ලංකාවේ ප්‍රථම වරට ගුවන් මගින් ඛනිජ තෙල් ගවේශණය ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ මන්නාරම සහ කාවේරි ද්‍රෝණියේ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඛනිජ තෙල් සම්පත් ගවේෂණය පිණිස ප්‍රථමවරට ගුවන්යානා උපයෝගි කොට ගනිමින් ගුරුත්වාකර්ෂණ හා චුම්භක ක්ෂේත්‍ර දත්ත රැස්කිරීම හා සමීක්ෂණය පසුගියදා ආරම්භ විය.

සමීක්ෂණය කරන්නේ එක්සත් රාජධානිය මූලස්ථානය කොට ගත් ලෝක ප්‍රකට භෞතික සමීක්ෂණ සමාගමක් වන බෙල් ජියෝස්පේස් (Bell Geospace) පෞද්ගලික සමාගම විසිනි.

දිගු කාලීනව ලංකාවේ ඛනිජ තෙල් තිබිය හැකි ප්‍රදේශ බිම් කැබලි 20කට වෙන් තිබිණ. තනි සමාගමකට එක් බිම් කැබැල්ලක් ගවේෂණයට දිගු කාලයක් හා විශාල මුදලක් වැය වේ . එනිසා බිම් කැබලි 20 කුඩා කොටස් 873 කට වෙන් කොට සිතියම නැවත සකස් කරනු ලැබීය. ලංකාවට පැමිණෙන ඛනිජතෙල් ආයෝජකයින් තමන් ගවේෂණය සඳහා තෝරා ගත යුත්තේ කුමන කැබැල්ල දැයි තීරණය කිරීමට නම් එම කැබලිවල විද්‍යාත්මක දත්ත හා තොරතුරු අවශ්‍ය වෙයි. එසේ තොරතුරු සම්පාදනය සඳහා ගුවන්ගත ගුරුත්වාකර්ෂණ චුම්භක ක්ෂේත්‍ර සමීක්ෂණය සිදු කෙරේ.

ශ්‍රී ලංකාව හා බෙල් ජියෝස්පේස් සමාගම අතර ගිවිසුම අනුව ගවේෂණ මගින් සොයා ගන්නා දත්ත රැස් කිරීමෙන් ශ්‍රී ලංකාවට තුන් ආකාරයක ප්‍රතිලාභ හිමිවන බවත්, මෙය විදේශ විනිමය උත්පාදන ව්‍යාපෘතියක් බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (15) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. නව සැලැස්ම යටතේ රජයට කිසිදු වියදමක් නැතිව සීමිත දත්ත ප්‍රමාණයක් සහිත හෝ දත්ත රහිත භූමි ප්‍රදේශවල නවතම දත්ත හිමිවීම, සමීක්ෂණ පිරිවැය නැවත අයකර ගැනීමේ පදනම මත දත්ත විකිණීමෙන් වර්ධනාත්මක ආදායම් ප්‍රතිශතයක් ක්‍රමානුකූලව රජයට හිමිවීම ඉන් දෙකකි. තුන්වෙනුව මේ දත්ත පදනම් කරගනිමින් බෙල්ජි යෝස්පේස් සමාගම ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් විභවය පිළිබඳව ජාත්‍යන්තර අලෙවි ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන නිසා ගෝලීය තෙල් හා ගෑස් සමාගම් ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වෙයි.

ලබන මස ඛනිජ තෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමෙන් අනතුරුව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ස්ථාපනය කෙරේ. ශ්‍රී ලංකාවේ ගෑස් හා ඛනිජ තෙල් ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජනය කරන මෙන් ලොව ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් සමාගම්වලට ආරාධනා කරන බව අමාත්‍යවරයා පැවසීය .

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි උපයෝජනයෙන් පමණක් විදේශ ණය ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගත හැකි බව ගම්මන්පිළ මහතා පෙන්වා දුන්නේය.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *