දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ මෙහෙයුම් යැයි පවසන නාමල් කුමාර වරකාපොළ නමැත්තාගේ හෙළිදරව්වත් සමඟින් කරළියට පැමිණි සිද්ධි දාමය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශේෂ පරීක්ෂණයක් සිදුකරමින් සිටී.

එම හෙළිදරව්වත් සමඟින් විවිධ පුද්ගල චරිත මෙන්ම සැඟවුණු රහස් කතා බොහොමයක් සමාජයේ මාතෘකා බවට පත්වෙමින් තිබේ. ඇතැම් මාධ්‍යයද එක් එක් දේශපාලන චරිතවලට සහ දේශපාලන කණ්ඩායම්වලට ‘ලකුණු’ වැටෙන ලෙස තම මාධ්‍යය හසුරුවමින් හිඳී.

නාමල් කුමාර වෙසෙන වරකාපොළ නිවෙසට ඉන්දියානු ජාතිකයෙක් ගිය බව මුලින්ම වාර්තා වූයේ පසුගිය 19 වැනිදා සවස් යාමයේය. එදින නාමල් නිවෙසේ නොසිටි හෙයින් ඉන්දියානු ජාතිකයා නාමල්ගේ බිරිය සමඟ කතාබස් කොට නිවෙසින් නික්ම ගොස් තිබිණි. පසුව එම තැනැත්තා නැවතත් 20 වැනිදා නාමල්ගේ නිවෙසට ගොස් තිබිණි. එදින නාමල් හා කතාබස් කිරීමට එම තැනැත්තාට හැකියාවක් ලැබී ඇත.

ඉන්දියානු ජාතිකයා

“ඒ පුද්ගලයා මගේ ගෙදරට ඇවිල්ලා කිව්වේ, ‘ඔබේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඔබ ආරක්ෂා විය යුතු පුද්ගලයෙක්’ කියලා. ඒ වගේම මේ පුද්ගලයා සූක්ෂම මිනීමැරුම් පිළිබඳවත් දැන්වූවා. මට මේ පුද්ගලයා පිළිබඳව සැක හිතුණා. ඒ නිසා එයා ගැන වරකාපොළ පොලිස් ස්ථානාධිපතිතුමාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් දැන්වූවා. ඒ මොහොතේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ තැනැත්තා අත්අඩංගුවට ගත්තා” ඒ නාමල් කුමාර කියන කතාවය.

එසේ නාමල්ගේ කතාන්දරයත් සමඟ කරළියට ආ එම ඉන්දියානු ජාතිකයා මර්සිල් තෝමස් නමැත්තාය. ඉන්දියාවේ කේරළයේ පුද්ගලයෙක් වන ඔහු මීට පෙර කිසිදු විටෙක තමාට හමුවී නොමැති බව නාමල් සඳහන් කර සිටියේය. සිංහල බසද යම් තරමකට කතා කළ හැකි තෝමස් ඉංග්‍රිසි බස මනා ලෙස හසුරුවන්නෙකි. වර්ෂ 2017 ජනවාරි මාසයේදී, මසක සංචාරක වීසාවක් ලබාගෙන මෙරටට පැමිණි තෝමස් අනතුරුව ප්‍රදේශ කිහිපයකම නවාතැන් ගෙන ඇත. ඔහු මෙරටට පැමිණියේ කුමකට ද යන්න තවමත් නිශ්චිත ලෙස හෙළි වී නොමැති වුවත් ඉන්දියාවේ ආර් එස් එස් අන්තවාදීන්ට බියේ මෙරටට පැමිණි බව තෝමස් ප්‍රකාශ කර ඇත.

පසුව මෙරට බලධාරීන්ගෙන් සරණාගත භාවය ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප වීම නිසා ඔහු අවසානයේ වීසා නොමැතිව තැනින් තැන ගොස් ජීවත්වී තිබේ. ජීවත්වීමට මුදල් නොමැති අවස්ථාවලදී පල්ලිවලට ගොස් මුදල් ඉල්ලාගෙන ජීවත් වූ තෝමස් ඒ අතර කාලය තුළදී ටියුෂන් ගුරුවරයකු ලෙස ද කටයුතු කර තිබෙන බවට පරීක්ෂණ නිලධාරීන්ට පවසා ඇත. ඒ අනුව එලෙස රුපියල් හාරදහසක මුදලක් ලබාගනිමින් නිවෙසකට ගොස් ඉංග්‍රීසි බසින් ගිණුම්කරණය ටියුෂන් ලබා දුන් දරුවකුගේ පියෙකුගෙන්ද අපරාධ පරීක්ෂණ නිලධාරීන් සාක්ෂි සටහන් කරගෙන තිබේ. නාමල්ගේ නිවෙසට පැමිණි මොහොත වන විට තෝමස් රාගම ප්‍රදේශයේ නිවෙසක මාසිකව රුපියල් 2500ක කුලියක් ගෙවමින් නතර වී සිටි බවට වාර්තා වේ.

තෝමස්ව දින 90ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අවසර ලබා දුන්නෙ පසුගිය 27 වැනිදාය.

රාජපක්ෂලා ඝාතන කතාව

තෝමස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමත් සමඟ පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ පුද්ගලයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ අයද ඝාතනය කිරීමට සැලැසුමක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය කර ඇති බවය. එහෙත් එම පාපෝච්චාරණය කිසිදු ලෙසකින් සත්‍යයෙන් තොර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය. “ඉතාම වගකීමෙන් කිව යුතුයි, නොයෙකුත් වාර්තාවල පළ වන අන්දමට ඝාතන කුමන්ත්‍රණයක් ගැන කිසිම කරුණක් මේ ඉන්දියානු ජාතිකයා අනාවරණය කර නැහැ. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබෙන්නෙ නාමල් කුමාර විසින් පවත්වපු මාධ්‍ය සාකච්ඡාව සහ අදාළ දුරකථන සංවාද ගැන වරින්වර මාධ්‍යවල පළ වූ වාර්තා අනුව ඔහුට දැනුණාලු කිහිප දෙනෙකුගේම ජීවිතවලට තර්ජනයක් තිබෙන බව. එසේ දැනුණු නිසා ඒ ගැන විමසීමට නාමල්ගේ නිවෙසට ගියා කියන කාරණය.” ඒ අනුව ඔහු පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමට අවශ්‍ය හෙයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන සිටින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

තෝමස් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කොට තිබුණේ, ‘එම පුද්ගලයා 2000 වර්ෂයේ සිට මානසික ආබාධයකින් පෙළෙන බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බවය. එසේම ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සිදුකරන පරීක්ෂණවලට ඉන්දියාව සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවද සඳහන් කර තිබිණි. එසේම තෝමස්ගේ මානසික තත්ත්වය සලකා බැලීමට මානසික වෛද්‍යවරයකු වෙතටත්, වැලඳී තිබෙන අධික රුධිර පීඩනය හේතුවෙන් කායික විශේෂඥ වෛද්‍යවරයකු වෙතටත්, අතකට සිදුවී තිබෙන අනතුරක් හේතුවෙන් විකලාංග වෛද්‍යවරයකු වෙතටත් යොමු කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සී.ඩී. තැටිය

මේ අතර හෙළිදරව්වේ ඉදිරි විමර්ශන කටයුතු වෙනුවෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙන්ම කටහඬ පරීක්ෂා කිරීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම වෙනුවෙන් පසුගිය 26 වැනිදා දෙවන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ නාමල් කුමාර එදින පැමිණ සිටියේ සංයුක්ත සිඩී තැටියක්ද රැගෙනය. ඒ මොහොතේ ඔහු කීවේ,

“මම හෙළි කරපු හඬ පටවලට අමතර ඒවා මේ සීඩී පටයේ තියෙනවා. සීඩී එකේ තවත් වොයිස් රෙකෝඩ් තුනක් තියෙනවා. මේ පරීක්ෂණවලට අවැසි බොහෝ සාක්ෂි තොරතුරු මේ සීඩී පටයේ තියෙනවා. ප්‍රංශයේ සිටින තුෂාර පීරිස් නමැත්තා ගැනත් මෙහි බොහෝ තොරතුරු තියෙනවා. ඔහු එවපු මුදල් රිසිට් පත්වල ඡායාරූප පවා මෙහි තියෙනවා. මං ඒ පුද්ගලයා ගැන නාලක සිල්වාට ලබාදුන් සාක්ෂි ඔහු විසින් විනාශ කර ඇතැයි හිතන නිසා එම තොරතුරුත් සීඅයිඩී එකට ලබා දෙනවා. මෙහි තිබෙන තොරතුරුවලින් නාලක සිල්වා මහත්තයට ගැලවෙන්න බැරි බව ඒකාන්ත” යැයි කී නාමල් කුමාර පසුගිය සමයේ වූ තවත් සිදුවීමක් පිළිබඳවද හෙළි කළේය.

මහින්ද හමුවීම

“මං ගියා හිටපු ජනාධිපතිතුමා හමුවෙන්න තංගල්ලෙ කාල්ටන් නිවෙසට මීට මාස තුනකට විතර පෙර. හැබැයි ඒ ගියේ තනියම නෙවෙයි. හාමුදුරුවරු දෙනමක් සහ තවත් පුද්ගලයෙක් සමඟ. ගියේ අපේ වරකාපොළ ගමේ තිබෙන මගේ මූලිකත්වයෙන් ඉදිවූ නා සෙවණ සදහම් ආශ්‍රමයේ චෛත්‍යයට මුල්ගල තියන්න ආරාධනා කරන්න. එහි මුල්ගල තියන්න අපට අවශ්‍ය වුණා කිසියම් ප්‍රභූ කෙනෙකු ගෙන්වීමට.

අපේ ආශ්‍රමයේ රාජකීය පණ්ඩිත සූරියවැව සුමේධ හිමි හඳුනන කැප්ටන් අසේල ධර්මසිරි නමැත්තා මඟින් හිටපු ජනපති මහින්ද මහත්තය හෝ ගෝඨාභය මහත්තය සම්බන්ධ කරගන්න බැලුවා. ඒ සඳහා අපි කනක හේරත් සහ පළාත් සභා මන්ත්‍රී උදයකාන්ත සමඟත් සම්බන්ධ වුණා. අන්තිමට අපි මීට මාස තුනකට පමණ පෙරදී සුමේධ හිමියි, තවත් හාමුදුරු නමකුයි, අසේලයි මමයි තංගල්ලෙ කාල්ටන් නිවෙසට ගියා.

අපට මුල්ගල තියන්න අවශ්‍ය වෙලා තිබුණේ අගෝස්තු 31 වැනිදා. එදාට දිනේ දෙන්න බෑ කිව්වා. පස්සෙ උදිත ලොකුබණ්ඩාර මහත්තයා සමඟ දිනයක් වෙන්කරගන්න කතා කරගන්න කිව්වා. අවසානයේ සුමේධ හාමුදුරුවෝ කිව්වා, ඒ දෙන්නටම බැරිනම් අගමැතිතුමා හෝ ගෙනල්ලා වැඩේ කරමු කියලා. එදා වුණේ එපමණයි. එම සිදුවීම, නාලක සිල්වා අතර වූ ‘හුටපටය’ට කිසිසේත්ම අදාළ නෑ.

ස්නයිපර් අවිය

ඒ වගේම මෙයත් කිව යුතුයි. නාලක සිල්වාගේ ඉත්තෙක් වෙමින් ඔහුගේ කීම්වලට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කොටුකර දුන්න අමිත් වීරසිංහ, ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන්ගෙන් විඳින්නට වූ පීඩනය ගැන මං කනගාටු වෙනවා යැයි නාමල් කුමාර කීවේය.

නාමල් කුමාර හා නාලක සිල්වා ‘හුටපටය’ හරහා කරළියට ආ තවත් ‘බෝම්බයක්’ වූයේ ත්‍රස්ත විමර්ශන ඒකකය හා බැඳුණු ගිනිඅවි කතාන්දරයයි.

ඉකුත් සමයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් ඔඩ්ඩුසුඩාන්හිදී හිටපු එල්ටීටීඊ සාමාජිකයකු සමග ඔහු සතුව තිබූ ක්ලේමෝ බෝම්බ සහ සැඟවුණු වෙඩික්කරුවන් භාවිත කරන ස්නයිපර් ගිනිඅවියක්ද අත්අඩංගුවට ගෙන තිබිණි.

එම ස්නයිපර් ගිනිඅවිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තිබී අතුරුදන් වී ඇති බවට පසුගිය සමයේදී උසස් පොලිස් නිලධාරියෙකු විසින් පොලිස්පතිවරයාට දැනුම් දුන් බවටද සැලවේ.

එසේ දැනුම් දුන්නද එම ගිනිඅවිය පිළිබඳව පසුගිය සමයේ කිසිදු ආකාරයක පරීක්ෂණයක් සිදුවී නොමැති බව කියැවිණි. එහෙත් එම අතිවිශේෂ ගිනිඅවිය පිළිබඳවද පුළුල් ලෙස පරීක්ෂණයක් සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් සිටී. ඒ පිළිබඳව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

ඊට අමතරව ත්‍රස්ත විමර්ශන ඒකකය වෙනුවෙන් අතුරු සන්නද්ධ ඒකකයක් ස්ථාපිත කිරීමට යැයි පවසමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අනුමැතියෙන් යුතුව එල්එම්ජී නමැති ගිනිඅවි දෙකක්ද පසුගිය සමයේ නියෝජ්‍ය පොලිස්පති නාලකගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාගෙන ඇති බව සැලවේ.

ඒ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකායේ පිහිටි ගිනිඅවි ගබඩාවෙනි.

එම ගිනිඅවි දෙක මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන ඇති අතර මෙවැනි ඒකකයක් ස්ථාපිත කරමින් එවැනි ගිනිඅවි දෙකක් ලබා ගැනීම පිළිබඳව ද නිලධාරීන් පුළුල් පරීක්ෂණයක් සිදු කරයි.

නාමල් කුමාරගේ හෙළිදරව්වත් සමඟ ඇතිවූ සිද්ධි දාමය එලෙස ගලා යද්දී එම හඬපටවලින් නම කියැවුණ පොලිස් නිලධාරීන් වූ පොලිස් අධිකාරී නිහාල් තල්දූව, සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්, වරකාපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්ත සහ පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් යන නිලධාරීන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන අවසන්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

පුවත්පත මුද්‍රණයට යන මොහොත වන විට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගේ කටහඬ පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. ඒ අනුව ලැබෙන වාර්තාවන් අනුව මෙහි ඉදිරි කටයුතු කෙසේ සිදුවේද යන්න රටම බලා සිටී.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.