පිළිකා කාරක අඩංගු පොල් තෙල් තොගයක් වෙළෙදපොළේ

ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක් වෙළෙඳපොළට නිකුත් වී ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය පවසයි.

එම තෙල් තොග පරිභෝජනයට නුසුදුසු බැවින් වහාම ප්‍රතිඅපනයනය කරන්නැයි ආහාර ආරක්ෂණ ඒකකය දැනුම් දී තිබියදීත් මෙලෙස වෙළෙඳපොළට නිකුත් වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කරයි.

මේ අතර මතභේදයට තුඩුදී ඇති එම ආනයනික තෙල් තොග සාම්පල ආශ්‍රයෙන් සිදුකළ  පර්යේෂණවලදී ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගුව ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය ද තහවුරු කර තිඛෙනවා.

ඒ අනුව එම තොගයේ කිසිදු තෙල් ප්‍රමාණයක් මහජන පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව හා අදාළ සමාගාම් වෙත ලිඛිතව දැනුම් දුන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් අප විමසීමක දී ඔවුන් සඳහන් කර සිටියේ, එම තෙල් සාම්පල පිළිබඳ තම ආයතනයෙන් ද පරීක්ෂා කිරීමක් සිදුකළ ද පිළිකා කාරක අඩංගු යැයි වාර්තා නොවූ බවය.

 

පුවත යවන්න