රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වුවද රජය එය ඉදිරිපත් කරන ආකාරය වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. මේ ඒ පිළිබදව හා පවත්නා දේශපාලන තත්ත්වය පිළිබද මන්ත්‍රීවරයා පල කළ අදහස්.

දේශීය කෘෂිකර්මාන්තය අද තියෙන තැන ගැන හිටපු කෘෂිකර්ම ඇමැතිවරයෙක් වශයෙන් ඔබ දරන මතය කුමක් ද?

තව ගොඩක් දුරට මේ කෘෂිකර්මාන්තය ගෙනියන්න පුළුවන්. අපේ පැරණි කෘෂිකාර්මික වැඩපිළිවෙළ නොසලකා හැරල තියෙන්නෙ. රසායන ද්‍රව්‍ය කෘත්‍රිම පොහොර නිසා අපේ කෘෂිකර්මාන්තය නොමග ගියා.

අපේ රටේ කෘෂිකර්මය මේ ආකාරයෙන් පසුබාන්න රට පාලනය කළ හැම ආණ්ඩුවක්ම වගකිව යුතුයි කියල මම කිව්වොත්?

ආණ්ඩුවලටම දොස් කියල වැඩක් නැහැ. අපේ රටේ සංස්කෘතිය වෙනස් වුණා. හැම දෙයක්ම ලේසියෙන් කරන්න බලන ජාතියක් බවට පත්වුණා. පොහොර ඕනවෙනකොට රසායනික පොහොර දානවා. ඉක්මණින් ප්‍රතිඵල ලැබෙනවා. කෘෂි රසායන ගහන්නෙත් ඉක්මණින් ප්‍රතිඵල ගන්න. මේවට ආණ්ඩු පළි නැහැ. මිනිස්සු විසින්ම කරගත්තු දේවල්. අද ගොවිතැන්කරන්න මිනිස්සු නැහැ. ඉන්නෙ කීපදෙනයි. මේ පරම්පරාවෙන් පස්සෙ රටේ කෘෂිකර්මාන්තය කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නය තියෙනවා.

රසායනික පොහොරවලින් තොර ගොවිතැනක් හදන්න ගිය යහපාලන ආණ්ඩුව පළාත්පාලන ඡන්දෙදි ප්‍රතික්ෂේප වුණා. පොහොර අර්බුදයන් ඒකට බලපෑවා නේද?

කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඒ ආණ්ඩුව කිසි වැඩක් කළේ නැහැ. එක්සත් ජාතික පක්ෂ වැඩපිළිවෙළයි ජනතාව ප්‍රතික්ෂේප කළේ. ඩී. ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන මහත්වරුන්ගෙ ආණ්ඩුකාලේ කෘෂිකර්මාන්තයට විශාල වැඩකොටසක් කළා. වර්තමාන නායකත්වය එහෙම නැහැ.

ගොවිතැනට එල්ලවී ඇති අලුත්ම අනතුර සේනා දළඹු වසංගතය බවයි කියන්නෙ. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

එවැනි වසංගත තත්ත්ව කෘෂිකර්මාන්තයෙදි ඇති වෙන්න පුළුවන් භයානකම තත්ත්වය තමයි මේ ගැන රජයේ නොසැලකිල්ල. අම්පාරෙන් සේනා දළඹුවා හඳුනගත්තා. ඒක අම්පාරට විතරක් සීමාකරන්න ඕන ක්‍රියාමාර්ග ආණ්ඩුව ගත්තෙ නැහැ. අනික මේ වසංගතය දවසෙන් දෙකෙන් පැතිරුණ සේනා දළඹුවා ඉන්න බඩඉරිඟු ගස් සත්ව ආහාරවලට හැටන්වලට ගෙනාවා. ඒකෙන් එළවළුවලටත් වසංගතය පැතිරුණා. ඔය කාලසීමාවෙ දේශපාලන අර්බුදය නිසා ආණ්ඩුවට වෙන වැඩ තිබුණා.

අලුත් ව්‍යවස්ථාවට යෝජනාවලියක් ආපුගමන් රට කඩන්න හදනව, බෙදන්න හදනව කියල ඒකාබද්ධ විපක්ෂය රටේ ජනතාව නොමග යවන බවට චෝදනා එල්ලවෙනවා?

අපි එහෙම කතාවක් කිව්වෙ නැහැ. මේ ව්‍යවස්ථා වැඩපිළිවෙළ ජනතාවගෙ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වෙන එකක් ද?

ජනතාවගෙ අදහස් ව්‍යවස්ථාවට ගත්තා?

එහෙම අදහස් අරගෙන රටේ තියෙන ප්‍රශ්නය අඳුරගත්තද? මේක අංගසම්පූර්ණ වැඩපිළිවෙළක් නොවෙයි. බලය බෙදන්න ඕන මට ද? ඒකාබද්ධ විපක්ෂයටද? ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණටද? එක්සත් ජාතික පක්ෂයට ද? බලය බෙදීමද මේකට තියෙන එකම විසඳුම. මේ ව්‍යවස්ථා සංශෝධනය බරපතළ ප්‍රශ්නයක්. 19 වෙනි සංශෝධනය ගෙනාවෙ ඇයි. ඒකෙන් බලය බෙදුවෙ නැත්තෙ ඇයි.

අලුත් ව්‍යවස්ථාවක් රටට ගේනව කියල 2015දී ජනතාවට පොරොන්දුවක් දුන්න?

මෙතන තියෙන්නෙ වෙනත් දේශපාලන වුවමනාවක්. මල්වත්තෙ නායක හාමුදුරුවො කියනව, ආණ්ඩුක්‍රම සංශෝධනයක් අවශ්‍යනම් ආගමික නායකයො, දේශපාලන නායකයො සියල්ල එක තැනකට එකතුකරල එතැනදි සාකච්ඡා කරල විසඳන්න කියල. ආණ්ඩුව ඒකට ඇහුම්කන් දුන්නෙ නැහැ.

නව ව්‍යවස්ථාවට යෝජනා ගේන කමිටුවල ඒකාබද්ධ විපක්ෂයෙ නායකයො හිටිය. පාර්ලිමේන්තුවෙ සියලුම මන්ත්‍රීවරු මේකට කැමැත්ත ප්‍රකාශ කළා ?

අලුත් ව්‍යවස්ථාවක් ගේන එකට, රටේ සංශෝධනයක් කරන එකට, ඒකාබද්ධ විපක්ෂය පක්ෂයි.

ඔබතුමන්ල විරුද්ධ මොනවට ද?

අපි 19 වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දෙ දුන්නනෙ. ඊට පස්සෙ 20 වැනි සංශෝධනය ගේනව කිව්ව. අපි ආණ්ඩුව විශ්වාස කළා. රටට හොඳ දේවල්වලට අපි විරුද්ධයි කියන්නෙ බොරු.

එහෙමනම් ෆෙඩරල් බිල්ලෙක් මවාපාමින් ජනතාව නොමග යවන්නෙ ඇයි?

නෑ… නෑ… අපි එහෙම කියන්නෙ නැහැ. එක තැනකදි කියනව මේක ‍ෆෙඩරල් කියල තව තැනකදි කියනව ‍ෆෙඩරල් නෙවෙයි කියල. ආණ්ඩුවට ස්ථාවර මූලධර්ම ටිකක් නැහැ.

තවම තියෙන්නෙ යෝජනාවලියක් විතරයි?

යෝජනාවලිය ගෙනල්ල ව්‍යවස්ථාවත් ගේන්න. තවම ව්‍යවස්ථාව ගෙනාවෙ නැහැ කියලනෙ කියන්නෙ.

ව්‍යවස්ථාව ගේන්න ඉස්සෙල්ලම ඒකාබද්ධ විපක්ෂය වැරදි මත සමාජගත කරනව නේද?

මේක ව්‍යවස්ථාව නෙමෙයි නම් හරි එක හදන්න. ඔරුමිත්ත නාඩුද මොකක්ද කියන්නෙ. මෙතනනෙ මේ ගැටලුව ආවෙ. ජනතාවට නොදන්වා වෙනස්කම් කරන්න බැහැ. මේ රටේ ආගමික නායකයන්ට නොදන්වා බරපතළ වෙනස්කමක් කරන්න හොඳ නැහැ. ජේ. ආර්. ජයවර්ධන මහත්තයත් මේ ව්‍යවස්ථාව ගේනකොට ආගමික නායකයන් දැනුවත් කළා. බුද්ධාගම ආරක්ෂා කළ යුතුයි කියල මේ ව්‍යවස්ථාවෙ තියෙනවා. ඒකෙන් වෙච්ච හානිය මොකක්ද?

ඒකීය රටක්, බුදුදහමට නිසි තැන දෙනවට කැමති බව සුමන්තිරන් මන්ත්‍රීවරයත් කියනවා. ඇයි අවිශ්වාසය?

දැනට තියෙන කොන්දේසිය ඒ ආකාරයෙන්ම තියෙන්න අරින්න?

ඒ කොන්දේසි වෙනස් නොවෙන බවයි කියන්නෙ?

හරි ව්‍යවස්ථාව ගේන්නෙ නැතිව අලිය අතගාපු අන්ධයො වගේනෙ කතාකරන්නෙ. දැන් කියනව ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ නිසා කරන්න බැහැ කියල. ඒක අමූලික බොරුවක්.

මේ ව්‍යවස්ථාව හරහා රට කඩන්න හදනව කියල ඒකාබද්ධය චෝදනා කරන්නෙ ඇයි?

අපි එහෙම කියල නැහැ. වෙන්වීම සඳහා යම් යම් කොටස් මුලපුරන්න පුළුවන් කියල කිව්වා. 13 වෙනි සංශෝධනය වෙලාවෙත් ඔය කතාව කිව්වා. ඒ වෙලාවෙ 147 දෙනෙක් මැරුණා. 13ට මමත් විරුද්ධ වුණා.

ඒකෙන් රට කැඩුනෙ නැහැනෙ? අදත් පළාත් 9කින් රට පාලනය වෙනව නේද?

13 වෙනි සංශෝධනය යටතෙ පළාත් මහ ඇමැති කෙනෙක් හැටියට මම අවුරුදු 7ක් වැඩ කළා. ඒකෙන් රට බෙදීමක් වුණේ නැහැ. පළාත් සභාව සංවර්ධනයට වුවමනා බලතල අදත් මහ ඇමැතිට තියෙනවා. ඇති තරමට බලය බෙදල තියෙන්නෙ. මේ පළාත් සභාවලට මුදල් ලැබෙන ක්‍රමයෙ වෙනසක් අවශ්‍යයි. මුදල් පරිපාලනය විධිමත්ව විමධ්‍යගත වෙලා නැහැ. ඉඩම් බලතල දැනටමත් තියෙනවා. පළාත් සභා ඒ බලතල පාවිච්චි කරන්නෙ නැහැ. පළාත්සභා තමන්ගෙ ප්‍රඥප්තිය හදාගන්න අවශ්‍යයි. ඒකට අවශ්‍ය නීති ප්‍රතිපාදනත් තියෙනවා. පොලිස් බලතල ඉල්ලන්නෙ දේශපාලකයන්ට. කසිප්පුකාරයෙක් ඇල්ලුවම, වැරදිකාරයෙක් ඇල්ලුවම බේරගන්න තමයි ඒ බලතල ඉල්ලන්නෙ. එතකොටනෙ දේශපාලකය වීරයෙක් වෙන්නෙ. මට නම් ඔය බලතල හරි කරදරයක්. මිනීමරල, දේශපාලන බලයෙන් නීතිය නවාගත්තු තැන් තියෙනවා.

රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන තැන ඔබ ඉන්නවා?

ඔව්. අපි අලුත් ව්‍යවස්ථාවකට එකඟයි. මේ ගේන ක්‍රමය තමයි වැරදි.

මේ ව්‍යවස්ථා කෙටුම්පත හදද්දි ඔබේ පාර්ශවය සමඟ සාකච්ඡා කරල නැද්ද?

සාකච්ඡා කළා. අපි අදහස් දුන්නා ඒ අදහස් මේ ව්‍යවස්ථා යෝජනාවලියෙ නැහැ. අපි ලිඛිතව දුන්නා. ඒක තමයි මේ අවුල. ඒ අය හංගගෙන හිටිය ව්‍යවස්ථාවක් මේ හරහා එළියට දැම්මා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :