13 වන සංශෝධනයෙන් ලබාදී ඇති බලයට එහා යන බලය බෙදීමක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් සිදු නොවන බව නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද අදහස් දක්වමින්.

රටේ කෘෂිකාර්මික දියුණුව වෙනුවෙන් මේ ආණ්ඩුව කිසිවක් කළේ නැහැ කියන චෝදනාව ගැන ඔබ මොකද කියන්නෙ?

මේ ආණ්ඩුව යටතෙ කෘෂිකර්මාන්තයට ඇමතිවරු කීපදෙනෙක්ම පත්වුණා. ඒ අය වැඩ කළා. කෘෂි අස්වැන්නෙ මිල උච්චාවචනයන්වලදි ඒවට මැදිහත්වුණා. පොහොර සහනාධාරය විධිමත් කළා. වැව් අමුණු ප්‍රතිසංස්කරණය සාර්ථකව කළා. මහවැලි ව්‍යාපාරයෙන් පස්සෙ විශාලතම ජලාශය හැදුවා. රසායනික පොහොරවලින් තොර කෘෂිකර්මාන්තයක් ඇතිකරන්න ගත්තු උත්සාහය නැවතුණා. එවැනි දෙයක් කඩිමුඩියෙ කරන්න බැහැ. විකල්ප ‍පොහොර මොනවත් අපිට නැහැ. එවැනි අවස්ථාවක රසායනික පොහොර නතර කරන්න බැහැ. නමුත් රසායනික පොහොර භාවිතයෙන් අපි ඈත්වෙන්න ඕන.

සේනා දළඹු වසංගතය මෙච්චර දුරට පැතිරෙන්න හේතුවෙච්ච කාරනා මොනවාද?

මේ දළඹු වසංගතය ඉන්දියාවෙ ආන්ද්‍රා ප්‍රදේශයෙත්, බංගලාදේශයෙත් තිබුණා. මේ වගේ කෘමි හානි කෘෂි වගාවන්ට එනවා. ඒව පාලනය කිරීමත් කරනවා. මීට පෙරත් කීඩෑ උවදුරු, පිටිමකුණු වසංගත තිබුණා. ඒවා දැන් යම් දුරකට පාලනය වෙලා.

දළඹු උවදුර වසංගත තත්ත්වයට එන්න ඉස්සර පාලනය කරන්න මේ ආණ්ඩුවට වැඩ පිළිවෙළක් තිබුණෙ නැහැ කියලයි කියන්නෙ?

මේ උවදුර රටට එන්නෙ රටේ දේශපාලන කුමන්ත්‍රණය තිබුණු කාලෙ. ඒ වෙනකොට හැමෝගෙම අවධානය තිබුණෙ ඒ කුමන්ත්‍රණය ගැන. අපේ ආණ්ඩුවෙ කෘෂිකර්ම ඇමති හිටියෙ මහින්ද අමරවීර මහත්තය. ආණ්ඩුව හිටපුගමන් උදුරගත්තා. එතැන ඉඳන් තමයි මේ උවදුර ව්‍යාප්ත වුණේ. ඊනියා ආණ්ඩුවෙ ඊනියා කෘෂිකර්ම ඇමතිටත් මේ උවදුර පෙනිල නැහැ. දැන් අතීතයට දොස්කියල වැඩක් නැහැ. කෘෂි විශේෂඥයන්ගෙ සහාය ඇතිව මේ තත්ත්වය පාලනය කරන්න අලුත් කෘෂිකර්ම ඇමතිතුමා වැඩ පිළිවෙළක් හදලයි තියෙන්නෙ. පී. හැරිසන් ඇමතිතුමා කෘෂිකර්මයට දක්ෂයි.

ගොවීන්ගෙ අස්වැන්න විකුණගන්න විධිමත් වැඩපිළිවෙළක් කිසිම ආණ්ඩුවකින් හැදුවෙ නැහැ කියලත් චෝදනා එල්ලවෙනවා.

ඇඹිලිපිටියට ගිහින් බලන්න. මිල අඩුකාලෙට සහල් ගබඩාකරන්න විශාල ගබඩාවක් හැදුව. මුදල් අමාත්‍යංශය විශාල මුදලක් ඒකට ආයෝජනය කළා. මිල වැඩිකාලෙට වෙළෙඳ‍ පොළට සහල් නිකුත් කරන්න දැන් ගොවියට පුළුවන්. මේ වගේ ගබඩා තවත් පළාත්වල හැදෙනවා. වීවලට විතරක් නෙවෙයි වෙනත් ධාන්‍යවලටත් ඒ පහසුකම තියෙනවා. මේ ආණ්ඩුව තමයි ගොවියට සහන ‍දුන්නෙ.

අලුත් ව්‍යවස්ථාවක් හදන බවට 2015 ජනවාරි මාසෙ මේ ආණ්ඩුව ජනතාවට පොරොන්දුවක් දුන්නා. තවමත් තියෙන්නෙ යෝජනාවලියක් විතරයි. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ඒක හරි. තවම යෝජනාවලියක් විතරයි තියෙන්නෙ. හැම පක්ෂයකම නියෝජිතයන්ගෙ එකතුවෙන් ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පත්කළා. ඒ කමිටුව යෝජනා එකතු කළා. ඒ යෝජනා පිළිවෙළකට සකස්කළා. ඒ සම්බන්ධව විශේෂඥ කමිටුව වාර්තා, ප්‍රධාන පක්ෂවල වාර්තා සකස් කරල තියෙන්නෙ. දැන් තියෙන්නෙ වාර්තා මිසක් ව්‍යවස්ථාවක් නෙවෙයි. මේ දෙකේ වෙනස හඳුනගන්න ඕන. ව්‍යවස්ථාව කඩිමුඩියෙ ගේන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ සම්බන්ධව පළල් සාකච්ඡා රටේත්, පාර්ලිමේන්තුවේත් ඇතිවෙන්න ඕන. අවාසනාවට රටේ එවැනි සාකච්ඡා ඇතිවුණේ නැහැ. ආපදා ගැන දේශපාලන කුමන්ත්‍රණ ගැන කතා වුණා. ඒ හින්ද ව්‍යවස්ථා වැඩපිළිවෙළ පමාවුණා.

යෝජනාවලියක් විතරනම් තියෙන්නෙ, අලුත් ව්‍යවස්ථාවෙන් රට කැඩෙන බව කියන්නෙ ඇයි?

නැති ව්‍යවස්ථාවක් පෙන්නමින්, බංකොලොත් ‍දේශපාලන බලවේග, රට බෙදනව, ඒකීය බව නැති කරන්නම, බුද්ධාගම නැති කරනව කියල ජාතිවාදය, ආගම්වාදය වපුරනවා. තක්කඩියාගෙ අවසාන නවාතැන දේශප්‍රේමය කියල කියමනක් තියෙනවා. ආණ්ඩු පෙරලන්න ගිහින් හොට බිම ඇනගෙන, කුමන්ත්‍රණ අතේ පත්තුවුණාට පස්සෙ ජනතාවට මුහුණදෙන්න බැරුවයි මේ කට්ටිය ඉන්නෙ. දැන් මේ කට්ටිය රටේ සංහිඳියාව නැතිකරන්නයි හදන්නෙ. සිංහල, දෙමළ, මුස්ලිම් විරසකයක් හදන මේ අය හාමුදුරුවන්ටත් බොරු කියනවා.

ව්‍යවස්ථා යෝජනාවලිය හදද්දි, ආගමික නායකයන් සියලුම දේශපාලන නායකයන් එක තැනකට ගෙනැල්ල තීන්දු තීරණ ගන්න තිබුණා කියලත් කියනවා? ඇයි එහෙම නොකළෙ?

ඒක මහ මෝඩ යෝජනාවක්නෙ. එහෙම ව්‍යවස්ථා හදන්නෙ කොහොමද? මේ රටේ ව්‍යවස්ථා හදන්න පුළුවන් විදියක් තියෙනවා. ඒක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවෙ කමිටු පත්කරල ඒ අනුවයි කටයුතු කරන්න ඕන. ජනතාවගෙ ආගමික නායකයන්ගෙ විද්වතුන්ගෙ අදහස් මේ යෝජනාවලියටත් ගත්තා. පොදුජන පෙරමුණ කියන්නෙ, ව්‍යවස්ථාව හදල ඉවරයි. රට කැඩෙනවා, ඒකීය බව, බුද්ධාගම නැති වෙනවා කියලනෙ. මේව මහ බේගල්. ජනාධිපතිතුමා මරන්න හිටිය බහුතරය ඒ අයට තියෙනවා කියල ආණ්ඩු පෙරළපු කාලෙත් බේගල් තොගයක් කිව්වා.

පොදුජන පෙරමුණ අලුත් ව්‍යවස්ථාවට යෝජනා දුන්නත් ඒ කිසිවක් මේ යෝජනාවලියෙ නැහැ කියලයි කියන්නෙ?

මේ වාර්තාව කියවන්නෙවත් නැතුවයි ඔය චෝදනා කරන්නෙ. දේශපාලන පක්ෂ ඉදිරිපත් කරපු යෝජනා කියන කොටසෙ හැම පක්ෂයක්ම දීපු යෝජනා කිසිම වෙනසක් නොකර තියෙනවා. මේ දීපු යෝජනා කියවන්නවත් වෙලාවක් ගන්නෙ නැතුව කවුරුහරි දීපු බේගලයක් ඒ අය ප්‍රචාරය කරනවා.

මධ්‍යම ආණ්ඩුව අකර්මන්‍ය කරන ආකාරයේ බලය බෙදීමක් මේ යෝජනාවලියෙ ඇතුළත් බවයි ඔවුන් කියන්නෙ?

ඔය අර බේගල්වලම කොටසක්. මූලධර්ම තුනක් පදනම් කරගෙනයි අපේ රටේ කවුරු ව්‍යවස්ථා හැදුවත් ව්‍යවස්ථා හදන්නෙ. මධ්‍යම ආණ්ඩුව ඇතුළත බලහවුල්කාරීත්වය, ප්‍රාදේශීය ස්වයංපාලනය, විශේෂ නියෝජනය. මේ මූලධර්ම තුනට වැඩකළොත් විතරයි සියලු ජනකොටස් සාධාරණව රාජ්‍ය බලයට හවුල්කරගන්න පුළුවන්. මේ එකක්වත් අන්තයට අදින්න හොඳ නැහැ. අපිට ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් අවශ්‍යයි. ඒක දියකරන්න හොඳ නැහැ. පළාත්සභාවලින් ආපු ස්වයංපාලනයෙන් දෙමළ ජනතාවගෙ ප්‍රශ්න විස‍ඳෙන්නෙ නැහැ. දෙමළ ජනයාගෙන් වැඩි පිරිසක් උතුරු, නැ‍ඟෙනහිරින් පිට ඉන්නෙ. ස්වං පාලනය ලංකාවෙ ජාතික ප්‍රශ්නය විසඳන්න හොඳම ක්‍රමය නෙවෙයි. 20 වැනි සියවසේ දේශපාලන සටන්පාඨවලින් 21 වැනි සියවසේ ප්‍රශ්න විසඳන්නයි මේ කට්ටිය හදන්නෙ. ඒ අයගෙ කෑකෝ ගැසීම් විතරයි ඇහෙන්නෙ. එහෙම නැතුව මිනිස්සුන්ගෙ ව්‍යවස්ථා සාක්ෂරතාව දියුණු කරන වැඩපිළිවෙළක් අපිට නැහැ. අපි ව්‍යවස්ථාවක් හදනවානම් හදන්නෙ මහා සම්මුතියකින්.

පළාත් සභාවලට දැනටමත් යම් බලය බෙදීමක් කරලයි තියෙන්නෙ. ඊට එහාගිය බලය බෙදීමක් මේ ව්‍යවස්ථා යෝජනාවලියට ඇතුළත් ද?

13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් දීපු බලය හොඳටම ප්‍රමාණවත්. ඊට එහා බලයක් අවශ්‍ය නැහැ. දීපු බලතලවත් සමහර පළාත් සභා හරියට ක්‍රියාත්මක කරන්නෙ නැහැ.

මේ ව්‍යවස්ථා යෝජනාවලිය ගැන ආණ්ඩුවෙ මතය කෙළින් කියන්නෙ නැත්තෙ ඇයි?

වාර්තාවක් ඉදිරිපත් කරල තියෙනවා. දැන් තීන්දු තීරණ ගැනීමේ බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට ඒක තමයි ආණ්ඩුවෙ මතය. පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂ කණ්ඩායම ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලිය අතට ගන්නෙ නැහැ. ආණ්ඩුවට ඕන විදියට ව්‍යවස්ථා හදන්න අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවෙ අයට දැන් තියෙන්නෙ මිරිස්කුඩු ගහගන්නෙ නැතුව, රණ්ඩුසරුවල් නොවී විවේක බුද්ධියෙන් කටයුතු කරන්න.

එකවෙලාවක ෆෙඩරල් කියනවා. තවත් වෙලාවක ෆෙඩරල් නෙවෙයි කියනවා. මොකක්ද ඇත්ත?

සන්ධීය ආණ්ඩුක්‍රම ගැන ලංකාවෙ විශාල භීතියක් මවල තියෙන්නෙ. අපිට ෆෙඩරල් අවශ්‍ය නැහැ. මේ වචන එක්ක ඔට්ටුවීමක්. ලංකාවෙ කවද හැදුණත් හැදෙන්නෙ ඒකීය ව්‍යවස්ථාවක්. ඒකට හැමෝම කැමතියි. දැන් ‍ෆෙඩරල් ගැන ලෝක තත්ත්වයත් වෙනස්.

බෙදී වෙන්වෙන්න හදන පළාත් සභාවලට මේ ව්‍යවස්ථාවෙන් උඩගෙඩි දීමක් වෙනව කියලත් කියනවා?

එක එක අයගෙ දේශපාලන ස්ථාවරයන් මෙතන තියෙනවා. එහෙම තිබුණ කියල පළාත් වෙන්වෙන්නෙ නැහැ. මේ රටේ බෙදුම්වාදය මිලිටරි හැටියටත්, දේශපාලන වශයෙනුත් පරාජය කළා. මතවාදී වශයෙන් සමහරු ළඟ තියෙනවා. මිනිස්සුන්ගෙ මත මර්දනය කරන්න බැහැ. ආයෙත් බෙදුම්වාදයට මේ රටේ ඉඩක් නැහැ. උතුරෙ නායකයන්ට දැන් තියෙන්නෙ මධ්‍යම ආණ්ඩුවට එකතුවෙලා ඇමතිකම් අරගෙන උතුරේ සංවර්ධනයට හවුල්වීම විතරයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :