එස් 14 දුම්රිය ලංකාවට – උඩරට ධාවනයට ළඟදීම

චීනයෙන් ආනයනය කළ අති නවීන එස් – 14 බලවේග කට්ටල දුම්රිය කොළඹ වරායෙන් ගොඩබා තිඛෙනවා. උඩරට මාර්ගයේ ධාවනයට විශේෂයෙන්ම සැකසූ මෙම බලවේග දුම්රිය කට්ටලයක වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 10. 3ක්.එවැනි බලවේග කට්ටල නවයක් ලංකාවට ගෙන ඒමට නියමිතව තිඛෙනවා.

අති නවීන එස් – 14 බලවේග කට්ටලයක එංජින් දෙකක් ඇති අතර වායුසමනය කළ මැදිරි දෙකකින්ද දෙවැනි පංතියේ මැදිරි දෙකකින්ද තුන්වැනි පංතියේ මැදිරි තුනකින්ද එය සමන්විතයි. භෝජන මැදිරියක්ද ඒ අතරට ඇතුලත්. ඉදිරි දින කිහිපයේදී මෙම බලවේග කට්ටලය පරීක්ෂණ ධාවනයට යොමු කිරීමෙන් පසුව උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට යොදවන බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන් කළා.

උඩරට දුම්රිය මාර්ගයේ දිගු මැදිරි සහිත දුම්රිය හෝ බලවේග කට්ටල ධාවනය කිරීම පහසු නොවන්නේ එම මාර්ගය බෑවුම් සහිත සහ වංගු සහිත වීම නිසයි.මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමේදී දුම්රිය හිඟයකට දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ පා සිටින අතර ඊට පිළියමක් වශයෙන් එම මාර්ගයේ ධාවන කළ හැකි බලවේග කට්ටල නවයක් චීනයෙන් ආනයනය කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබුණා. අද මෙරටට ගොඩබෑවේ එයින් එක් කට්ටලයක් වන අතර. ඉතිරි අට ඉදිරි දින කිහිපයේදී ලංකාවට රැගෙන ඒමට නියමිතයි.එම බලවේග කට්ටල අතර වායු සමනය කළ මැදිරි හතරකින් යුක්ත බලවේග කට්ටල තුනක්ද වනවා. එම බලවේග කට්ටල යොදා ගනිමින් නගරාන්තර දුම්රිය සේවාවක් ආරම්භක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

train

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න