වැලිකඩ ඝාතන නඩුවට නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

වැලිකඩ බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී අවස්ථාවේ රැඳවියන් සහ සිරකරුවන් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ නඩුව විශේෂ ත්‍රිපුද්ගල අධිකරණයකදී විභාගයට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිඛෙනවා.
2012 වසරේදී මෙම ඝාතන කිරීම ඇතුළු අධිචෝදනා 33 ක් යටතේ විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙහිදී නඩු පැවරීමට නියමිතයි.
පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, වැලිකඩ බන්ධනාගාර හිටපු කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා හා වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශයට අනියුක්තව සේවය කළ ඉමදුවගේ ඉන්දික සම්පත් යන අය එම විත්තිකරුවන් ඊට ඇතුලත්.
නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාට පෙන්වාදී ඇත්තේ, විත්තිකරුවන්ට එල්ල කිරීමට අපේක්ෂා කරන අධිචෝදනා ජුරි සභාවක් නොමැතිව විශේෂ මහාධිකරණ විනිශ්චයකාරවරුන් 03 දෙනෙකුගෙන් සමන්විත විශේෂ අධිකරණයක් හමුවේදී විභාගයට ගත යුතු බවයි.
සිද්ධියට අදාළ 03 වැනි විත්තිකරු වන ඉමදුවගේ ඉන්දික සම්පත් නැමැත්තා පොලීසිය මග හැර සිටින අයෙකු වන බව ද නීතිපතිවරයා අගවිනිසුරුවරයාට දැනුම්දී තිඛෙනවා.
මේ අතර නීතිපතිවරයා විසින් මහාධිකරණ ලේඛකාධිකරිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ ,විත්තිකරුවන් තිදෙනාට එරෙහිව පවරන නඩුව විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පැවැත්විය යුතු වැරදි බවට මහාධිකරණයේ ප්‍රදර්ශනය කරන ලෙසයි.