මම අහිංසකයි / හමුදාපතිට බලපෑම් කළේ නෑ / බදුයුදීන් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු අත්අඩංගුවට ගත් පුද්ගලයින් නිදහස් කරන ලෙසට තමන් ආරක්ෂක අංශවලට බලපෑම් සිදුනොකළ බව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දැක්වූ අදහස් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් සිදුකරමින්.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් තමන් අවස්ථා දෙකකදී යුද හමුදාපතිවරයා ඇමතීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර ඔහු කියා සිටියේ අත්අඩංගුවට ගත් අයෙකු සම්බන්ධයෙන් ඔහුගේ දෙමව්පියන් සිදුකළ ඉල්ලීමකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවේ පසුවන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් විමසා සිටි බවයි.

තමන් යුද හමුදාපතිවරයාගෙන් කිසිවෙකුත් නිදහස් කිරීම සඳහා ඉල්ලීමක් නොකළ බව ද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

එසේම කටුවාපිටියේ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ අවසන් කටයුතු සිදුකළ දිනයේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ආරක්ෂාව සම්බන්ධයෙන් කළ ඉල්ලීමකට අනුව තවත් අවස්ථාවක යුද හමුදාපතිවරයා ඇමතූ බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී හමුදාපතිවරයා අවධාරණය කළේ අවස්ථා 3කදී අදාළ අමාත්‍යවරයා තමන්ට ඇමතු අතර ඔහු දෙහිවල ප්‍රදේ්ශයේදී අත්අඩංගුවට ගත් අයකු පිළිබද විමසා සිටි බවයි.
එම සැකකරු වෙනුවෙන් කළ ඉල්ලීම වසර එකහමාරකින් යළි සිදුකරන ලෙස තමා දැන්වූ බවද හමුදාපතිවරයා කියා සිටියා.