ජිනීවා චෝදනාවලට ප්‍රති යෝජනා නොදෙන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනපතිගෙන් ඉල්ලයි

Sri Lanka

46 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී එල්ලවී ඇති චෝදනාවලට අදාළව ප්‍රති යෝජනාවක් කිරීමෙන් වැළකී ,ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම මගින් ඊට ප්‍රතිචාර දක්වන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
මේ ඊට අදාළව එම සංවිධානය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියයි.

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ 2021/01/12 දින දරණ වාර්තාව මගින් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට රජය විසින් ප්‍රතිචාර දැක්වීම පිළිබද

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් 46 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට අදාළව ඉදිරිපත්කොට ඇති වාර්තාව පිළිබඳව ජනවාරි 27 දින ශ්‍රී ලංකාවේ රජය විසින් පිළිතුරු බැඳීමට නියමිත විය. මේ වන විට ජනමාධ්‍ය මගින් වාර්තා වන තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ රජය ඊට එරෙහිව දැඩි ප්‍රතිචාර දක්වා ඇත. එම ප්‍රතිචාර කුමක්දැයි මේ වන විට නිශ්චිතව එළිදරව් වී නොමැති වුවත් එසේ ප්‍රතිචාර දක්වනු කරනු ලබන්නේ වාර්තාවේ අඩංගු කරුණු වලට සාපේක්ෂව යැයි අපි කල්පනා කරමු. කෙසේවෙතත් 2015 දී ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ යුද අපරාධ චෝදනා එල්ල කෙරුණු මහකොමසාරිස් වාර්තාව ශ්‍රී ලංකාවේ රජය විසින් ස්තුති පූර්වකව පිළිගත් තත්ත්වයක් යටතේ මෙවර ඉදිරිපත් කෙරෙන වාර්තාවේ අඩංගු චෝදනා ප්‍රතික්ෂේප කිරීම යනු ඉතා වැදගත් ප්‍රතිපත්තියකි.

එම වාර්තාව මගින් මෙවර පැවැත්වෙන 46 සැසියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල පියවර ගත යුතු බව ඉතා පැහැදිලිව නිර්දේශ කොට ඇත. එම නිර්දේශ අතර පිළිගත හැකි ආකාරයට චෝදනාවට ලක්වන ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය භාවිතා කළ යුතු බවට සහ ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමට මෙන්ම ජාත්‍යන්තර ගමන් තහනමක් පැනවීය යුතු බවට ද නිර්දේශ කොට ඇත. ඊට අමතරව චූදිත නිලධාරින්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ නඩු පැවරිය යුතු බවට මෙන්ම ඒ සඳහා චෝදනා ගොනු කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු බවට ද යෝජනා කොට ඇත.
මෙම තත්තත්වය ඉතා බරපතළ තත්ත්වයක් බවට විවාදයක් නැත. ඒ අනුව එම වාර්තාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම මගින් පමණක් ප්‍රශ්නයට මුහුණ දීමට නොහැකි බව ඉතා පැහැදිලිය. දැනට ප්‍රකාශයට පත් වී ඇති ආකාරයට ශ්‍රී ලංකාවට අදාළව බි්‍රතාන්‍ය රජයේ නායකත්වය යටතේ පිහිටුවා ඇති රටවල් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක්

ඉදිරිපත් කෙරෙන අතර 2015 දී මෙන් ඊට සමඅනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකාවට බල කෙරෙනු ඇත. මේ වන විට වර්තමාන රජය පසුගිය රජය විසින් 2015 දී සමඅනුග්‍රහය දැක්වූ 30/1 යෝජනාවෙන් ඉවත්වී ඇති තත්ත්වයක් යටතේ එම යෝජනාවේ අඩංගු වූ මේ වන විට ශ්‍රී ලංකාවේ රජය විසින් ක්‍රියාත්මක කිරීමට අසමත් වූ යෝජනා නැවත වටයකින් නව යෝජනාවට ඇතුළත් වන බවට සහ එහිදී සුවිශේෂී නව උපාය මාර්ගික ප්‍රවේශයක් අනුගමනය කෙරෙන බවට අපටනම් කිසිදු සැකයක් නැත.

මේ වන විට ශ්‍රී ලංකාව 30/1 යෝජනාවෙන් ඉවත් වී ඇති තත්ත්වයක් යටතේ ඒකපාර්ශවීය සම්බාධක තර්ජන පනවමින් එම යෝජනාව තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා බලකිරීම වෙනුවට නව යෝජනාවක් ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාවට හතුරු පාර්ශව වලට වාසිදායක බවටද සැකයක් නැත. අපගේ දේශපාලන විග්‍රහයට අනුව පැනනැගිය හැකි තත්ත්වයන් ඇත්තේ තුනක් පමණි.

1. බි්‍රතාන්‍ය විසින් ඉදිරිදිරිපත් කරන යෝජනාව ශ්‍රී ලංකා රජය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම සහ ඒ අනුව එම යෝජනාව බි්‍රතානය විසින් ඒකපාර්ශ්වීයව ක්‍රියාත්මක කිරීම.

2. බි්‍රතාන්‍ය විසින් ඉදිරිපත් කරන යෝජනාවට සංශෝධන සහිතව හෝ රහිතව සමඅනුග්‍රහය දැක්වීම.

3ග ශ්‍රී ලංකාවට එරෙහිව වෙනත් රටවල් විසින් ඉදිරිපත් කරන යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කිරීම.

අප සංවිධානයේ කියවීම අනුව ශ්‍රී ලංකාවට සතුරු පාර්ශව වල උපායමාර්ගය විය හැක්කේ ශ්‍රී ලංකාවේ රජය මගින් ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කිරීම සහ ඒ මගින් යම් කොන්දේසි ඉටු කිරීමට එකඟ කරවා ගැනීමය. එනම් මානව හිමිකම් තොණ්ඩුව ශ්‍රී ලංකාව විසින් සියතින් ගෙලට දමා ගැනීමේ තත්ත්වයක් නිර්මාණය කිරීමය. එවිට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2 (7) වගන්තිය මඟින් රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට එරෙහිව පනවා ඇති බාධකය ඉවත් වේ. එනම් ප්‍රතියෝජනාවක් මගින් ඇතිකරගන්නා එකඟතාව ජාත්‍යන්තර ගිවිසුමක් ලෙස සැලකෙන බැවින් ඊට අනුව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට නීත්‍යානුකූලව අවස්ථාව ලැබේ.

එම ප්‍රතියෝජනාව මගින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් පිහිටුවීමේ මූලික යෝජනාව මඟ හැර යා හැකි වුවත් ඊට හිලව්වට ඊට වඩා බරපතළ යෝජනාවන්ට එකඟ වීමට සිදුවනු ඇත. කාම්බෝජයට එරෙහිව පිහිට වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් තිදෙනෙකුට දඬුවම් කිරීම සඳහා වසර 14ක් ගතවීය. ඒ නිසා එම උපාංගය දඬුවම් කිරීමේ උපාංගයකට වඩා බිය වැද්දීමේ උපාංගයක් ලෙස භාවිතා වන බවට කිසිදු සැකයක් නැත. ඒ අනුව ඊට හිලව්වට අතුරුදහන්වූවන්ගේ කාර්යාලය කාර්යක්ෂම කිරීම සහ බොහෝ විට එම කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර අධීක්ෂණයකට පාර කපා ගැනීමට මෙන්ම සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසංධාන කොමිසමක් මගින් සෘජු ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කපා

ගැනීමට ශ්‍රී ලංකාවට සතුරු බලවේගවලට අවස්ථාව ලැබේ. අතුරුදහන්වූවන්ගේ කාර්යාලය මගින් තෝරා ගත් ආරක්ෂක හමුදා නිලධාරීන් පිරිසකට විශ්වාසනීය ලෙස චෝදනා පත්‍ර ගොනු කිරීමට ඒ මගින් ඔවුන් ජාත්‍යන්තර අධිකරණය බලයට ගොදුරු කිරීමට අවස්ථාවක් ලැබේ.

ඒ නිසා කිසිසේත්ම යෝජනාවකට සමඅනුග්‍රහය දැක්වීම හෝ ඊට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාව විසින් ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කිරීම මගින් ද අප බරපතළ උගුලකට හසු වන බවට අපට නම් සැකයක් නැත. එම තත්ත්වය මග හැර යාම සඳහා ඇත්තේ එක ම විසඳුමක් යැයි අපි කල්පනා කරමු. ඒ එදා 2015දී සහ මෙදා 2021 දී අප රටට එරෙහිව එල්ල වූ සියලු යුද අපරාධ චෝදනාවලට පිළිතුරු බැදීීම සඳහා අවස්ථාව ඉල්ලා සිටීමය. එනම් අප රටේ ආරක්ෂක හමුදාවලට අහිමිකළ මූලික අයිතිවාසිකමක් වන ස්වභාවික යුක්තිය හෙවත් චෝදනාවලට පිළිතුරු බැදීමේ අයිතිය ඉල්ලා සිටීමය. ඒ ආකාරයට සියළු චෝදනාවලට එරෙහිව නීතිමය සහ කරුණුමය සාක්ෂි ඉදිරිපත් කිරීම මගින් පිළිතුරු බැඳීමේ හැකියාව අප සතුව ඇත.

මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මැක්ස්වෙල් පරණගම කොමිසමේ දෙවැනි බලාධිකාරිය ට අනුව පත් කරන ලද විදේශීය යුද අපරාධ විශේෂඥයින් 05 දෙනෙකු විසින් ලබා දුන් වාර්තා 06ක් මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ සිදු නොකළ බවට ප්‍රබල කරුණුමය සහ නීතිමය සාක්ෂි ඉදිරිපත් කොට ඇත. ඊට අමතරව ජාතික සංවිධාන එකමුතුව එනම් අප සංවිධානය සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් අනුග්‍රහය දක්වා සකස් කරන ලද විස්තීරණ විත්තිවාචිකයක් මගින් එම නීතිමය සහ කරුණුමය සාක්ෂි තවදුරටත් තහවුරු කොට ඇත. එම වාර්තාව මේ වන විට සිවිල් සංවිධාන වාර්තාවක් ලෙස මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කොට ඇති අතර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සභාගත කොට ඇත. එම විත්තිවාචිකය මගින් ඉතා විශිෂ්ට ලෙස යුද අපරාධ චෝදනා වලට පිළිතුරු බඳින බව ශ්‍රී ලංකාවේ හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා සහ බි්‍රතාන්‍යයේ රජකීය නීතිඥ ජෙප්රි නයිස් මහතා විසින් සහතික කොට ඇති අතර ඉන් පසුව ඉදිරිපත් වූ බි්‍රතාන්‍යයේ නේස්බ් සාමිවරයාගේ වාර්තා මගින් එය තවදුරටත් තහවුරු වී ඇත.

එම නිසා අප ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් සහ ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කිරීම මගින් සියතින් තොන්ඩුව ගෙලට දමා ගැනීමේ වරද සිදු නොකර ඒ වෙනුවට ලෝකයේ පිළිගත් මූලධර්මයන්ට අනුව ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම මඟින් චෝදනා වලට පිළිතුරු බැඳීම් හරහා යෝජනා හෝ ප්‍රතියෝජනා මර උගුලෙන් ගැලවෙන ලෙසය.
මේ වගට

ආචාර්ය ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *