පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා රජයට බල කිරීම සඳහා කටයුතු කරන්නැයි කැෆේ සංවිධානය සියලුම සිවිල් සංවිධාන වලින් ඉල්ලීමක් කර තිබෙනවා.
කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සෙසු සිවිල් සංවිධාන වෙත ලිපියක් යොමු කරමින් මේ බව සදහන් කළා. මේ එම ලිපියයි.

හිතවත් සභාපතිවරුනි, විධායක අධ්‍යක්ෂවරුනි, අධ්‍යක්ෂවරුනි, සිවිල් සංවිධාන ක්‍රියාධරයිනි,

කැෆේ සංවිධානය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියළුම සිවිල් සංවිධානප්‍ර‍ජා මූල සංවිධානයස්වෙච්ඡා සංවිධාන වෙතින් සිදු කරන කාරුණික ඉල්ලීමයි.

නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා හි කාලය අවසන් වී මාස 13 ක් ගතවී ඇත.  වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් සභා හි කාලය ද මේ මස අවසන් විය. අද වන විට පළාත් 9 න් 6 ක් ම මහජන නියෝජනයක් නොමැති ආණ්ඩුකාරවරුන් හා රාජ්‍ය නිලධාරීන් ගේ පාලනයක් ස්ථාපනය වී ඇත.   ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජයක මුලිකම ලක්ෂණය වන්නේ ‘නිදහස් හා සාධාරණ මැතිවරණ මගින් තෝරාපත් කර ගනු ලබන මහජන නියෝජිතයින් මගින් රට, පළාත් සහා පළාත් පාලන ආයතන පාලනය කිරීමයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉතා නිවැරදිව පෙන්වා දී ඇති පරිදි ආණ්ඩුකාර/රාජ්‍ය නිලධාරි පාලනය ‘ඒකාධිපති පාලනයකි.

පාර්ලිමේන්තුව විසින් සීමා නිර්ණය කමිටු වාර්තාව ප්‍ර‍තික්ෂේප කිරීම මගින් ඡන්ද කල් දමා ගැනීම සදහා මාර්ගය සකස් වී ඇත.   පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය (එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය) ද, විපක්ෂය (ද්‍ර‍විඩ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ) ද මෙම තත්වය ඇති කිරීමට මුලික වී ඇත. අග්‍රාමාත්‍යවරයා ප්‍ර‍මුඛ පංච පුද්ගල ‘සීමා නිර්ණය සමාලෝචන කමිටුව‘ ගෙවී ගිය මාස 2 කට ආසන්න කාලය තුල රැස්වී ඇත්තේ අවස්ථා දෙකක දී පමණී.   එහි නිල කාලය ඔක්තෝබර් 28 දිනෙන් අවසන් වන අතර, ඉදිරි දින කිහිපයේ දී රැස්වීමක් සැලසුම් කොට නැත. යම් හෙයකින්, අග්‍රාමාත්‍යවරයා විසින් සීමා නිර්ණය පිළිබද සමාලෝචන වාර්තාව නියමිත පරිදි 2018 ඔක්තෝබර් 31 දිනට ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට අසමත් වන්නේ නම්, ජනාධිපතිවරයා විසින් මුල් සීමා නිර්ණය පිළිබද කමිටු වාර්තාව ගැසට් මගින් ප්‍ර‍කාශයට පත් කළ යුතුව ඇත.

ආණ්ඩු පක්ෂය තුල පළාත් සභා ඡන්දය පැවැත්විය යුත්තේ පැරණි මනාප ක්‍ර‍මයට ද, නැතිනම් නව ක්‍ර‍මය යටතේ ද යන සංවාදයක් පවතින බව පෙන්වීමට ආණ්ඩුව උත්සහ දරයි. එය මැතිවරණය කල් දමා ගැනීමේ සූක්ෂම උපක්‍ර‍යකි.

මැතිවරණ කොමිෂන් සභාව හා මැතිවරණ නිරීක්ෂන සංවිධානයන්ගේ බලපෑම මත රජයට පසුගිය මාර්තු මස පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට සිදු විය. එයින් පරාජය ලැබූ සහ ශක්තිය හීන වූ බව අවබෝධ කොට ගත් දේශපාලන පක්ෂ සියල්ලටම, ජනාධිපතිවරණය දක්වාම පළාත් සභා ඡන්දය කල් දැමීමට ආණ්ඩුවට අවශ්‍ය වී ඇති බව පැහැදිලිය.  ලංකා ඉතිහාසයේ ආණ්ඩු පක්ෂයට ද, විපක්ෂය ද, ඡන්ද කල් දැමීම සදහා පොදු එකගතාවයකින් කටයුතු කරනු ලබන්නේ පලමු අවස්ථාවටය. ද්‍ර‍විඩ ජාතික සන්ධානයේ කොටස් කැඩී යාම හේතුවෙන්, විපක්ෂ නායක සම්බන්ධන් මහතා සිය ඡන්ද බල ප්‍රදේශයවන නැගෙනහිර පලාතේ පමණක් නොව, ජාතික ප්‍ර‍ශ්නයක් බවට පත්වී ඇති පළාත් 5 ක ඡන්ද විමසීම් දිනා ගැනීම සදහා ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදු නොකරයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ පළාත් සභා ඡන්දය කල් දැමීම සදහා කටයුතු කරන විට එම ඡන්දය දිනා ගැනීමේ වගකීම සිවිල් හා ස්වෙච්ඡා සංවිධාන වෙත පැවරේ.  මේ රටේ සියළුම සිවිල් හා ස්වේචඡා සංවිධානය සෘජුව හෝ වක්‍ර‍ම පළාත් සභා සමග කටයුතු කරනු ලබයි. ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී නියෝජනයක් නොමැති, නිලධාරීන් මගින් පාලනය වන පළාත් සභා පාලනයක් සමග දීර්ඝ කාලීන වශයෙන් සිවිල් සංවිධාන කටයුතු කිරීම යහපත් ‘යහපාලන ව්‍යාවහාරයක් නොවන්නේය. එමෙන්ම, එවැනි ක්‍රියාවත් ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී ලෙස ඡන්ද පැවැත්වීම කල් දැමීමට රජය දරණ උත්සාහය අනුමත කිරීමක් ද වන්නේය.

ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජ භාවිතාවන්ගෙන් රජය ඉවත්ව කටයුතු කරන විට, මෙයට පෙර ලංකාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සක්‍රීය ලෙස එයට විරෝධය පළ කර ඇත. නමුත්, ඡන්ද විමසීම කල් දැමීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව,මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා දැනට පළාත් සභා නියෝජනයක් නොමැති දේශපාලන පක්ෂ කිහිපයක් හැර සිවිල් හා ස්වෙච්ඡා සංවිධාන සිය මතය, විරෝධය සක්‍රීය ලෙස පළ කිරීමට අසමත්ව ඇත.

විදේශයන් හි මුලස්ථාන සහිතව ක්‍රියාත්මක වන සංවිධානය හා වැඩසටහන් ද, සංවර්ධන නියෝජිත ආයතන ද, තානාපති අංශ ද, මෙවැනිම නිහඩතාවයක් දක්වන්නේ දේශීය සිවිල් සංවිධානයන්හි නිහඩතාව හේතුවෙනි.

පලාත් සභා ඡන්ද විමසීම කල් දැමීම සාධාරණීකරණය සදහා විවිධ පුද්ගලයින් ඉදිරිපත් වන අවස්ථා ද අප දැක ඇත.  රාජ්‍ය බලය සහිත කණ්ඩායම් සිය බල ව්‍යාපෘතිය සදහා මැතිවරණ කල් දමා ගැනීමට දරණ උත්සාහයට දායකවීම සැබෑ සිවිල් ක්‍රියාකාරීත්වයට තරම් නොවන බව, ඔවුහු තවමත් අවබෝධ කර ගෙන නැත.

ආසියාවේ දීර්ඝතම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී මැතිවරණ පැවැත්වූ රාජ්‍යය වර්තමානයේ පළාත් සභා ඡන්දය විමසීම පවත්වා ගතනොහැකි තත්වයක් උද්ගතවීම ලැජ්ජාවට කරුණකි. එමෙන්ම, ඡන්ද කල් දැමීම පිලිබද 1975 හා 1982 අත්දැකීම් අතිශයින් විනාශකාරී වූ බව ද, අප අමතක නොකළ යුතුය.

එබැවින්, මේ වන විටත් ආණ්ඩුකාර පාලනය නමින් ඒකාධිපති පාලනයකට නතු කොට ඇති පළාත් සභා 6 හි ඡන්ද විමසීම ඉක්මනින් පවත්වන ලෙස ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ නායකයින් වෙත බල කර සිටීම සදහා මෙරට සියළුම සිවිල් හා ස්වෙච්ඡා සංවිධානයන් ගේ කාරුණික අවධානය යොමු කරන ලෙස කැෆේ සංවිධානය ගෞරවයෙන් ඉල්ලා සිටී.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.