වරාය නගර පනත් කෙටුම්පත ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (15) පස්වරුවේ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතට අදාළව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා නීතිඥ සංගමය විසින් කමිටුවක් පත්කර තිබූ අතර එම කමිටුවේ නිගමනය වී ඇත්තේ පනත් කෙටුම්පතෙහි වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව යනුවෙන් එම නිවේදනයේ සදහන්.

2021 මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් එම පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති නීතීඥ ඉක්‍රම් මොහොමඩ්ගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කළ බව නීතිඥ සංගමය සදහන් කළා.

පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් දින 15ක් වැනි කෙටි කලක් තුළ පනත් කෙටුම්පත අප්‍රේල් මස 08 වනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය රැස්නොවන කාලසීමාවක එය න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම පිළිබඳව නීතිඥ සංගමය බලවත් සැලකිල්ලෙන් පසුවන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

ව්‍යවස්ථාවට අනුව පුරවැසියෙක් පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරන්නේ නම් එය පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කළ දින සිට, දින 07ක් ඇතුළත සිදුකළ යුතු වුවද අප්‍රේල් 08 වනදා සිට දින 07ක කාලයට සති අන්තයක් මෙන්ම රජයේ නිවාඩු දින තුනක්ද ඇතුළත්ව ඇති බව නීතීඥ සංගම් නිවේදනයේ සඳහන්.

පුවත යවන්න