පළාත් සභාමැතිවරණ කල්යාම හා ඉදිරි මැතිවරණ පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක  මහතා පල කරන අදහස් එකතුවක් මෙසේ ඔබ වෙත ඉදිරිපත් කෙරෙයි.

පළාත් සභා කල්යාම එක්ක ජනතාවගේ ඡන්ද අයිතිය නැතිවෙන බවට චෝදනා එල්ල වෙනවා?

ඒක ඇත්ත. අපි යහපාලනය ගේනකොට මේ රටේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියලා කිව්වා. මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු ගැන අපේ ලොකු විවේචනයක් තිබුණා. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන සියලුම පක්ෂ කතා කළා. පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයට තියන්න යම් කාලයක් ගියා. ප්‍රා

දේශීය සභා මැතිවරණය ඉවරවෙනකොට පළාත් සභා ආවා. ඒ වෙනකොට ආසන ක්‍රමය ගැන 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවෙත් ජනතාව අතරත් කතාබහ‍වෙමින් තිබුණා. එළහරකයි මීහරකයි වගේ මැතිවරණ ක්‍රම දෙකක් රටට හොඳ නැති නිසා පළාත් සභා ඡන්දය අලුත් ක්‍රමයට තියන්න සාකච්ඡා පටන් ගත්තා. ඒ නිසා යම්කිසි කාලයක් ගතවුණා. ඒත් දැන් මිනිස්සු පළාත් සභා ඡන්දය ඉල්ලනවා. මැතිවරණ ක්‍රමය වෙනස්විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. පළාත් සභා නිල කාලය අහෝසිවීම නිසා රට නිලධාරින් පාලනය කරන තත්ත්වයට පත්වෙලා. ඒක නරක තත්ත්වයක්.

පළාත් සභා මැතිවරණය කඩිනමින් තියන්න දින 51 ආණ්ඩු කාලෙ කෙටුම්පතක් සැකසූ බව කියනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

පරණ ක්‍රමයට හෝ ඡන්දෙ තියමු කියන යෝජනාව ආවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ යෝජනාවට එකඟද?

අපි අවුරුදු 3 ½ ක් කිව්වෙ ඒක නෙවෙයි. ඒ කියපු කතාව දින 51 දී වෙනස් කරන්න මට බැහැ. ඡන්දෙ කල්යාම නිසා කුමන ක්‍රමයට හෝ ඡන්දෙ තියමු කියන ස්ථාවරයට පක්ෂය ආවා. අලුත් ක්‍රමේට ඡන්දෙ තියන වැඩේ හරියට සිද්ධවෙන්නෙ නැත්නම් අපිට සිද්ධවෙනවා තීන්දුවක් ගන්න. හැමදාම පළාත් සභා ඡන්දය කල්දාන්න බැහැ.

ඡන්ද කඩින්කඩ තැබීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක්. මේ නිසා එකවර ඡන්ද පැවැත්විය යුතුයි කියන මතයේ යහපාලන ආණ්ඩුව හිටියා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

නිල කාලය අවසන් නැති පළාත් සභා තුනක් විසුරුවන්න පුළුවන්. එකම දිනක මැතිවරණ තියන්න නම් නීති වෙනස් වෙන්න ඕන. ජනාධිපතිට, මහඇමැතිට ඕන දිනවලට පළාත් සභා විසුරුවන්න බලය දුන්නොත් ලංකාවෙ පළාත් සභා ඡන්දෙ එකවර තියන්න පුළුවන් වෙන්නෙ මුල්ම අවස්ථාවෙ විතරයි

පළාත් සභා මැතිවරණය පළමුව පැවැත්වුවොත් පොදුජන පෙරමුණ හැටියට ඉදිරිපත් වෙන බව මහින්ද රාජපක්ෂ මහතා කියනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් හැටියට ඡන්දෙ ඉල්ලනවා. රටත්, අපිත්, ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයත්, පොහොට්ටු පාක්ෂිකයත්, අපි ඇති කරගත්ත එකඟතාව දැක්කෙ අපි දෙගොල්ල එකතු වුණා කියලයි. ඒ හින්ද මේ රටේ මහා ලොකු වෙනසකුත් කළා. තනතුරුත් බෙදා ගත්තා. එහෙම කරලත් වෙනස්වීම පොහොට්ටු පක්ෂයෙ වැඩක්. ඇති කරගත් එකඟතාව අනුව පොහොට්ටු පක්ෂය තවදුරටත් අපේ සන්ධානය තුළ ඉන්නව කියන විශ්වාසය මට තියෙනවා. වෙනස්වීම ඒ අය‍ෙග කැමැත්ත.

පොදුජන පෙරමුණ තනිව පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළා. එවැනි පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙක් වන මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජනාධිපති අපේක්ෂක කරන්න යෝජනා කිරීම ප්‍රායෝගිකද?

ඇයි නැත්තෙ? කවුද ඒ අයගෙන් ඉල්ලන අපේක්ෂකයා?

පොදුජන පෙරමුණ වෙනුවෙන් නම් කීපයක්ම යෝජනා වෙනවා?

ඒ කියවෙන අයට ඡන්දෙ ඉල්ලන්න බැහැනෙ. ඡන්දෙ ඉල්ලන්න සුදුස්සො වෙන්න ඕන. ජනාධිපති මැතිවරණයට ඡන්දෙ ඉල්ලන්න ව්‍යවස්ථාවට අනුව මූලික සුදුසුකම් තියෙනවා?

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අ‍ෙප්ක්ෂක කියන අය, එහෙම කරන්නෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තයව නැති කරන්න බව එස්. බී. දිසානායක මහතා කියනවා?

ඒ, එස්. බී. දිසානායක මහත්තයගෙ මතය. එතුමා මොන කණ්ඩායම නියෝජනය කරනවද කියල මම දන්නෙ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ කණ්ඩායම හිතන්න ඕන අපේ පක්ෂය ඉදිරියට ගේන විදියක්. අපියි පොහොට්ටුවයි එකතු වුණේ එකඟතා මත. ඊළඟ මැතිවරණය අපි එකට ඉල්ලනව කියන එක ඒ කොන්දේසිවල නැද්ද? එකට ඉල්ලනවා නම් ජනාධිපති අපේක්ෂකය කොයි පැත්තෙන්ද එන්නෙ. අපි එකට‍ නෙවෙයිද පළාත් සභා ඡන්දෙ ඉල්ලන්නෙ? එස්. බී. දිසානායක මහත්තය කියන විදියට අපි කිසිම එකඟතාවකට ඇවිත් නැද්ද? එහෙනම් අපි ඒක ජනතාවට කියන්න ඕන. ඊළඟ ජනාධිපති අපේක්ෂකය කවුද කියලා එකඟ වෙච්ච එක රටට කියන්න බැරි ඇයි?

මේ එකතුවීම තුළ ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගෙ පාර්ශ්වයට අසාධාරණකම් ඇතිවෙන්න පුළුවන් බව මහින්ද සමරසිංහ මහතා කියනවාද?

පාඩුවක් තියනවා. මහින්ද රාජපක්ෂ මහත්තය අගමැති වෙච්ච ගමන් අපේ ගොඩක් අය ගිහින් මැති ඇමැතිකම් ගත්තත් මම ගත්තෙ නැහැ. එකඟතාව මොකක්ද කියල දන්නෙ නැතුව එකපාරම අගමැති කෙනෙක් දිවුරුම්දීල ඊට පහුවදා අපට ඇමැතිකම් ගන්න කිව්වම ඒව ගන්න අපි දේශපාලන රූකඩ නෙවෙයි. මෛත්‍රීපාල මහත්තයව පරද්දන්න මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක වැඩකරල, මෛත්‍රීපාල මහත්තය දින්නට පස්සෙ අපේ සභාපති කියල එතුමත් එක්ක එකතුවෙච්ච කෙනෙකුත් නෙවෙයි මම. මෛත්‍රීපාල මහත්තයව දිනවන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො එකතු කරපු කෙනෙක් මම. අපේ සංවිධායකයො මෛත්‍රීපාල මහත්තයව දාලා යනකොට සංවිධායකයො හදල දුන්නෙ මම. මේ අවුරුදු 3 ½ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ හිටපු කණ්ඩායම පොහොට්ටුවට යනකොට අලුත් කණ්ඩායමක් පක්ෂෙට එකතු කරල ඒකට නායකත්වය දුන්නා. මට ඕන ඕන තීන්දු ගන්න බැහැ. දින 51 ආණ්ඩුවෙ ඇමැතිකම් නොගෙන ඉන්නකොට මහින්ද මහත්තය බැසිල් මහත්තය පොහොට්ටුවෙ නායකයො මගෙ ගෙදරට ඇවිල්ල සාකච්ඡා කළා. ඒ කතා කළේ අපේ මිනිස්සුන්ට මොකද වෙන්නෙ කියන එක. මම මගෙත් එක්ක හිටපු මිනිස්සු ආරක්ෂා කරනවා.

ඉදිරි මැතිවරණවලදී පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බව පළාත් පාලන සංසදයෙ සභාපති උදේනි අතුකෝරල මහත්තය බැසිල් රාජපක්ෂ මහත්තය හමුවේ කියා තිබෙනවා?

කිසිම හේතුවක් නිසාවත් පොහොට්ටුව ලකුණෙන් අපි තරග වදින්නෙ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමට කියමින් වෙනම කණ්ඩායමක් පෙනී ඉන්නවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

මෛත්‍රීපාල මහත්තයත් එක්ක 2014 අපි එළියට එනකොට, සැබෑ ශ්‍රී ලංකාකාරයන්ට ගැහුව. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයක් බිහිවුණා. මෛත්‍රීපාල මහත්තයව රැක්ක කණ්ඩායමට අදත් අසාධාරණයක් වන බව පේනකොට ආයෙත් එහෙම සංවිධාන බිහිවෙනවා. එහෙම නොවුණොත් ඒක විහිළුවක්. මෛත්‍රීපාල මහත්තයත් එක්ක හිටපු නිසා වෙච්ච වෙනස්කම් දන්නෙ ඒ මිනිස්සු. පොහොට්ටුවෙන්, ආසනය තුළ වෙච්ච වෙනස්කම් ගැන ඒ අය කතාකරනකොට කවුරුවත් කුපිතවෙන්න ඕන නැහැ. පක්ෂය කඩන්නවත්, විනාශ කරන්නවත් ඒ අය කතා කරන්නෙ නැහැ. ඒ අයගෙ හඬට ඇහුම්කන් නොදීම නිසා ඔවුන් එළියට ඇවිත් කතා කරනවා.

 

 

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :