සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10 ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටුකරමින් සිටින අවස්ථාවක ශ‍්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කළා.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය අමතමින්.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පුළුල් වගකීමක් ඉටුකළ සහ ඉටුකරමින් සිටින රටක් ලෙස මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලු රාජ්‍යයන්වල සහයෝගය ශ‍්‍රී ලංකාව තවදුරටත් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

ඉකුත් වසර තුන හමාරක කාලය තුළ පශ්චාත් යුද සමයක ඉටුකළ යුතු වගකීම් ඉටුකිරීමට කැපවූ ශී‍්‍ර ලංකා රජය ජාතික සමගිය, සංහිඳියාව සහ රට තුළ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම අරමුණු කරගනිමින් පුළුල් වැඩකොටසක් ඉටුකළ බව ද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයේ සදහන්.

අපගේ ආරක්ෂක හමුදාවන් විසින් පරාජය කරනු ලැබුවේ ලොව ප‍්‍රබල ත‍්‍රස්ත සංවිධානයක් වන අතර අද ශ‍්‍රී ලංකාව නොබෙදුන රටක් බවට පත්ව ඇත්තේ විරෝදාර රණවිරුවන් ඉටුකළ එම යුග මෙහෙවර නිසා බව කියා සිටි ජනාධිපතිවරයා රටේ ඒකීයභාවය සුරැකීම වෙනුවෙන් ආරක්ෂක හමුදාව සිදු කළ එම කැපවීම සැමදා ගෞරවයෙන් සිහිපත් කරන බව ද සඳහන් කළා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරියේ ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ රටක ස්වාධීනත්වය ඉතා වැදගත් බවයි. එබැවින් එම ස්වාධීනත්වය ආරක්ෂා කරමින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන්නැයි ද සියලුදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා දීර්ඝ කාලීන යුද්ධයක අභාග්‍ය සම්පන්න අත්දැකීම් හමුවේ දැනුණු අමිහිරි වේදනාවන් ඇත්තේ වෙනත් අයට නොව ශ‍්‍රී ලාංකීය ජනතාවට බවත් එබැවින් රටේ ප‍්‍රශ්න විසඳා ගැනීමට රටට ඉඩදෙන්නැයි ද සියලුදෙනාගෙන් තමා ඉල්ලන බවත් ප‍්‍රකාශ කළා.

එමෙන්ම මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් විසඳාගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ඉතාමත් වැදගත් බව සඳහන් කළ ජනාධිපතිතුමා කිසිදු විදේශ බලපෑමක් හෝ තර්ජනයක් ස්වාධීන රටක් ලෙස ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව ද කියා සිටියා.මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද තිබෙන්නේ මීට වසර තුන හමාරකට පෙර තිබූ ශ‍්‍රී ලංකාව නොව ඊට වඩා වෙනස් වූ මානවවාදී සහ පරිපූර්ණ සමාජයක් සහිත ශී‍්‍ර ලංකාවක් බවයි.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.