දුර්ලභ ශාක සහිත වතුරාන වගුරු වනය විනාශයේ අබියස

Sri Lanka

ශ්‍රී ලංකාවේ ඇති වතුරාන වර්ගයේ එකම වනාන්තරය වන්නේත් හොරවැල් සහ සුවඳ යන ශාක විශේෂ ලෝකයෙන්ම හමුවන එකම ස්ථානය වන්නේත් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වලව්වේවත්ත වතුරාන වගුරු වනාන්තරයයි. වර්තමානය වන විට ස්වභාව රක්‍ෂිත කලාපයක් බවට රජය මගින් ප්‍රකාශයට පත් කර ඇතත් රජයේ අවධානය අඩුවීමෙන් වතුරාන වනය විනාශ වීමේ තර්ජන රැසකට මුහුණපා තිබෙන බව පරිසරවේදීහු පවසති.

මුළු ලෝකයේම උද්භිද විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට යොමුවී ඇති මෙම වතුරාන වගුරු වනාන්තරය ශ්‍රී ලංකාවේ සියලු වගුරු වනාන්තරවලට වඩා අතිශය පාරිසරික වටිනාකමකින් යුක්තය. කළුගඟේ ශාඛාවක් සහ කුඩා ගඟේ අතු ගංගාවක් වන බටපොත ඇළේ වම් ඉවුරට මායිම්ව පිහිටි මෙම ස්වභාවික වගුරු බිම ඇළ ඔස්සේ ගලා එන ජලයෙන් වසරකට 10-12 වරක් ගංවතුරට ගොදුරුවන අතර වතුරට ඔරොත්තු දෙන ශාක සම්පත් බහුලව දක්නට ඇත. මෙම වනාන්තරය තුළ ඇති මුළු ශාක විශේෂ ගණන 48ක්

වන අතර ආවේණික ශාක 22ක් ද ඉතා දුර්ලභ ශාක විශේෂ 3ක් මෙන්ම අන්තරායට ලක්වී ඇති ශාක විශේෂ 9ක් ද මේ අතර වේ. හොරවැල සහ සුවඳ යන ශාක විශේෂ 2ත් ඉතා දුර්ලභ තර්ජනයට ලක්වූ කළුමැදිරිය විශේෂයත් ලේන්තැරි, කටුමොද, වෙනිවැල්ල වෙසක් මල් වැනි ඉතා දුර්ලභ ශාක විශේෂත් මෙහි දක්නට ලැබේ.

එසේම ආවේණික මත්ස්‍ය විශේෂ 09 ක් සහිතව මත්ස්‍ය විශේෂ 29ක් ද ආවේණික විශේෂ 04ක් සහිතව උරග විශේෂ 06ක් ද ක්‍ෂිරපායි විශේෂ 09ක් කුරුලු විශේෂ 57ක් ද මෙම වනාන්තරයේ වෙසෙන බව පරිසරවේදීහු පවසති.

වලව්වත්ත වතු සමාගමට අයත්ව තිබූ මෙම වන පියස දේශීය උරුම ගවේෂණ පදනම ඇතුළු සිවිල් සංවිධානවල සහ පරිසරවේදීන්ගේ බලවත් ඉල්ලීම මත 2009.04.24 දින නිකුත් කරන ලද 1598/21 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් හෙක්ටයාර් 6.20ක භුමිය එවකට පරිසර අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් වලව්වේවත්ත ’වතුරාන පාරිසරික ආරක්‍ෂක ප්‍රදේශය’ වශයෙන් නම් කර තිබේ. ඒ අනුව මෙම ආරක්‍ෂිත ප්‍රදේශය තුළ බලතල ක්‍රියාත්මක කිරීම හෝ යම් කර්තව්‍යයන් ඉටුකිරීම මධ්‍යම පරිසර අධිකාරිය හැර වෙනත් කිසිදු තැනැත්තෙකු විසින් නොකළ යුතු බවට දන්වා ඇත.නමුත් මේවන විට වතුරාන වගුරු වනාන්තරය සුරැකීම වෙනුවෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ගල්කැටිය පදිංචි පී.එල් කරුණාරත්න,

ආණ්ඩුවට පවර ගත්තාට පස්සෙ කළේ කම්බි කණු ටිකක් හිටවලා බෝඩ් ලෑල්ලක් ගහපු එක විතරයි. ඒකත් දැන් ගැලවිලා බිම. බලධාරීන් නම් කවුරුවත් හොයලා බලන්න එන්නෙ නැහැ. වත්තෙන් බලාගන්න හරියක් තමයි. කණුවලට කම්බි ටිකක් ගහලා ගේට්ටුවක් දාලා මුරකාරයෙක් දෙන්නෙක් දානවා නම් කැලේට වෙන හානි අඩුවෙනවා. අපි කියන්නෙ මේ ලෝක උරුමය මතු පරම්පරාවට ආරක්‍ෂා කරලා දෙන්න කියලයි.

මෙම වනාන්තරය ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් කලක පටන් හඬ නගන පරිසරවේදී චිරාත් භාරත

වතුරාන වගුරු වනාන්තරයේ අගය දැනෙන්නේ අදට වඩා හෙටටයි. මෙම ජෛව විවිධත්ව උරුමය ආරක්‍ෂා කර ගැනීම සඳහා රජය මීට වඩා මැදිහත්වීමක් කරන්න ඕනෙ කියලයි පරිසරවේදීන්ගේ මතය. අවට ගම්වැසියන් සහ වතු සමාගම තමයි වනය ආරක්‍ෂා කරගෙන ඉන්නෙ.

වලව්වත්ත වතු අධිකාරී චාමර මුණසිංහ,

මෙම රක්‍ෂිතය ආරක්‍ෂා කරගෙන යන්නේ වලව්වත්ත වතු සමාගමෙන්. ඒ සඳහා සමාගමේ කළමනාකාරීත්වය සුවිශේෂී අවධානය යොමුකරලා තිබෙනවා. පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුන් සහ නැරඹීමට පැමිණෙන අයට මගපෙන්වීම සහ අනෙකුත් පහසුකම් සැපයීමට වතු සමාගමේ සේවකයන් තමයි අපි යොදවලා තියෙන්නෙ. වතු සමාගමෙන් ආරක්‍ෂා කරන නිසා තමයි තවමත් වතුරාන ආරක්‍ෂා වෙලා තියෙන්නේ.

නමුත් අපටත් සීමාවන් තිබෙනවා. එනිසා අපි රජයෙන් ඉල්ලනවා වලව්වත්ත වතුරාන වගුරු වනය ආරක්‍ෂා කර දෙන්න මීට වඩා අවධානයක් යොමු කරන්න කියලා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය නිමල් ගුණතිලක,

වතුරාන වගුරු වනය අපේ නිවසට ආසන්නයේ තිබුණ නිසා පුංචි කාලයේ සිට ගහකොළ ගැන ඉගෙන ගැනීමට මට පුංචි සරසවියක් බවට පත්වුණා. මම පේරාදෙණිය සරසවියට ගියාට පසුව මහාචාර්ය ඒ.ජේ. කොස්ටර්මාන්ගේ යෝජනාවකට අනුව නැවතත් වලව්වත්තට ඇවිත් ලෝකෙන්ම වඳවෙලා ගියාසේ සැලකුණු හොරවල ශාකය 1979 දී නැවත සොයා ගත්තා.

මෙම වනාන්තරය නිසා ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් උද්භිද විද්‍යාඥයන්ගේ සහ පරිසරවේදින්ගේ අවධානය දිනාගත් සුවිශේෂී භුමි කලාපයක් බවට පත්ව තිබෙනවා. – •ඉන්දික සංජීව විතාන – හොරණ


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *