හිටපු අගවිනිසුරුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලැබ සිටින හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට ලබන 7 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යොමුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

සරත් එන්. සිල්වා මහතා විසින් 2018 දෙසැම්බර් 3 වන දා මරදානේ පැවති රැළියකදී අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ඉදිරිපත්වූ පෙත්සමකට අදාළවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය හේවාවඩුගේ සිරිල්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන යන පිරිස විසින් මෙම නඩුව පවරනු ලැබ තිබෙනවා.

විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරේ රාජා යන විනිසුරු මඩුල්ල හමුවේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර සරත් එන්. සිල්වා මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

සරත් එන් ද සිල්වා මහතාට නොතීසි ලැබී නොමැති අතර ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේ මාධ්‍ය මගින් දැනගත් කරුණු අනුව බවයි මෙහිදී අධිකරණයට දැනුම්දී ඇත්තේ.
ඒ අනුව ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් මෙසේ නොතීසි නිකුත් කරනු ලැබුවා.