හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පිළිබඳව විවිධ දේශපාලන පුවත් මැවුණේ අද ඊයේ සිට නොවේ. එම දෙදෙනා පිළිබඳව නවතම පුවත පසුගියදාක නිර්මාණය වී තිබුණේ සී.අයි.ඩී.ය විසින් හිටපු ජනපතිවරයාගෙන් ප්‍රශ්න කරන්නට ගිය අවස්ථාවේදීය. මෙම අවස්ථාවේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාත් මෙහි දී නීතිඥවරයකු ලෙස පෙනී සිටි බවත් ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔහු විසින් උල්ලංඝනය කර ඇති බවත් පසුගියදා විවිධ පාර්ශවයන් වෙතින් චෝදනා ඉදිරිපත් විය. ඒ සම්බන්ධ චෝදනා පළවූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 110 ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය අනුවය.

මේ පිළිබඳව ITN News වාර්තාකර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දී ඇති බවයි. ඒ අනුව හිටපු අගවිනිසුරුවරයා ඒ අවස්ථාවේදී නීතිඥයකු ලෙස පෙනී සිට ඇත. මේ සම්බන්ධ මත විමසුමක් අප සිදුකළේ දේශපාලනයට හා නීතිය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිපදෙනෙකු සම්බන්ධ කරගනිමිනි. මේ එම මත විමසුමයි.

මම ඇහුවේ මොකද්ද මේ කරදරේ කියලයි
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා

මහින්ද රාජපක්ෂ මහත්මාගේ නිවසට තමන් පැමිණියේ ජනධිපති නීතිඥ අලී සබ්රි මහත්මා සමඟ බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිඥයකු ලෙස අලී සබ්රි මහතා ප්‍රශ්න කිරීම සිදුවූ ආලින්දයට ගියද තමා සිටියේ ඊට පිටතින් බවද ඔහු කීය. පැය එකහමාරක් දෙකක් මේ කටයුතු සිදුවන විට තමන් ඇතුළට ගොස් බැලූ බව ඔහු වැඩිදුරටත් පවසයි.

“මම දැක්ක නාට්‍යයක් එතන සිද්ධවෙන්නේ. එක පැත්තකින් සී.අයි.ඩී. එකේ අධ්‍යක්ෂක ශානී අබේසේකර ඉන්නවා. අනික් පැත්තෙන් තවත් සී.අයි.ඩී. එක්කෙනෙක් ඉන්නවා. ඉස්සරහින් කෙනෙක් ටයිප් කරනවා. තවත් කෙනෙක් ලියාගත්තු ප්‍රශ්න වගයක් අහනවා. ඉතින් මම ඇහුවා මහින්ද රාජපක්ෂගෙන් මොකද ඔයාට මේ කරන කරදරේ කියලා. මම ඇහුවේ එයාගෙන් එතකොට එයත් කිව්වා මාත් දන්නේ නෑ සරත් කියලා. මම ඉතින් එතන පැත්තකින් ඉඳලා ආවා එන්න.”

ඔහු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 110 ව්‍යවස්ථාවට අනුව නීතිඥයකු ලෙස තමාට පෙනී සිටීමට නොහැක්කේ උසාවියකදී බවයි. මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස උසාවියක් නොවන නිසාත් තමන් ඒ අවස්ථාවේදී නීතිඥයකු ලෙස පෙනී නොසිටි නිසාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුනොවූ බව ඒ මහතා පෙන්වා දෙයි. බොහෝ දෙනෙක් මේ අවස්ථාවට සම්බන්ධ සිටි බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ මිතුරෙක් ලෙස තමන් එහි ගිය බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.

හිටපු ස්ථානයට නීතියෙන් බලපෑමක් නෑ
ආචාර්ය ප්‍රතිභා මහානාම

“අපි මෙතනදී බලන්න ඕන වැදගත්ම දේ තමයි හිටපු ජනාධිපතිතුමා යම්කිසි ප්‍රකාශයක් දෙනකොට හිටපු අගවිනිසුරුතුමා හිටපු ජනාධිපතිව නියෝජනය කළාද කියන එක. නැත්නම් හිටපු ජනාධිපතිගේ නීතිඥයා ලෙස හැසිරුණාද, නීති උපදේශක ලෙස හැසිරුණා ද කියන එක. එහෙම නියෝජනයක් වෙලා තියනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සඳහන් වෙලා ඇති. අනික් කාරණය තමයි වෙනත් හමුවක් සඳහා ගියා නම් වෙනත් කාර්යයක් සඳහා ගියානම් මේක අදාළ වෙන්නේ නෑ.”

මෙහි පවතින තවත් වැදගත් කාරණයක් නම් හිටපු විනිශ්චයකාරවරුන්ට මේ නීතිය බලපාන්නේ සේවාදායකයකු  වෙනුවෙන් ලංකාවේ අධිකරණයක නැතිනම් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ස්ථාන 488න් එකක් තුළදී පෙනීසිටීමේදී බවය. මේ සිදුවීම සිදුව ඇත්තේ ඉන් එක් ස්ථානයකවත් නොවේ. පොලීසියක් ඉදිරියේදී මේ පෙනීම සිද්ධ වී නම් එවිට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට කරුණු දැක්වීමේ හැකියාවක් පවතී. එහෙත් එවන් විටකත් ඔහුව බන්ධනාගාර ගතකළ යුතු යැයි ව්‍යවස්ථාවේ සඳහන් නොවේ. ඔහු කිසියම් ධුරයක් දරනවා නම් එතනදී දෝෂාභියෝගයක් ගෙන ඒමේ හැකියාවක් පවතී. එහෙත් මෙම අවස්ථාවේ සිදුව ඇත්තේ පොලීසිය මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණීමයි.

හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ඥාතීන් මිතුරන්  පැමිණි හැකියාවක් පවතී. එය කිසිවිටකත් වළක්වා නැත. ඒ අනුව ප්‍රශ්නයක් වන්නේ හිටපු ජනාධිපතිවරයා හිටපු අගවිනිසුරුවරයා තමන්ව නියෝජනය කළ බව පැවසූ විට හෝ හිටපු ජනාධිපතිවරයා හිටපු අගවිනිසුරැවරයා සමඟ පොලීසියකට ගිය විටදී පමණි.

ඒ හැසිරීමෙන් ප්‍රශ්නයක් මතුවෙනවා – “අනිද්දා” කර්තෘ නීතිඥ
කේ. ඩබ්ලිව්. ජනරංජන

“සරත් එන්. සිල්වා මහතා මීට පෙරදී ද අධිකරණය ඉදිරියේ පෙනීසිටියා. එහිදී සිද්ධ වුණේ ඔහුම ගොනුකරපු නඩුවකට ඔහුම පෙනීසිටීම. නමුත් ඒ නීතිඥයෙක් විදිහට නෙවෙයි පුරවැසියෙක් විදිහට. නමුත් මෙතනදී ඔහු නීතිඥයෙක් විදිහට මහින්ද රාජපක්ෂ මහත්මාව නියෝජනය කරලා තියෙනවා. එහෙම සිදුකිරීමේ හැකියාවක් නෑ. ජනාධිපතිවරයාගෙන් ලිඛිතව අවසරයක් අරගෙන නැති නම්.”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 110 ව්‍යවස්ථවේ 03 වගන්තියට අනුව නීතිඥයකු ලෙස පෙනීසිටීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව රට බෙදීමට අදහස් පළකිරීම සම්බන්ධ චෝදනාව හැරුණු කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයක් ඉදිරියේ නඩු පැවරීමේ හැකියාවක් නොමැත. ඒ නමුත් හිටපු අගවිනිසුරුවරයා නීතිඥයකු වන බැවින් ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවෙයි.

තමන් හට නිත්‍යනුකූල අවසරයක් නොමැති අවස්ථාවක නීතිඥවරයකු ලෙස පෙනීසිටීම වරදකි. ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ලක් සිදුකර ශ්‍රේෂ්ඨාධිකරණය එම පැමිණිල්ල ශ්‍රී ලංකා නීතිඥ සංගමයට යොමු කළ පසු නීතිඥ සංගමය කරුණු සොයා බලා නැවත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළයුතුය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව වැදගත් විය හැකිය. එවන් විටත් ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය පිළිබඳ කාරණාව සනාථ වුවහොත් ඔහු වෘත්තියෙන් ඉවත් කිරීම සම්බන්ධව පියවරක් ගැනීමේ හැකියාවක් පවතියි.

මෙහිදී නීතිඥයකු ලෙස පෙනීසිටිම යනුවෙන් අදහස් වන්නේ අධිකරණයක් ඉදිරියේ පෙනීසිටීම පමණක් නොවේ. කිසිවකු නියෝජනය කරමින් උත්තර බැඳ ඉදිරිපත් කිරීම මෙයින් අදහස්වෙයි. යම් පුද්ගලයකුගෙන් කටඋත්තර ලබාගැනීමේදී ඔහු වෙනුවෙන් පෙනීසිටීම මෙම සිදුවීමට අදාළ ගැටලුවට හේතු වී තිබේ.

110 නීතිය වරදවා පැහැදිලි කිරීමක් – ජනාධිපති නීතිඥ
මනෝහර ද සිල්වා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකසිය දහයේ තුනට තියෙන්නේ යම්කිසි අධිකරණ, විනිශ්ච අධිකාරියක හෝ ආයතනයක නීතිඥයකු වශයෙන් පෙනී සිටීම. සී.අයි.ඩී.යේ නිලධාරියෙක් ඉදිරියේ පෙනී සිටීම නොවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයක් ලබාගැනීමට ඔහුගේ නිවසට පැමිණිවිට සරත් එන්. සිල්වා මහත්මා මහින්ද රාජපක්ෂ මහත්මාට උපදෙස් දීම මෙතැනදී සිදුවෙයි. එවිට එය යම්කිසි අධිකරණ, විනිශ්ච අධිකාරියක හෝ ආයතනයක පෙනී සිටීමක් නොවෙයි. මෙතනදී 110ය සම්පූර්ණයෙන් වරදවා පැහැදිලි කිරීමක් සිදුව තිබේ. විශ්‍රාම ලැබූ විනිශ්චයකාරවරයකුට කිසිදු අධිකරණයක හෝ නීතිඥයෙකු විදිහට පෙනී සිටීමට නොහැකි බව සඳහන් වෙයි. ආයතනයක් යනු විනිශ්චය බලය භාවිතා කරන ආයතනයි. උදාහරණයක් ලෙස කොමිෂන් සභාවක්, අධිකරණයක්, කම්කරැ විනිශ්චය සභාව ආදිය සඳහන් කළ හැකිය.
එවන් ආයතනයක් ඉදිරියේදී සේවාදායකයකු වෙනුවෙන් පෙනී සිටීමට විශ්‍රාමික විනිශ්චයකාරවරයකුට නොහැකි නමුත් සේවාදායකයකුට උපදෙස් ලබාදිය නොහැකි බවක් මෙහි සඳහන් නොවෙයි. යම් අවස්ථාවක හිටපු අගවිනිසුරුවරයා මහින්ද රාජපක්ෂ මහතාට උපදෙස් ලාබාදීමක් සිදුකළහොත් සී.අයි.ඩී. නිලධාරියා තමා ආයතනයක් බව නොසිතිය යුතුය. ඔවුන් සී.අයි.ඩී.යත් උසාවියක් වැනි ආයතනයක් ලෙස සිතන්නේ නම් එය විහිළුවකි.

සරත් එන්. සිල්වා මහතා එම ස්ථානයේ සිටි බවට නිලධාරීන් අධිකරණයට වාර්තා ඉදිරිපත් කර ඇත්නම් එයද නීති විරෝධී වෙයි. ඒ අනුව එම නිලධාරින්ට විරුද්ධ පියවර ගැනීමේ හැකියාවක් ද පවතියි.

►චමිඳු නිසල් ද සිල්වා

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :