රජය නිසි පියවර නොගත්තොත් ලංකාව ඉන්දියාවේ තත්ත්වයට / මන්ත්‍රී ජේ සී අලවතුවල

කොරෝනා ව්‍යාප්තියේ මට්ටම අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවේ තත්වයට කිට්ටු වෙමින් තිබෙන බවත් කුරුණෑගල ප්‍රදේශයේ රෝගීන් බොහෝ දෙනකු මේ දක්වා නිවාසවල රදවා ඇති බවත් , කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද සදහන් කළා.

වෛද්‍ය උපදෙස් අනුව රජය නිසි පරිදි කටයුතු නොකළහොත් රට අවාසනාවන්ත තත්වයට පත්වීම වැළැක්විය නොහැකි බව පැවසූ මන්ත්‍රීවරයා කොරෝනාවට මුවාවී දේශපාලනය කිරීම උචිත නොවන බවයි සදහන් කළේ.

අලවතුවල මහතා මෙසේ පැවසුවේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේදීයි.

විපක්ෂය කොරෝනා වසංගතයට මුවාවී දේශපාලන වාසි නොගන්නා බවත් විපක්ෂනායකවරයා දැනටමත් එන්නත් ලබා ගැනීමට රජයට සහය දක්වා ඇති බවත් අලවතුවල මහතා සදහන් කළා.

රජය කොරෝනා පාලනයට මෙයට වඩා කැපවිය යුතු යැයි ද එවැන්නක් දැනට පෙනෙන්නේ නැතැයි ද ඔහු පැවසුවා.

රටේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය නිලධාරීන් අද අසරණව සිටින බවද එම නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම වැදගත් බවද ජේ සී අලවතුවල මහතා පෙන්වා දී තිබෙනවා.

මේ වන විට  වෙනත් රටවල පුද්ගලයන් මෙරට දී නිරෝධායනයට ලක්කර මුදල් ඉපයීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවටයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පුවත යවන්න