නව පක්ෂයක් බිහි කිරීමට අවශ්‍ය සාකච්ජා සිදුකරමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයකු හා හිටපු අමාත්‍යවරයකු වන තිස්ස අත්තනායක මහතා පවසනවා.
ඔහු මේ බව අනාවරණ කළේ මාධ්‍ය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්.

ප‍්‍රශ්නය – ඔබ මහලේකම් ධුරය දරන ලද පක්‍ෂය ආණ්ඩුව භාරගෙන දැනට වසර තුනක් ගත වී තිබෙනවා. හිටපු මහ ලේකම් ලෙස වත්මන් එජාප ආණ්ඩුවේ පාලනය ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර – ඕනෑම දේශපාලන පක්‍ෂයක ප‍්‍රධාන අරමුණ තමයි ආණ්ඩු පාලනය ලබා ගැනීම. එක්සත් ජාතික පක්‍ක්‍ෂයට මෙම අවස්ථාව ලැබුණේ දීර්ඝ කාලයකට පසුවයි. 1994ට පසුවයි එජාපයට මේ අවස්ථාව ලැබුණේ. ඒ නිසා පාක්‍ෂිකයන්ට විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඒ අයගේ මූලික ප‍්‍රශ්න ටික විසඳෙයි කියලා. තම දරුවන්ගේ පවුලේ සහ අසල්වාසි පවුල්වල ප‍්‍රශ්න, අනෙක දේශපාලනික පළිගැනීම් විසඳා ගැනීම ඒ එක්කම තවත් අයට අවශ්‍ය වුණා. තමාගේ අභිමානය ආරක්‍ෂා කරගෙන ඒ අයට ගමේ නායකයෝ බවට පත්වෙන්න. මේ කාරණා ගෙන බැලූවහම නම් පාක්‍ෂිකයෝ විශාල කලකිරීමක ඉන්නේ. රටේ ජනතාවගේත් ආණ්ඩුව ගැන විශාල පැහැදීමක් නෑ. ඒ නිසා සමස්තයක් ලෙස බැලූවහම සෑම අංශයකම බලාපොරොත්තු ඉටුවුණු වසර තුනක් කියලා කියන්න බෑ

ප‍්‍රශ්නය – ඔබතුමා තවමත් එක්සත් ජාතික පාක්‍ෂිකයෙක් ද?

පිළිතුර – නෑ. මම දැන් කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු නොවෙයි. මාව එජාපයේ සාමාජිකත්වයෙන් නෙරපුවා. මාව අත්අඩංගුවට අරගෙන වැලිකඩ බන්ධනාගාරගත කළ අවස්ථාවෙයි මාව සාමාජිකත්වයෙන් නෙරපුවේ. මම ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එහිද තීරණයක් දුන්නා මගේ සාමාජිකත්වය ඉවත් කිරීම නීති විරෝධීයි කියලා. එතැනින් එහාට මොකුත් වුණේ නෑ. ඒ නිසා මම එජාප පාක්‍ෂිකයෙක් විදිහට ක‍්‍රියා කළා. ඒත් දැන් නම් මම නිදහස් මතධාරියෙක්.

ප‍්‍රශ්නය – යම් ආරාධනාවක් ලැබුණොත් පක්‍ෂයට නැවත එන්න කියලා ඔබ යනවාද?

පිළිතුර -එහෙම ආරාධනා නම් වුණා. හිටපු මහලේකම් කබීර් හෂීම් මහතා අවස්ථා කිහිපයකදී එහෙම කියනවා දැක්කා. අලූත් මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාත් මාධ්‍ය හමුවකදී කියලා තිබුණා එන්න ඉඩකඩ තිබෙනවා කියලා. පස්සෙන්

ගිහින් පක්‍ෂ සාමාජිකත්වය ගන්න මම කැමති නෑ. එය ගෞරවණීය විදිහට විසඳුනා නම් මීට කලින් මට නැවත පක්‍ෂයට යන්න තිබුණා. නමුත් දැන් ඊට අවස්ථාවක් නැහැ. මොකද ඒ සඳහා නිල ආරාධනා ලැබුණේ නෑ.

ප‍්‍රශ්නය – ඔබ නිදහස් මතධාරියකු බව ප‍්‍රකාශ කළා. ඒ අනුව ඉදිරියේදී යම් දේශපාලන ප‍්‍රවාහයකට එක්වීමක් හෝ ආරම්භ කිරීමක් සිදුවෙනවාද?

පිළිතුර – පසුගිය අවුරුදු තුනේ මම දීර්ඝව කල්පනා කළ දෙයක් තමයි මේ සාම්ප‍්‍රදායික දේශපාලනය තවදුරටත් මහජනතාව ඉදිරියේ වලංගු ද කියලා. පසුගිය ජනාධිපතිවරණයේදී සිදු වූ පෙරළියෙන් පසුව ජනතාව විශාල වෙනසක් බලාපොරොත්තු වුණා. ඒත් ඒ ජනතා න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක වුණේ නෑ. ඒ නිසා ජනතාව ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කෙරෙහි විශාල කලකිරීමකින් හා අප‍්‍රසාදයකින් සිටින්නේ. ආණ්ඩු පක්‍ක්‍ෂ හා විපක්‍ෂය යන දෙපාර්ශ්වයම ගැන කලකිරුණු ජනතාවක් සිටිනවා. ඒ හඬක් නඟන්නට බැරිව සිටින ජනතාව හා අලූතින් හිතපු ජනතාව සමග අලූත් දේශපාලන ගමනක් ආරම්භ කරන්න ඕනෑ කියලා. දැන් එජාපය උදාහරණයක් විදිහට ගත්තොත් ගම්වල සිටින ජනතාව අපි යු.එන්.පී කියන අයගේ කොටසක් හැලිලා තියෙන්නේ. ඒ අය දිනා ගන්න පක්‍ෂය කිසිම පියවරකට ගියේ නෑ. ඒ නිසා එවැනි අය ඈත් වීම වේගවත් වෙලා තිබෙනවා. ඒ ප‍්‍රමාණය 30% ක් හෝ 40 ක් කියා මා විශ්වාස කරනවා. ඒ අයගෙන් ප‍්‍රමාණයක් ඡුන්දය දීමෙන් වළකීවි. තව ප‍්‍රමාණයක් අනෙක් පැත්තට ඡුන්දය දේවි. ඔය මධ්‍යස්ථ මතධාරීන් මේ රටේ ලක්‍ෂ 10 ක් 15 ක් සිටිනවා. ඒ වගේම මේ රටේ අලූත්ම ඡුන්ද දායකයෝ ලක්‍ෂ 10 ක් එකතු වෙනව. එතකොට මේ සියල්ලම බැලූවොත් විශාල ප‍්‍රමාණයක් අලූත් ඡුන්ද දායකයන්ට සටන් පාඨකයක් නෑ. ඔවුන් පසුගිය ජනාධිපතිවරණයේදී නම් මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සටන් පාඨ භාවිතා කළා. ඒත් මෙවර එහෙම නෑ. ඒ අයට අලූත් සටන් පාඨ ඕනෑ. ඔය සියලූ දෙනාටම හරියන අලූත් දේශපාලන ව්‍යාපාරයක් මා සකසමින් සිටිනවා. ආගමික නායකයන්, විද්වත් පිරිස්, නවකයන්, හිටපු දේශපාලන නායකයන් මා සම්බන්ධ කර ගන්නවා. ආණ්ඩුවේ දැනට සිටින කිහිපදෙනෙක් ඒ අයගේ අදහස් මා වෙත ලබා දී තිබෙනවා. ඒ නිසා අපි හොඳ දේශපාලන පසුබිමක් එක්ක එළියට එන්න බලනවා. ඒකෙන් ඉලක්ක කරන්නේ මැද සිටින ඡුන්දදායකයන්, අලූත් ඡුන්ද දායකයන් සහ එජාපයෙන් ඈත්වන ජනතාවයි. ඒ අයට මා අලූත් දේශපාලන පාරක් පෙන්වන්නයි මේ හදන්නේ.

ප‍්‍රශ්නය – ඔබ මේ වන විට ඒ සඳහා පක්‍ෂයක් තෝරගෙන බිම් මට්ටමින් යම් සංවිධාන ශක්තියක් ඇති කරගනිමින් ඉදිරි ජනාධිපතිවරණයට ඒමට සූදානම් බව කියැවෙනවා.

පිළිතුර – ඇත්තටම කිව්වොත් මේකේ මූලිකම බලාපොරොත්තුව ඉදිරි ජනාධිපතිවරණය. අනෙක අලූතින් පක්‍ෂයක් ලියාපදිංචි කරන්න බැහැනේ. ඒ සඳහා දැනට ලියාපදිංචි පක්‍ෂයක් අරගෙන නම වෙනස් කරගෙන පක්‍ෂය හදාගන්න ඕනෑ. ඔබ කිව් කතාව ඇත්ත. දැනට ක‍්‍රියාකාරී දේශපාලන පක්‍ෂ දෙක තුනක් සමඟම අපි සාකච්ඡා කරලා තිබෙනවා. එහෙම වුණොත් අපි අලූතින් ගොඩනඟන සංධානයට ඒ පක්‍ෂයේ නම භාවිත කරනවා. මා ගොඩනඟන්නේ අලූත් දේශපාලන සංධානයක්. ඒ එක්කම ඉදිරි මැතිවරණවලදී ප‍්‍රධාන පක්‍ෂ දෙකටම බහුතරය දිනා ගැනීමේ අතිශය දුෂ්කර ගැටලූවකට මුහුණ දීමට සිදුවෙනවා. ඒ නිසා ගොඩක් පක්‍ෂ සංධානගත වේවි. ප‍්‍රධාන පක්‍ෂ දෙක වටා එකතු වුණු දේශපාලන සංධාන බිහි වේවි. එහෙම දේශපාලන සංධාන ආ විට අපටත් ඒ සංධානයක කොටස්කරුවන් වෙන්න පහසුයි. අපි කාගේවත් පක්‍ෂයක සාමාජිකයකු නොවෙයි. නමුත් අපිත් රටේ යම් ජනතාවක් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයක සිටින සංධානයක සාමාජිකයෝ එකතු වෙනවා, මිස අපි වෙන වෙනම සාමාජිකයෝ ලෙස යනවා නොවෙයි. එයින් අපේ වටිනාකමකුත් නිර්මාණය වෙනවා.

දැන් බලන්න 1988 පේ‍්‍රමදාස මහතා ජනාධිපති වන විට රටේ තිබුණු ගැටුම් උතුරේ සහ දකුණේ විශාල කලබල. ඒ අස්සේ පේ‍්‍රමදාස මහතා සහ බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් වුණාම තරගය කරට කර ගියේ. ආණ්ඩුව තිබුණා කියලා පේ‍්‍රමදාස මහත්තයාට අමුතු වරප‍්‍රසාදයක් ලැබුණේ නෑ. නමුත් එච්චර සේවයක් කළ පේ‍්‍රමදාස මහතා 50.3 ක් ලබලයි ජයග‍්‍රහණය කළේ. හැබැයි එහි තීරණාත්මක වැඩ කොටස කළේ ඔසී අබේගුණසේකර. ඔසී තනිවම ඡුන්දය ඉල්ලලා ලක්‍ෂ දෙකහමාරක් පමණ ගත්තා. වාමාංශික ඡුන්ද ප‍්‍රමාණයක් ඔසී අබේගුණසේකර මහතා ලබා ගැනීම සමඟම පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය තීරණය වුණා කියලයි මට දැනෙන්නේ. ඒ වගේම තමයි පසුගිය කාලේ කිව්වනේ රජුන් තනන කණ්ඩායමක් කියලා. තොණ්ඩමන්, දිගම්බරම්, හකීම්, බදියුදීන් හැබැයි ඔය අයගේ ඡුන්ද ප‍්‍රතිශතය කෙබඳුද? දිගම්බරම් ගත්තොත් ඔහුගේ නියෝජනය සලකන්නේ මහා නියෝජනයක් කරනවා කියලයි. තොණ්ඩමන්ටත් එහෙමයි. ඔහුටත් ඡුන්ද ලක්‍ෂයක පදනමක් නෑ. ඒත් ප‍්‍රධාන පක්‍ෂයක් එක්ක එකතුවෙලා ඡුන්දය ඉල්ලනකොට ඒ අයගේ ප‍්‍රමාණය වැඩි වෙනවා. හකීම්ලාත්, බදියුදීන්ලා ගත්ත ඉතා කුඩා ඡුන්ද ප‍්‍රමාණයක් තියෙන්නේ. ඒත් ප‍්‍රධාන ධාරාවකට එකතු වුණාම ඒ අය තමයි ආණ්ඩු හදන බලවේගය වන්නේ.

දැන් බලන්න පොදුජන පෙරමුණ වාසුදේව, විමල්, ගම්මන්පිල ඒ අයත් ක‍්‍රියාකරන්නේ ඔය ආකාරයටමයි. ඉතින් මම විශ්වාස කරනවා හඬක් නැති ජනතාව නියෝජනය කරලා රජුන් තනන කාර්යභාරයේ ලොකු වැඩ කොටසක් කරන්න. මාගේ ඉලක්කය නම් ඡුන්ද ලක්‍ෂ පහක්, 10 ක් අතර ප‍්‍රමාණයකට ලේසියෙන් යන්න අපට පුලූවන් වේවි.

ප‍්‍රශ්නය – ඔබ ඔය හදන්නේ එජාප ඡුන්ද කඩලා ඊට ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වයට සහාය ලබා දෙන්නද?

පිළිතුර – මාත් දැක්කා. අන්තර්ජාලයේ තිබුණා. මා මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වුවමනාවක් ඉෂ්ට කරන්න යනවා කියලා. ඒක දැකලා මම හිනාවුණා. ඔය චෝදනාවම රාජපක්‍ෂලාටත් සසඳාවි. ඔහොම දේශපාලන චෝදනා, ගැරහිලි, මඩගැසීම් මේ මගේ වැඩෙත් එක්ක එයි. ඒ වගේම එජාපය කඩනවා කියන චෝදනාවත් මට එයි. මොකද මා ඉදිරිපත් වනවිට ගම් මට්ටමේ එජාප පිරිසක් එක්වේවි කියලා. ඒ වගේම මගේ තිබෙන සංවිධාන ජාලය ගොඩනඟන්න කිසි කෙනකුට ලේසි නෑ. තව කෙනකුට ඇවිත් හැදෙන්න පිළිවන්. හැබැයි ඒකට කාලයක් යාවි. ඒ නිසා මාත් එක්ක පිරිසක් එයි. හැබැයි එජාපය කැඩිලා දෙකට වුණු වෙලාවේ එජාපය එකට එකතු කළේ මම. රනිල් හා සජිත් පාර්ශ්වය අවුරුදු හතරක් පහක් සටන් කරපු වෙලාවේ පක්‍ෂය බෙදිලා තිබෙන වෙලාවක ඔවුන්ව එකතු කළේ තිස්ස අත්තනායක කියලා මුළු රටම දන්නවා. මා ඒ දේ නොකළා නම් පසුගිය ජනාධිපතිවරණයේදී ඔය ජයග‍්‍රහණයට එන්න ලැබෙන්නේ නෑ. සජිත් පේ‍්‍රමදාස හා රනිල් වික‍්‍රමසිංහ මහත්තුරු දැන් ඔය වේදිකාවල දෙන්නට දෙන්නා වර්ණනා කරගන්නේ මම කරපු කාර්යභාරය නිසා. වෙන කාගෙවත් හාස්කමක් නිසා නොවෙයි. එහෙම එකතු කළේ මම කියලා එජාපයේ එක නායකයකුවත් අද කියන්නේ නෑ. අනාගතයේදී එජාපය එහෙම නොකැඞී තියාගන්න එයාලා මොකද්ද කරන්නේ.

දැන් බලන්න නවීන් දිසානායක පක්‍ෂයට ආවේ  පසුගිය ජනාධිපතිවරණයේදී. ඔහු 2006 දෙසැම්බර් මාසේ ගිහින් අවුරුදු නවයක් මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ඇමැති ධුර දරමින් එජාපයට එරෙහිව හුඟාක් දේවල් ඔහු කළා. එහෙම කරපු නවීන් දිසානායකව පක්‍ෂයට අරන් ජාතික සංවිධායක කරනවා. එතකොට අවුරුදු 10 ක ඉතිහාසයක් වහලා දානවා. කරු ජයසූරිය ගැන හිතන්න. ඒ වගේම පාඨලී. රාජිත එක්ක වැඩ කරන්න ලැබෙන්නේ නෑනේ. රාජිත සේනාරත්නට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න අවස්ථාව දුන්නේ එජාපය. එහෙම කරපු කෙනා 2006 දී මහින්ද රාජපක්‍ෂ මහතාගේ පැත්තට ගියා. ගිහින් එජාපය අවුරුදු 9 ක් විතර දැඩි අසීරුකම්වලට පත් කළා. එස්. බී. නාවින්න බලන්න. ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී වැඩ කළේ මහින්ද රාජපක්‍ෂ මහතාව දිනවන්න. ජනාධිපතිවරණයෙන් පස්සේ ඔහු එජාපයට එනවා. මහින්ද දිනුවා නම් ඔහු ඒකේ. ඔහුට එජාප ආසනයකුත් දෙනවා. මොකද්ද මෙහි සාධාරණත්වය. එජාපය තිස්ස අත්තනායකට වෙනත් විදිහකටත්, අනෙක් අයට තව විදිහකටත් සලකනවා. මම රනිල් වික‍්‍රමසිංහ මහතා සමග අවුරුදු තිහකට වඩා දේශපාලනය කරලා තිබෙනවා. පක්‍ෂයේ අසිීරුම කාලයේ අපි එය

රැක ගත්තා. ඒ රැකගත්තු අයව බලාගන්නේ නැතිව පක්‍ෂය කඩනවා කියන චෝදනාව කිරීම සාධාරණද?

ප‍්‍රශ්නය – ඔය සියල්ලටම හේතු වන්නේ ඉතා තීරණාත්මක අවස්ථාවකදී ඔබ පක්‍ෂය හැරගොස් මහින්ද රාජපක්‍ෂ මහතාට එකතු වීම. ඔහු දැන් ඔබට ආරාධනා කරන්නේ නැද්ද? ඔහු එක්ක දේශපාලනය කරන්න එන්න කියලා.

පිළිතුර – විවිධ අවස්ථාවලදී උත්සවවලදී මඟුල් උත්සවවලදී මහින්ද රාජපක්‍ෂ මහත්තයා මට මුණ  ගැහෙනවා. මට අවස්ථා ගණනාවකදී එතුමා කිව්වා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතුවලට එන්න කියලා. මම එහෙම ගිහින් තේරුමක් නෑ. මට අද වන විට පෙනෙනවා දේශපාලන වශයෙන් පරිවර්තනයක් ඇති වෙනවා. ඒ පරිවර්තනය සඳහා නම් කොතනද අප හිටගත යුත්තේ කියලා දැන් කියන්න අමාරුයි. මගෙන් අහනවා රාජපක්‍ෂලාට පාර කපන ව්‍යාපාරයක් ද මේ හදන්නේ කියලා. ඒ පාර කපන්න ඉඩදෙන්නේ ආණ්ඩුවමයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඔය දැන් කියන නම් ගම් නොවෙයි පුද්ගලයෝ දෙන්නෙක් එයි. 2015 දී මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව නම් කීයක් කියවුණාද කරු ජයසූරිය, සෝභිත හාමුදුරුවෝ, ශිරානිි බණ්ඩාරනායක ලෙස විවිධ නම් කියවුණා. නමුත් ආවේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා. ඇත්තටම ඔහු ආවේ ජනාධිපති වෙන්න නොවෙයි. අගමැති වෙන්න. අගමැති වෙන්න ආපු කෙනා ජනාධිපති කළේ රනිල් වික‍්‍රමසිංහ මහතායි. ඒක තමයි ඇත්ත. එහි අභ්‍යන්තර කතාව වෙනම එකක්. මෙවර ජනාධිපතිවරණයට ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයෙන් එක් අයෙක් ඒවි. හැබැයි විපක්‍ෂයෙන් එන කෙනා ඉතා තීරණාත්මකයි. එතැනින් එන කෙනා තමයි පොදු අපේක්‍ෂකයා වෙන්නේ. ඒ නිසා ඒ දෙන්නා දෙස බලා අපි තීරණයකට එනවා. හැබැයි රටට ආදරය කරන රට ගොඩනඟන්න පුළුවන් කෙනකුට මගේ සහාය දෙනවා. එතැනදී මමත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන පුද්ගලයකු බවට පත්වේවි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :