පැන්ඩෝරා හෙළි කළ සල්ලි කාගේද ? අනුර කුමාර ප්‍රශ්න කරයි

දේශප්‍රේමී මුහුණුවර, ජාති ආලය පිළිබඳ මුහුණුවර සහ රටට ආදරය පිළිබඳ මුහුණුවරට සැඟවී බලයට පත්වීමෙන් පසු ඇමරිකන් එක්සත් ජනපදයේ ජීවත්වීමට සිහින දකින පවුලේ පාලනය විසින් අපේ රට විදේශ බලවතුන්ගේ යටත් විජිතයක් බවට යළි පත්කරමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

තරඟයට වේගයෙන් විකුණනවා…

“ඕනෑම රටකට උපායමාර්ගික වශයෙන් වැදගත් ආර්ථික මර්මස්ථාන සහ ආර්ථික සම්පත් ආරක්ෂා කර ගැනීම බලයට පත්වන පාලකයන්ගේ වගකීමක්. අපි ඉපදෙනවිට තිබුණු රටේ සම්පත් මියයනවිට විදේශිකයන්ට පවරා තිබෙනවා නම් එය රටකට කෙතරම් ඛේදවාචක නිර්මාණය කරනවාද? චීනය ඉන්දියාව සහ ඇමරිකාව අපේ රට සම්බන්ධයෙන් විශාල ආර්ථික සහ දේශපාලනික මැදිහත්වීමක් කරමින් ඉන්න බව පැහැදිලියි. මෙවැනි අන්තරාකාරී තත්වයකට රට පත්කර තිබෙන්නේ දීර්ඝ කාලයක් ආනුගමනය කළ ආර්ථික සහ විදේශ ප්‍රතිපත්තිය නිසයි. අවසාන ප්‍රතිඵලය වී තිබෙන්නේ එකිනෙකා පරයා යමින් වේගයෙන් අපේ රටේ ජාතික සම්පත් විකුණා දැමීමයි.

ඕනෑම රටක උපායමාර්ගික වශයෙන් බලශක්ති සම්පත අතිශය වැදගත්. ඒ වගේම වරාය වැදගත් වෙනවා. උපනූපන් පරම්පරාවලට හිමි සියළු සම්පත් මාස එකහමාරකට ආසන්න කාලයක් තුළ ඉතා වේගයෙන් විදේශ සමාගම් වෙත පැවරීමේ ප්‍රයත්නයක පාලකයන් නිරතවී සිටිනවා. එයින් ප්‍රධානම වී තිබෙන්නේ කෙරවලපිටිය බලාගාරයේ 40%ක කොටස් සහ ගෑස් සැපයුම මෙන්ම ගබඩා පර්යන්තය එක්සත් ජනපදයට පවරාදීමයි. ඊට අදාළ ගිවිසුම් ගණනාවක් කැබිනට් මණ්ඩලයවත් නොදැනුවත්ව අත්සන් කරනු ලැබුවා. වැදගත්ම බලශක්ති ආර්ථික මර්මස්ථානයක් පවරා දුන්නා. ඉන් පසුව ඉන්දියානු අදානි සමාගමට කොළඹ වරායේ බටහිර ජැටිය විකුණා දැමුවා. ඒ වගේම වරාය අධිකාරිය විසින් සපයන සේවාවන් පවරාදීම සිදු කෙරෙනවා. 2017දී සේවා සැපයීමෙන් වරාය අධිකාරිය රුපියල් බිලියන 5කට අධික ආදායමක් ලැබුවා. මේ ආදායම චීනයේ ක්‍ෂක්‍ඔ සමාගමට පවරාදීම සඳහා කටයුතු කෙරෙමින් තිබෙනවා. පෝට් සිටියට ආසන්නයේ තිබෙන අක්කර 13ක ඉඩමක් අක්කරය රුපියල් ලක්ෂ අට හමාරක සොච්චම් බදු මුදලකට පවරා දෙන්න කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා. මේ අනුව අපේ රටේ ආර්ථික උපායමාර්ගයේ ඉතා වැදගත්ම කොටසක් රටට අහිමි කරමින් තිබෙනවා.”

ආර්ථික උපායමාර්ගික සම්පත්

“තව පැත්තකින් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ තෙල් ගෙන්වීම, පිරිපහදු කිරීම, මිශ්‍ර කිරීම සහ ගබඩා කිරීම වගේම බෙදා හැරීමත් 1961 අංක 28 දරණ පනත අනුව තෙල් සංස්ථාවේ ඒකාධිකාරයක්. තෙල් වෙළඳපොලේ අධිකාරීත්වය විදේශ සමාගම්වලට පවරා දෙනු ලැබුවහොත් රට දුවනවාද නතර කරනවාද යන්න පවා තීරණය කරන්නේ තෙල් සමාගම්. නමුත් 2001 දෙසැම්බර් මාසයේදී විශේෂ විධිවිධාන පනතක් මගින් තෙල් ගෙන්වීම ගබඩා කිරීම සහ බෙදා හැරීම යන ක්ෂේත්‍ර පමණක් ෂධක්‍ සමාගමට අවුරුදු 20ක් සඳහා පවරා දුන්නා. එම බලපත්‍රය 2023 වෙනවිට අහෝසි වෙනවා. ඉන් පසුව තෙල් සම්බන්ධයෙන් ඒකාධිකාරය සම්පූර්ණයෙන් අපේ රටට අත්වෙනවා. නමුත් දේශප්‍රේමී සළුපිළි පොරවා ගත් නායකයන් 1961 අංක 28 දරණ පනත සංශෝධනය කර අපේ රටේ තෙල් වෙළඳපොල විදේශ සමාගම් වෙත විවෘත කරන්න සූදානම් වෙනවා. ඒ අනුව පෙට්‍රල් ඩීසල් භූමිතෙල් හා දැවිතෙල් යන ඛනිජ තෙල් නිෂ්පාදන, විකල්ප ඉන්ධන ආනයනය, අපනයනය පිරිපහදු කිරීම, විකිණීම, සැපයීම, නිෂ්පාදනය, මිශ්‍රකිරීම හා බෙදාහැරීම සඳහා සුදුසුකම් ලබන පාර්ශවයන් වෙත ලබා දෙන්න යනවා. ඛනිජ තෙල් වෙළඳපොල විවෘත කරන්න උදය ගම්මන්පිල ඛනිජ තෙල් ඇමතිවරයා සූදානම් වෙනවා. තෙල් වෙළඳපොලටත් විදේශීය සමාගම් කැඳවා ගැනීමේ වුවමනාව ඔවුන්ට තිබෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ මෙහෙයුම් බලය ෂධක්‍ ඇතුළු විවිධ විදේශීය සමාගම්වලට පවරා දෙන්න ක්‍රියාකරමින් තිබෙනවා. අපේ රටට ජාතික වශයෙන් වැදගත් ආර්ථික උපායමාර්ග වශයෙන් වැදගත් සම්පත් සියල්ල විදේශීය සමාගම් වෙත පැවරීමේ ප්‍රයත්නයක් තිබෙනවා.

මෙම මස 06 වෙනිදා අපේ රටේ තෙල් කැණීම් පිළිබඳව තිබෙන 2003 ඛනිජ තෙල් සම්පත් කැණීම් පිළිබඳ අධිකාරි පනත අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ පනත අනුව තෙල් කැණීම, නිෂ්පාදනය කිරීම සහ සියළු පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් පවතින පනත අහෝසි කරන්න සූදානමක් තියෙනවා. වෙන්දේසිකරුවන් කණ්ඩායමක් විසින් රටේ වැදගත්ම ආර්ථික මර්මස්ථාන විදේශ සමාගම් වෙත පැවරීම සඳහා ගෙන යන මෙම ක්‍රියාමාර්ග පරාජය කළ යුතුයි. චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව විවිධ ක්ෂේත්‍රවල ආර්ථික මර්මස්ථාන අත්පත් කර ගැනීමේ තරඟයක යෙදී සිටිනවා. ඒ හරහා අපේ රට යළි යටත් විජිතයක් කිරීමේ ක්‍රියාවලියක් දියත්වී තිබෙනවා. ඇමරිකන් එක්සත් ජනපදයේ ජීවත්වීමට සිහින දකින පවුලේ පාලනය විසින් අපේ රට විදේශ බලවතුන්ගේ යටත් විජිතයක් බවට යළි පත්කරමින් තිබෙනවා. දේශප්‍රේමී මුහුණුවර, ජාති ආලය පිළිබඳ මුහුණුවර සහ රටට ආදරය පිළිබඳ මුහුණුවරට සැඟවිලා මේ විනාශකාරී ගමනේ ඔවුන් නිරතවී සිටිනවා. තෙල් සංස්ථාව, වරාය අධිකාරිය සහ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ව්‍යාපාරවලට අපි අවධාරණය කරන්නේ තමන්ගේ ක්ෂේත්‍ර තුළ දියත් කර තිබෙන මෙම විනාශය වැළැක්වීම සඳහා එකට එකතුවිය යුතු බවයි. දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒ වෙනුවෙන් අපි අපේ මැදිහත්වීම කරන්න අපි සූදානම්. මේ විනාශකාරී ආර්ථික ගමන පරාජය කිරීම සඳහා එකතුවන ලෙස අප සියළුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. අපේ රටේ ආර්ථික උපායමාර්ග වශයෙන් වැදගත් මර්මස්ථාන විදේශීය බලවතුන්ට තව දුරටත් පැවරීමේ ප්‍රයත්නය අපි පරාජයට පත්කළ යුතුයි.”

විදේශීය සමාගමකින් ඩොලර් කුට්ටියක් අරගෙන තෙල් සංස්ථාව ලොක්ඩවුන් කරන්නද මේ සූදානම

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති, ජාතික සම්පත් විකිණිමට එරෙහි වරාය තෙල් විදුලි ඒකාබද්ධ සන්ධානයේ නියෝජිත ආචාර්ය අශෝක රන්වල.

“අපි කතා කරන මොහොතේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉතාමත් බරපතල තත්වයක තිබෙන්නේ. 1960 ඉඳලා 90 දශකය දක්වා මේ සංස්ථාවේ ස්වර්ණමය යුගයක්. ඛනිජ තෙල් සම්බන්ධ ඒකාධිකාරය වඩාත් ශක්තිමත් කරන්න 1962, 64 කාලවල සංශෝධන ගෙනාවා. පිරිපහදුව ඉදි කළේත් සංශෝධනයක් මත. මේ සංශෝධණ ගෙනාවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඒකාධිකාරය වඩා ශක්තිමත් සහ බලවත් කරන්නයි. ජනතාවට සහන ලබාදෙමින් විදේශ විනිමය ලබාගැනීම තහවුරු කරන්නයි. නමුත් 2002 ඛනිජ තෙල් පනත සංශෝධනය කර ඒකාධිකාරී බලය විසිරුවා හරින්න මුලපිරුවා. වෘත්තීය සමිති විදිහට අපි ඊට විරුද්ධව විශාල හඬක් නැගුවා. ඛනිජ තෙල් සංස්ථාව කෑලි තුනකට කඩලා ෂධක්‍ සමාගමට කොටසක් දුන්නා. ඉන් පස්සේ සංස්ථාව බරපතල මූල්‍ය අර්බුදයක් දක්වා දිගටම ගමන් කළා. නමුත් පාලකයන් කිව්වේ සංස්ථාව වඩාත් ශක්තිමත් කරන්න පනත සංශෝධනය කරන බවයි.

2003 අංක 26 දරණ පනතක් ගෙනත් ලංකාවේ ඛනිජ තෙල් සම්පත ප්‍රයෝජනයට ගන්න යන බව පාලකයන් අපට කිව්වා. නමුත් ඒ පනතින් ආවරණය කළ කිසිදු කොන්දේසියක් මේ දක්වා ගත්තේ නෑ. මැතිවරණයක් ආසන්නයේදී සහ රටේ අර්බුදයන් වඩාත් වේගයෙන් පැතිරෙන විට ඛනිජ තෙල් ගොඩගැනීම පිළිබඳ මාධ්‍ය ප්‍රචාර තොරොම්බල් කරන්න පටන් ගන්නවා. ඛනිජ තෙල් සම්පත් ගවේශන අධිකාරියක් පිහිටුවන බව කියනවා. නමුත් මේ පනත සම්පූර්ණයෙන්ම අවලංගු කර මේ ආකාරයේම තවත් පනතක් ගේන්න යනවා.”

විකිණීමට පනත් සංශෝධනය කිරීම

“මේ පනතේ සඳහන් කර තිබෙන්නේ “උද්ගාමී ඛනිජ තෙල් කර්මාන්තය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම” සම්බන්ධයෙන් කටයුතු කරන බවයි. නමුත් 1961 අංක 28 දරණ පනතින් මේ කාර්යභාරය කරන්න පුළුවන්. 2003 අංක 26 දරණ පනතත් යොදා ගන්න පුළුවන්. නමුත් අලුත් පනතක් ගෙනත් ඛනිජ තෙල් සම්පත් සම්බන්ධයෙන් අනුගමනය කරන්න යන ක්‍රියාමාර්ග පිළිබඳව බරපතල සැකයක් අපට ඇති වෙනවා. මේ පනතෙත් නිවැරදි නීතිමය උපදෙස් ගන්න නොහැකි තැන් ගණනාවක් තිබෙනවා. 2003 පනත අනුව මේ දක්වා ඛනිජ තෙල් ගවේෂණයට කිසිවක් නොකළ මිනිස්සු කඩිමුඩියේ මෙවැනි පනතක් ගේන්නේ ඇයි? විදේශීය සමාගමකින් ඩොලර් කුට්ටියක් අරගෙන තෙල් සංස්ථාව ලොක්ඩවුන් කරන්නද මේ ලෑස්ති වෙන්නේ? ඒ ණය අනාගත පරම්පරාවට ගෙවන්න සිද්ධ වේවි.

මේ අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පරීක්ෂා කරන්න ඉන්දියානු විදේශ ලේකම්වරයා ගියා. 2023 අවසන් වන අයිඕසී සමාගමේ ගිවිසුම නැවත දීර්ඝ කරන්න සූදානම් වෙන බව අපට පැහැදිලියි. ලංකාව සතු සම්පතක් අයිඕසී සමාගම බලහත්කාරයෙන් තබා ගැනීම පිළිබඳව අපි නඩු දෙකක් දාලා තියෙනවා. වෘත්තීය සමිති විදිහට පවරා තියෙන නඩුව විභාගවෙමින් පවතිනවා. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් වසන්ත සමරසිංහ පෞද්ගලික නඩුවක් පවරා තිබෙනවා. වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ මුල වර්තමාන ඇමතිවරයා ඉතා පැහැදිලිව ප්‍රතිඥා දුන්නේ ඛනිජ තෙල් සම්බන්ධයෙන් අයිඕසී සමාගමේ කාලය දීර්ඝ නොකර තෙල් සංස්ථාවට අත්පත් කර ගන්නා බවයි.”

“ඇමතිවරයා ව්‍යාජ ප්‍රකාශයක් කර තිබෙනවා. ඉන්දු ලංකා ගිවිසුම අනුව ත්‍රිකුණාමලයේ ටැංකි සියල්ලම ඉන්දියාවට පවරා අවසන් බව ප්‍රකාශ කර තිබෙනවා. මේ ප්‍රකාශය වෘත්තීය සමිති විදිහට අපි දැඩිව හෙළා දකිනවා. ඉන්දු ලංකා ගිවිසුමේ ඇමුණුම්වල එක තැනක සඳහන් වෙන්නේ තෙල් ටැංකි සම්බන්ධවෙන් කිසියම් තීන්දුවක් ගන්නවා නම් ඉන්දියාව දැනුවත් කර එය කළ යුතු බවයි. මේ බව වසන් කරමින් ඇමතිවරයා සාවද්‍ය ප්‍රකාශයක් කර 2003 පනත අභිබවා යන හානිකර ආකාරයේ කොන්දේසි සහිත බලපත්‍රයක් අයිඕසී සමාගම සමඟ අත්සන් කරන්න සූදානම් වෙනවා. ඊට අදාළ ප්‍රතිපාදන ඛනිජ තෙල් පනතේ නොමැති නිසා අදළ තත්වයන් සම්පූර්ණ කරගන්න දැන් ක්‍රියාකරමින් සිටිනවා. ඒ නිසා මේ පනත පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ යුතුයි. තිබෙන පනත අවලංගු කර නව පනතක් ගෙන එන්න තිබෙන අවශ්‍යතාවය රටට හෙළිකළ යුතුයි. ඛනිජ තෙල් ක්ෂේත්‍රය විදුලිය සහ වරාය වෘත්තීය සමිති ඒකාබද්ධව දේශපාලන පක්ෂත් සමඟ කටයුතු කරමින් සිටිනවා. මේ කරන අරගලය වැටුප් වැඩිකර ගැනීමට නොවෙයි. මෙය හුදු වෘත්තීය සමිති අරගලයක් නොවේ. මේ සම්පත් රටේ ඊළඟ පරම්පරාවට අත්කරදීමේ අරමුණින් තිරසර සංවර්ධනයේ මූලික න්‍යායන් අනුව දියත්කර ඇති බව අවධාරණය කරනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අනුර දිසානායක ලබාදුන් පිළිතුරු…

“ලෝකයේ කොහේ හෝ කළු ධනය සම්බන්ධයෙන් වාර්තාවක් එළියට එනවා නම් ලංකාවේ දේශපාලකයන් සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබන අය සම්බන්ධයෙන් වාර්තා නිකුත්වීම සුලබ දෙයක් වී තිබෙනවා. පැන්ඩෝරා වාර්තා හරහා සිදුවී තිබෙන්නෙත් ඒක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ, බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාගේ ඥාති සොහොයුරියක් වගේම ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නිපුණ රණවකගේ ඥාතිවරියක් වන නිරූපමා රාජපක්ෂ ගැන කරුණු හෙළිවී තිබෙනවා. රුපියල් දශ ලක්ෂ 35,000ක් විවිධ බැංකු සහ දේපළ තුළ සඟවා තිබෙන බව හෙළිදරව් කර තිබෙනවා. පකිස්ථානයේ ඉම්රාන් ඛාන් අග්‍රමාත්‍යවරයාගේ ආර්ථික උපදේශකයෙකුගේ පුතෙක් ඇතුලූ කිහිප දෙනෙක් පිළිබඳවද චෝදනා එල්ල වී තිබෙනවා. ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කර වහාම නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කරන තිබෙනවා. මේ හෙළිදරව්ව ගැන ඔබ දැන් මගෙන් තොරතුරු අහනවා. නමුත් මේ සම්බන්ධයෙන් ඉක්මනින් ප්‍රකාශක් කළ යුතුව තිබෙන්නේ රටේ ජනාධිපතිවරයා. නමුත් ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ මුදල් ඇමතිවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් කියන්නේ නැහැ.

බැසිල් රාජපක්ෂට අයත් යැයි කියන නඩුවක් පවතින මල්වානේ නිවස පිහිටි ඉඩමේ ඔප්පුව තිබෙන්නේ තිරු නඩේෂන්ගේ නමට. 2015 ජනවාරි 08 රාත්‍රියේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නිවසට බලය හුවමාරු කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කරන්න රනිල් වික්‍රමසිංහ ගියේ තිරු නඩේෂන් එක්ක. තිරු නඩේෂන් හෝ නිරුපමා රාජපක්ෂ මේ බලයේ ඉන්න චෞර වළල්ලෙන් පිට අය නෙවෙයි. ඒ වළල්ලේ ඇතුළේ ඉන්න අයගේම ධනය මේ හෙළිවී තිබෙනවාදැයි සැකයක් තිබෙනවා.”

බිරින්දෑවරු හරහා මූල්‍ය ජාවාරම්

“එපමණක් නෙවෙයි. ඉමාම් සුබේරි කියන සීඅයිඒ නියෝජිතයා අවුරුදු 12කට සිර දඬුවම් විඳනවා. මේ සීඅයිඒ නියෝජිතයාට එවකට මහ බැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල් ඩොලර් මිලියන 6.5ක් ගෙවා තිබෙනවා. ඒ ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන්න කියලා. ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ අවසරයක්වත් නැති බව වාර්තා වෙනවා. එක්සත් ජනපදයේ සීඅයිඒ නියෝජිතයින්ගේ වත්කම් පරීක්ෂා කරනකොට ලංකාවේ කබ්රාල්ලා ගැන හෙළිවෙනවා. ප්‍රංශයේ එයාර් බස් සමාගම සම්බන්ධයෙන් එරට සහ එංගලන්තය, ඇමරිකන් එක්සත් ජනපදය පරීක්ෂණයක් පැවැත්වූවා. මේ සමාගම ලෝකයේ රටවල්වලට ඒයාර් බස් ලබාදීමේදී විවිධ කප්පම් ලබාදීම හරහා පෙළඹවීම් කර ඇති බව පරීක්ෂණයකින් ඔප්පු වුණා. එහිදී එවකට එයාර් ලංකා ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට බෲනායිවල පිහිටි සමාගමක් හරහා ඩොලර් මිලියන 2ක් ලබාදී ඇති බව හෙළිවුණා. මේ මුදල ඕස්ටේලියාවේ ගිණුමක් හරහා ලංකාවේ නිමල් පෙරේරාගේ ගිණුමකට පැමිණි බව හෙළිවුණා. මේ විදිහට ලෝකයේ මූල්‍ය අපරාධ පිළිබඳ කරන පරීක්ෂණවලදී ලංකාව පිළිබඳවත් හෙළිදරව් වෙනවා. පැනමා පත්‍රිකාවලින් පවා මේ ගැන වාර්තා වුණා. එක්සත් ජනපදයේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත මහින්ද රාජපක්ෂ මහත්මයා ඉලක්ක කරගෙන ඩොලර් මිලියන 7කට ආසන්න මුදලක් චීන සමාගමක් විසින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට ලබාදුන් බව හෙළිකර තිබෙනවා. මේ පුවත්පතට විරුද්ධව නඩු දාන බව මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා. නමුත් නඩු දැම්මේ නැහැ. මේක දූෂිත රාජ්‍යයක් නොවෙයිද? මේ අපේ රටේ ජනතාවගේ ක්ෂාරය සූරාගත් චෞර වළල්ලක්. දේශප්‍රේමී සළුපිළිපොරවාගෙන සිටින මේ රාජපක්ෂ චෞර වළල්ල මුහුදු මංකොල්ලකරුවන් පිරිසක් නැවක් අත්පත් කරගෙන සිටිනවා වගේ අපේ රට අත්පත් කරගෙන සිටිනවා. අපි කියන දේ අහන්න සූදානම් නැති කවුරුන් හෝ ඉන්නවා නම් ජාත්‍යන්තර වශයෙන් හෙළිදරව් වන මේ තොරතුරු ගැනවත් අවධානය යොමු කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *