පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සාරා ඉන්දියාවේද නැතිනම් මියගියාද?

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් වූ සාරා හස්තුන් මියගියාද යන්න තහවුරු කිරීමට අලුතින් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කිරීම සඳහා සයින්දමරුදුහි සහරාන් හෂීම්ගේ පවුලේ අය මියගිය තැන තිබී සොයාගත් මළසිරුරු කොටස් වළදැමූ තැනින් නැවත ගොඩගැනීමට තීරණය කර තිබේ.

ඒ සහරා හස්තුන් ගැන කලින් කළ ඩී.එන්.ඒ. පරීක්ෂාවට මුල් වතාවේ ලබාගත් සාම්පලම පොලිස් නිලධාරීන් විසින් ලබා දී ඇතැයි හෙළිවීම නිසාය.

පසුගිය රජය සමයේ සාරා හස්තුන්ගේ ඩී.එන්.ඒ.සාම්පල නොගැළපීම නිසා යළිත් වළදැමූ කොටස් ගොඩගෙන ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කිරීමට නියෝග කර තිබිණි. නමුත් පොලිසිය ඒ වෙනුවට කළින් තිබූ සාම්පලම පරික්ෂාවට යොමු කර ඇතැයි දැනට කරගෙන යන විමර්ශනවලදී හෙළි වී ඇත.

මේ නිසා සයින්දමරුදු ප්‍රහාරයෙන් මියගිය දහඅටදෙනාගේ සිරුරු කොටස්වල සාම්පල යළිත් ලබාගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට උපදෙස් දී තිබේ.

සාරා හස්තුන් මේ ප්‍රහාරයෙන් මියගියාද ඉන්දියාවට පැන ගියාද යන්න නිල වශයෙන් තහවුරු කරගැනීම සඳහා මෙම ඩී.එන්.ඒ. පරීක්ෂාව සිදු කිරීමට නියමිතය. සාරාගේ අතුරුදන්වීම ගැන රටේ ආන්දෝලනයක් ඇති වී තිබේ.

තිස්ස රවින්ද්‍ර පෙරේරා – Aruna

පුවත යවන්න