කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාවය වැඩි කිරීමේ තීරණයක්

රට තුළ නැවත වරක් කොවිඩ් වෛරසය පැතිරයෑමේ අවදානමක් ඇති වී තිබෙන බැවින් එය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව අද රැස් වුණා.

ඒ සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

එහිදී තීරණයකර ඇත්තේ දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාවය වැඩි කරමින්, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය හයි ෆ්ලෝ ඔක්සිජන් ලබාදීමටයි.

එමෙන්ම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000ක් දක්වා වැඩිකිරීමට, නිරෝධායන නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මකකර දඬුවම් ලබාදීමට සහ විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීමට මෙහිදී තීරණයකර තිබෙනවා.

ඊට අමතරව, දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සහ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් වැඩිපුර ලබදීමට තීරණයකර තිබුණා.

කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමුකිරීමට සැලසුම් සකස් කිරීම, කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හඳුන ගැනීම සහ ඒ්වාට අවශ්‍ය පහසුකම් සැපයීම, දෛනිකව අනෙකුත් රෝග සඳහා ද රෝහල්ගතවන රෝගීන්ට ලබාදෙනු ලබන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන ය‍ෑම ආදි කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාකර තීරණ ගෙන තිබෙනවා.

පුවත යවන්න