මරණ දඩුවම දෙන දිනය තීරණය කර අවසන් / ජනපති

ජීවිත අවධානම ද නොතකමින් තමා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන අතට ගත්තේ මතු පරපුර වෙනුවෙන් යහපත් දේශයක් ගොඩනැඟීමට බවත් කුමන අභියෝග මධ්‍යයේ වුව ද එම සටන සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අතිඋතුම් මැල්කම් කාදිනන් රංජිත් හිමිපාණන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ සර්ව ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් අද (31) පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහන අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි තම සටන දියත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමයේ සිටම බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එම සටන ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමට හැකි වූ බවයි කියා සිටියේ.

රට වෙනුවෙන් වූ එම වැඩපිළිවෙළ සමග අද සමස්ත පොදු ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන් අත්වැල් බැඳගෙන අවසන් බව සඳහන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා මතින් නිදහස් රටක් වෙනුවෙන් වූ සංකල්පය යථාර්ථයක් වන දිනය වැඩි ඈතක නොවන බව ද කියා සිටියා.

නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට එරෙහි සියලු නීති රීති මේ වන විට ශක්තිමත් කර තිබෙන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීම පිළිබඳ දින වකවානු ද මේ වන විට තමා තීරණය කර අවසන් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.