාගී වූ කාන්තා නියෝජිතවරියෝ පොදුවේ සමාජයටත්, තමන් අයත් දිස්ත්‍රික්කවලටත් අදාළ ප්‍රශ්න ගණනාවක් විස්තර කළහ. ස්වයං රැකියා මාර්ග උදා කිරීම, බැංකු ණය ලබා ගැනීමේ අපහසුව, ක්ෂුද්‍ර ණය ගැටළුව, ගම්බද නිවාස ප්රශ්නය, ජීවන වියදම, මත්ද්‍රව්‍ය උවදුර, දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්න ඒ අතර විය. මත්ද්‍රව්‍ය පාලනය සඳහා දැන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් උවදුර මුලිමනින් තුරන් කිරීමට යම් කලක් ගතවනු ඇත.
මේ වසර තුළ කාන්තාවන් උදෙසා ස්වයං රැකියා දෙලක්ෂයක් උත්පාදනය කිරීමට නිශ්චිත පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. “රජය කරවල සහ උම්බලකඩ ආනයනය සීමා කළා. කාන්තාවනට රැකියාවක් ලෙස දැන් මේ ද්‍රව්‍ය සැකසීමේ නිරතවන්න පිළිවන්. කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ ස්වයං රැකියා උත්පාදනයට පුළුල් ඉඩකඩක් තිබෙනවා” බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.