ලංකාවෙන් ඉන්දියාවට පොරොන්දුවක්

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු ක්‍රියාවකට ශ්‍රී ලංකාව යොදාගැනීමට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා හමුවේ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ දෙදෙනා අතර අද කොළඹදී පැවති හමුවේදීය.

එමෙන්ම ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳ පවතින තත්ත්වය දෙරටටම සුබදායී ලෙස නිරාකරණය කිරීමේ වගකීම විෂයභාර අමාත්‍යවරයාට පවරා ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

දෙපාර්ශ්වය එළඹෙන එකඟතා පිළිබඳ දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බවත් ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණි.

13 වන සංශෝධනයේ දුර්වලතා සේම ශක්තීන් හඳුනාගෙන ක්‍රියාත්මක වීමේ කඩිනම් අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

රටින් බැහැරව ගිය දෙමළ ජනතාවට නැවත පැමිණීමට හැකි පසුබිම සැකසීම තම අපේක්ෂාව බවත්, ඒ සඳහා රජයේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට තමා දෙමළ ඩයස්පෝරාවට විවෘතව ආරාධනා කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

දෙරටේ භූගෝලීය පිහිටීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති හෙයින් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු ක්‍රියාවකට ශ්‍රී ලංකාව යොදා ගැනීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා එහිදී  අවධාරණය කළ බව සඳහන් විය.

චීනය සමඟ ඇති සබඳතාව ඉතා මැනවින් පැහැදිලි කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස ද ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා වෙත කියා සිටියේය.

දෙරට අතර විදුලිබල හුවමාරුව කෙරෙහිද එහිදී අවධානය යොමුවී ඇති බව එහිදී හෙළිවිය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට ආරාධනා කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී විදේශ ලේකම්වරයාට දන්වා සිටියේය.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *