ද්විත්ව පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටින සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හසිත මුහන්දිරම් නැමැති අය විසින් මුහුණු පොත භාවිතා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ මහාධිකරණය වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර තිඛෙනවා.

එම සිද්ධිය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාව පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිට ලබන 17 වනදා ඉදිරිපත් කරන මෙන්ද කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානක මහත්මිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට කළ නියෝගය සඳහන් වෙනවා.

එමෙන්ම හසිත මුහන්දිරම් නමැත්තා සිය මුහුණු පොත හසුරුවා ඇත්තේ කුමන ස්ථානයක සිට ද යන්න facebook ආයතනය සමඟ සාකච්ඡා කොට ඒ පිළිබඳ සොයා බලා අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මහාධිකරණ විනිසුරුවරිය පොලිසියේ පරිගණක අංශයේ ස්ථානාධිපතිවරයාට තවත් නියෝගයක් කර තිබෙනවා.

1999 වසරේ සැප්තැම්බර් මස 3 වනදා රත්නපුර ප්‍රදේශයේ දී සබරගමුව පළාත් ඇමැති රංජිත් නන්දසේන සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කළ බවට චෝදනා කරමින් හසිත මුහන්දිරම් හෙවත් සර්පයා නමැති විත්තිකරු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමකින් පසුව විනිසුරුවරිය මෙම නියෝග කලා.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මරණීය දණ්ඩනය ලබා වැලිකඩ බන්ධනාගාරයේ පසුවන හසිත මුහන්දිරම් නමැති විත්තිකරු සිය මුහුණු පොත පසුගිය 27 වන දා දක්වා යාවත්කාලීන කර ඇති බවයි.

සිය මුහුණු පොත පිටුව හරහා ඔහු වරින් වර අදහස් පළ කිරීම සිදුකර ඇති බවත් ඊට විවිධ තරාතිරමේ පුද්ගලයින් ප්‍රතිචාර දක්වා ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නා.

මරණීය දණ්ඩනය ලබා බන්ධනාගාරගතව සිටින විත්තිකරුවකු මුහුණු පොත මෙයාකාරයෙන් භාවිතා කරන්නේ කෙසේ දැයි ප්‍රශ්නයක් මතු කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් ද ඉල්ලීම් කළා.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා ලබන 17 වනදා අධිකරණය වෙත වාර්තා ඉදිරිපත් කරන මෙන් ද අදාල පාර්ශවයන්ට නියම කළා.

රත්නපුර ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව මිනිස් ඝාතනයකට වරදකරු කෙරුණු හසිත මුහන්දිරම් සර්පයා නමැති විත්තිකරුට මේ වන විට මරණීය දණ්ඩනය නියම වී තිබෙන අතර ඔහු ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :