නවසීලන්තය පරදා ලංකාව අංක 1 වෙයි

ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලි ලකුණු සටහනේ ලකුණු 60 ලබාගනිමින් ප්‍රථම ස්ථානයට පත්වීමට ශ‍්‍රී ලංකා පිල අද සමත්වුණා.
ඒ නවසීළන්තය සමග ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගනිමින්.

අද දිනට තරගය ආරම්භ කරන විට ලකුණු 268ක ඉලක්කය හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 133ක් රැස් කර ගෙන සිටියා.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න පලමු කඩුල්ලට ලකුණු 161ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැගූ අතර එය මෙරට ටෙස්ට් තරගයක අවසන් ඉනිමේදී ශ‍්‍රී ලංකා පිලේ හොදම ආරම්භක කඩුල්ලේ සබදතාවයයි.

1992 වසරෙන් පසුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරග වලදී පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ ඉහලම ලකුණු සබඳතාවයද එයයි.

අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ට පිටියේ සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් අජාස් පටෙල් ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 10කට දවාගත්තා.

නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් දිමුත් කරුණාරත්න අද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වන ශතකය වාර්තා කිරීමට සමත් වු අතර දිමුත් කරුණාරත්න නවසීලන්තයට එරෙහිව වාර්තා කළ දෙවන ටෙස්ට් ශතකය මෙයයි.

එමෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දිමුත් කරුණාරත්න වාර්තා කළ 3 වන ටෙස්ට් ශතකය ලෙස ද මෙය සටහන් වුණා.

දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස දැවී යද්දී ලකුණු 122ක් රැස් කර ගෙන සිටියා.