ගෝඨාභයගේ ආණ්ඩුව මූල්‍ය අර්බුධය වසන් කළා / රනිල් – CNN

මෙරට මූල්‍ය අර්බුදය පිළිබඳ පසුගිය රජය කරුණු වසන් කරමින් සිටි බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

CNN මාධ්‍ය ආයතනය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මේ බව  ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව බංකොලොත් වන බවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු බවට වන සත්‍ය ගෝඨාභය රාජපක්ෂ ගේ රජය ජනතාවට ප්‍රකාශ නොකළ බව රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

රට ගොඩනැගීම සඳහා දීර්ඝ කාලයක් අවශ්‍ය නොවන බව ද ලබන වසර අවසන් වනවිට ස්ථාවරවීමට ද නිසැකවම 2024 වන විට වර්ධනය වීමට පටන් ගන්නා ක්‍රියාකාරී ආර්ථිකයක් ඇති කර ගැනීමට ද ක්‍රියාකළ යුතු බව ඔහු සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනට සහ සිංගප්පූරුවට ගිය පසු තමන් සමග කතා කළ බව ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ ඔහු දැනට සිටින්නේ කුමන රටකදැයි නොදන්නා බව ප්‍රකාශ කර තිබේ.

තම නිවස ගිනිගැනීම සම්බන්ධයෙන් ද අදහස් පළකළ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, නිවස ගිනි ගැනීමෙන් සියවස් ගණනක් පැරණි පොත් ඇතුළු පොත් 4,000කට වැඩි සංඛ්‍යාවක් සහ වසර 125ක් පමණ පැරණි පියානෝවක් ද විනාශ වූ බවය.

කෙසේවුවත් තමාට සිදුවූ දෙය තවත් අයෙකුට සිදුවීමට ඉඩ නොතබන බව ද රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබේ.

විරෝධතා හමුවේ වුවද පොලීසිය සහ හමුදාවට ආයුධ භාවිත නොකිරීමට උපරිමයෙන් ක්‍රියාකළ යුතු බව දැනුම් දී ඇති බව රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර මාධ්‍යයක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *