නැගෙනහිර ජැටිය නොදුන්නාට ජපානයත් කණගාටුවෙන් – “ද හින්දු” කියයි

Sri Lanka

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් 2019 එකඟතාවය කඩ කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය සම්බන්ධයෙන් ජපානය ද කනස්සල්ල පළ කර ඇතැයි ද හින්දු පුවත්පත පවසනවා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මෙරට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය පිළිබද සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මුණගැසී සාකච්ජා පැවැත්වූ බව ද මෙම වාර්තාවේ සදහන්.
දකුණු ආසියානු කලාපය තුළ ඉන්දු ජපාන සහයෝගීතාව පෙන්වීම සඳහා නැගෙනහිර පර්යන්තය අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කළ බවත් නමුත් මෙහි වැඩි ප්‍රමුඛතාවක් දී ඇත්තේ චීන යටිතල පහසුකම්වලට පමණක් බවත් ද හින්දු වාර්තාව පවසනවා.
මේ සම්බන්ධයෙන් ජපාන රජය විස්තරාත්මකව සලකා බලන බවයි නවදිල්ලි නුවර ජපාන තානාපති කාර්යාලයේ නිලධාරියෙකු හින්දු පුවත්පතට පවසා ඇත්තේ.
2019 එකඟතාවය කඩ කරමින්නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන සහ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබාගැනීමට ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය ගත් ඒකපාර්ශවීය කැබිනට් තීරණය ඉතා කනගාටුදායක බවද එම නිලධාරියා පවසා තිබෙනවා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හරහා සිදුකරන මෙහෙයුම්වලින් සියයට හැත්තෑවකටම ඉන්දියාව සම්බන්ධ බව ද මෙම වාර්තාවේ දැක්වෙනවා.
ජපානය ශ්‍රී ලංකාවට ලබා දී ඇති දායකත්වය ද සුළු පටු නොවන අතර ජපානය ණය වශයෙන් ශ්‍රී ලංකාවට යෙන් ට්‍රිලියන 1.1ක් ලබා දී තිබෙන අතරම මේ දක්වා කාලයේදී ශ්‍රී ලංකාවට ආධාර, ප්‍රදාන සහ තාක්ෂණික ආධාර වශයෙන් යෙන් බිලියන 300කට ආසන්න මුදලක් ලබා දී තිබෙනවා.
එවැනි තත්ත්වයක් තුළ ජපානය, ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය අපේක්ෂා නොකළ බව ද ජපාන ආරංචි මාර්ග උපුටා දක්වමින්ද හින්දු පුවත්පත වාර්තා කළා.
නැගෙනහිර පර්යන්තයට අනෙක් පස තිබෙන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේන්ර් ටර්මිනල්) ක්‍රියාත්මක වන්නේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර ඇති හවුල් ව්‍යාපාරයක් ලෙසයි.
ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාවට සහ ජපානයට ද ඒ අයුරින් සලකනු ඇතැයි අපේක්ෂා කළ බව ද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ද හින්දු පුවත්පත වාර්තා කළා.
කොළඹ වරායේ බටහිර පර්යන්තය වසර 35ක ගිවිසුමකට ඉන්දියාවට සහ ජපානයට දීමට තීරණය කර ඇතත් සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා කර නැති බවත් බටහිර පර්යන්තයට අදාළව කිසිදු යටිතල පහසුකම් විවෘත කර නොමැති බැවින් එය නැගෙනහිර පර්යන්තය මෙන්ම උපායමාර්ගිකව වැදගත් නොවන බවත් මෙම වාර්තාවේ සදහන්.
ශ්‍රී ලංකාව 2018 වසරේ දී ඉන්දියාවට බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කළ බවත් ඉන්දියාව අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් ද අයිලන්ඩ් පුවත්පතට ලිපියක් ලියමින් ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබුණා. – ද හින්දු


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *