• Sun. Nov 27th, 2022

පිටුවහල් කෙරෙන රාජ්‍ය නායකයින්ට ඉන්පසු සිදුවන්නේ කුමක් ද? – BBC

ByLankaAnews

Jul 28, 2022

ශ්‍රී ලංකාවට දැන් නව ජනාධිපතිවරයෙකු සිටියි. නමුත් අවසාන ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂට කුමක් සිදුවේ ද?

ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වන දා සිය මව්රටින් පළාගොස් මාලදිවයිනට ගොඩබට අතර, පසුව ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව ගියේ ය. ඔහු සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ එහිදී ය.

එහෙත් ඔහු දිගටම එහි රැඳී සිටිනු ඇත්ද යන්න පැහැදිලි නැත. සිංගප්පූරු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන ආකාරයට ඔහු එහි ගොස් ඇත්තේ කෙටිකාලීන “පුද්ගලික සංචාරයක්” සඳහා වන අතර, ශ්‍රී ලංකා කැබිනට් ප්‍රකාශකයෙකු පවසා සිටියේ ඔහු නැවත දිවයින බලා පැමිණෙනු ඇති බවකි.

එහෙත් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අයිතිවාසිකම් පිළිබඳ කණ්ඩායමක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනුකර ඇත. ඔහු මීළඟට සෞදි අරාබිය හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත හැරෙනු ඇතැ යි මින් පෙර පළවූ වාර්තා යෝජනා කළේ ය.

නෙරපා හරින ලද නායකයින් විදෙස් රටවල නැවත පදිංචිවීම බොහෝ වරක් සිදුව ඇති යමකි. එක්සත් ජනපදයේ නෝර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලයයේ දේශපාලන විද්‍යා මහාචාර්යවරුන් වන ඒබල් එස්ක්‍රිබා-ෆෝල්ක් සහ ඩැනියෙල් කර්ච්මරික් පවසන පරිදි 1946 – 2012 දක්වා කාලය තුළ රාජ්‍ය නායකයින් 180කට වැඩි දෙනෙකුට පිටුවහල්වීමට සිදුව ඇත.

පිටුවහල් කිරීමට බලකෙරුණු ජාතික නායකයින්ගේ දිගු ලැයිස්තුවට ගෝඨාභය රාජපක්ෂ එක්වුවහොත්, ඔහුට- සහ ශ්‍රී ලංකාවට – අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?

මේ ගැන සොයා බැලීම සඳහා අපි ඉතිහාසගත උදාහරණ කිහිපයක් සළකා බලමු.

දලයි ලාමා (1959 වසරේ සිට මේ දක්වා පිටුවහලේ පසුවෙයි)

මතභේදාත්මක චරිතයක් තමා වෙත පිළිගන්නා රටකට භූදේශපාලනික ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවිය හැකි ය.

Image of Dalai Lama over a treated flag of Free Tibet

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

1959 දී, චීනය විසින් ටිබෙට් කැරැල්ල ප්‍රචණ්ඩ අයුරින් මර්දනයවීමෙන් පසු, දලයි ලාමාට සරණාගතභාවය ලබාදීමට ඉන්දියාව ගත් තීරණය ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රාජ්‍යයන් ද්විත්වය අතර කල්පවත්නා ගැටුම් ඇතිකිරීමේ මූලාශ්‍රයයක් නිර්මාණය කළේ ය.

එවක ඉන්දියාවේ අගමැති වූ ජවහර්ලාල් නේරු, ඔහුගේ චීන සහචර චෞ එන්ලායි බෞද්ධ නායකයාට රට තුළට ඇතුළුවීමට ඉඩ නොදෙන්නැ යි කළ අනතුරු ඇඟවීම නොසලකා හැරියේ ය.

“ඇත්ත වශයෙන්ම, චීන රජය තුළ ඉන්දියානු රජය කෙරෙහි ඇති අවිශ්වාසයේ මුල තමයි දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ ගෞරවනීය ආගන්තුකයෙකු වෙලා ඉන්න මෘදු කතාබහක් ඇති මේ භික්ෂුව,” ඉන්දීය දේශපාලන විද්‍යාඥ මාධව් නලපත් පවසයි.

“ඔහුගේ චීන සගයාගේ ඉල්ලීම නොසලකා හැරීමට නේරු ගත් තීරණය ඉතා බාරදූර වුණා. ඔහු දලයි ලාමා පිළිගැනීමට ගත් ඒ තීරණය නිසා ඉන්දියාව සහ චීනය අතර අදටත් නොනැසී පවතින විරසකයක් ඇතිවුණා.”

අයතොල්ලා කොමේනි (1964 – 1979) සහ ඉරානයේ ෂා රජු (1979 – 1980)

එක් නායකයෙකු පිටුවහලට යන විට, තවෙකෙකු පිටුවහලෙන් මිදී පැමිණිය හැකි ය.

Image of Ayatollah Khomeini over a treated flag of Islamic Republic of Iran

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

රුහොල්ලා කොමේනි ඉරානයේ ප්‍රමුඛ ආගමික විද්වතෙකි. ඔහු බටහිර-ගැති ෂා මොහොමඩ් රෙසා පහ්ලවිගේ පාලනයට විරුද්ධ වූ අතර, පසුව ඔහු ප්‍රතිස්ථාපනය කළේ ය. එම ක්‍රියාවලියේ දී වර්තමාන ඉස්ලාමීය ජනරජය නිර්මාණය වුණි.

සිය රටේ අනන්‍යතාව සහ දිශානතිය හා බැඳි මෙම අරගලය හේතුවෙන් මිනිසුන් දෙදෙනාටම පිටුවහලට යෑමට සිදුවිය. ආරක්ෂිත රාජ්‍යයක් සොයාගැනීමේ දී ෂා මුහුණපෑ දුෂ්කරතාවන්, පිටවීමේ උපායමාර්ගයක් සලකා බලමින් සිටින අනෙකුත් නායකයින්ට අනතුරු ඇඟවීමක් විය යුතු ය.

1964 දී, සිය විරුද්ධත්වය එළිපිට ප්‍රකාශ කිරීම නිසා පිටුවහල් කරන ලද කොමේනි, තුර්කිය, ඉරාකය සහ පසුව ප්‍රංශය වෙත ගොස් ෂා බලයෙන් පහකරන ලෙස සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය.

නමුත් ෂාගේ ජනප්‍රියත්වය වඩවඩාත් පහත වැටුණි – රටපුරා කැරලි, වැඩවර්ජන සහ පෙළපාලි ඇතිවිය – 1979 ජනවාරි මාසයේ දී ඔහුගේ රජය බිඳවැටුණු අතර ඔහු සිය පවුල ද සමඟ පිටුවහලට පළාගියේ ය.

Image of Shah of Iran over a treated flag of former flag of Iran

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

1979 පෙබරවාරි 1 වැනිදා කොමේනි ජයග්‍රාහී ලෙස ඉරානයට පැමිණියේ ය. ගුවන් යානය වෙඩිතබා බිමහෙළනු ඇතැ යි තමන් බියපත්ව සිටිබව ඔහු සමඟ ගුවන් යානයේ පැමිණි BBCයේ ජෝන් සිම්ප්සන් ඇතුළු මාධ්‍යවේදීහු පැවසූහ.

එහිදී ජාතික ජනමත විචාරණයක් පවත්වනු ලැබූ අතර, ඉන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ කොමේනි ඉරානයේ දේශපාලන හා ආගමික නායකයා ලෙස ජීවිතාන්තය දක්වා පත්කරනු ලැබිණ.

ෂා සහ ඔහුගේ බිරිඳ ෆාරා අධිරාජිනිය මුලින්ම පියාසර කළේ ඊජිප්තුවේ අස්වාන් වෙත ය. නිල වාර්තා මඟින් පැවසුනේ ෂා “නිවාඩුවක්” සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටත්ව ගියබව යි.

අනතුරුව ඔහු මොරොක්කෝව, බහමාස්, මෙක්සිකෝව, එක්සත් ජනපදය සහ පැනමාව යන රටවල කෙටි කාලපරිච්ඡේදයන් ගතකළ අතර, 1980 ජූලි 27 වන දා පිළිකාවකින් මියයන විට ඊජිප්තුවේ කයිරෝවේ නැවතී සිටියේ ය.

නෙරපාහරින ලද රජු වෛද්‍ය ප්‍රතිකාර සඳහා එක්සත් ජනපදයට පැමිණ සිටීම යන හේතුව නිසාවෙන් ඉරානයේ මුස්ලිම් ශිෂ්‍ය සංගමයේ කණ්ඩායමක් ටෙහෙරානයේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යයාලයට කඩාවැදී ප්‍රාණ ඇපකරු අර්බුදයක් ඇතිකළ අතර, එහි ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් දින 400කට වැඩි කලක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබාගනු ලැබුණි.

කොමේනි 1989 ජුනි 4 වන දා සිය මරණය සිදුවනතුරුම උත්තරීතර නායකයා ලෙස ඉරානය පාලනය කළේ ය.

ඉඩි අමීන් දාදා (1979 – 1993)

ක්‍රෑර ඒකාධිපතීන්ට පවා ඇතැම්විට සරණක් සොයාගැනුමට පුළුවන.

Image of Idi Amin over a treated flag of Uganda

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඉඩි අමීන්, 1971 දී උගන්ඩාවේ බලය අල්ලාගත් හමුදා නායකයෙකි. ඔහු දශකයේ ඉතිරි කාලය මුළුල්ලේම සමූලඝාතනයන් සහ සියලුම ආසියාතික ජනතාව නෙරපා හැරීමෙන් සංලක්ෂිත කුරිරු ආඥාදායකත්වයකට රට යටත්කළේ ය.

එසේවුව ද, 1979 දී ටැන්සානියානු හමුදා සහ උගන්ඩාව විසින් නෙරපාහරින ලද ඔහු පිටුවහල් කෙරුණු විට ඔහුට පවා ගැලවීමේ මාර්ගයක් සොයාගැනීමට හැකිවිය.

“ඒකාධිපතියන් තමා හා ගැඹුරු ඓතිහාසික, දේශපාලනික, හමුදාමය හෝ ආර්ථික සබඳතා ඇති රටවලට පළායාමට වැඩි ඉඩක් තිබෙනවා,” මහාචාර්ය එස්ක්‍රිබා-ෆෝල්ක් පැහැදිලි කරයි.

එනිසා, බලයේ සිටි කාලය තුළ උගන්ඩා ජාතිකයන් 400 000ක් පමණ මරාදැමීමට ඉඩි අමීන් වගකිව යුතුයැ යි චෝදනා තිබියදීත්, සෞදි අරාබිය සිය සහෘද මුස්ලිම් නායකයාට රැකවරණය ලබාදීමට ඉදිරිපත් විය.

හිටපු අප්‍රිකානු නායකයා 2003 දී මියයන තුරුම මෙම අරාබි රටෙහි දී සුඛෝපභෝගී දිවියක් ගතකළේ ය.

‘බේබි ඩොක්’ ඩුවැලියේ (1986 – 2011)

විදේශයන්හි දී සියල්ල සාර්ථක නොවීමට හැකි ය.

Image of Jean-Claude Duvalier over a treated flag of Haiti

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

භයංකර අන්දමේ අපකීර්තියක් ඇති විදේශීය නායකයෙකුට සත්කාර කරන එකම රට සෞදි අරාබිය පමණක් නොවේ.

හිටපු යටත්විජිත බලවතුන් තම පෙර යටත්විජිත කෙරෙහි බලපෑම පවත්වා ගැනීමට හෝ ඒවායේ අස්ථාවරත්වය වැළැක්වීමට තැත්කරන බැවින්, විවිධ යුරෝපීය නගරයන් නෙරපාහරින ලද රාජ්‍ය නායකයින් සඳහා ගමනාන්ත බවට පත්ව ඇත.

එයට එක් උදාහරණයක් වන්නේ “බේබි ඩොක්” ලෙස ප්‍රසිද්ධ හිටපු හයිටි ජනපති ෂොන්-ක්ලෝඩ් ඩුවැලියේ ය.

1957 සිට හයිටි රාජ්‍යය පාලනය කළ ඔහුගේ පියා වන ෆ්‍රොන්සුවා හෝ “පාපා ඩොක්” වෙතින් ජීවිතාන්තය දක්වා ජනාධිපති පදවිය ඔහුට උරුමවන විට ඔහුගේ වයස යාන්තම් අවුරුදු 19කි.

ඔහුගේ පියා මෙන්ම ඔහු ද රට පාලනය සඳහා ‘ටොන්ටන්ස් මැකූට්’ නමින් හැඳින්වෙන කුරිරු මිලීෂියාව වෙත විශ්වාසය තැබූ අතර, ඩුවැලියේවරුන්ගේ පාලන සමයේ දී ටොන්ටන්ස් (හෝ ආරක්ෂක හමුදාවන්) ඝාතනය කළ හයිටි ජාතිකයන් සංඛ්‍යාව 20 000ත් 30 000ත් අතර වන්නේයැ යි ගණන් බලා ඇත.

1986 දී මහජන නැගිසිටීමක් හරහා බලයෙන් පහකිරීමෙන් පසු ඔහු වසර 25ක් පිටුවහලේ ගතකළේ ය. මින් මුල් කාලය දකුණුදිග ප්‍රංශයේ දී ගතවිය.

නමුත් ඔහු ස්විස් බැංකු ගිණුම්වල තැන්පත්කර තිබූ ඩොලර් මිලියන 6ක පමණ මුදලක් පරිහරණය කිරීමේ ඉඩකඩ 1986 දී අවුරන ලද අතර, ඔහු සතු ඉතිරි ධනයෙන් වැඩි කොටසක් ද 1993 දී සිදුවූ අප්‍රසන්න දික්කසාදයකින් පසු ඔහුට අහිමිවිය.

පිටුවහලේ අවසන් වසරවල දී සිය අනුගාමිකයන්ගේ මූල්‍යාධාර මත යැපුණු ඩුවැලියේ පැරිසියේ පිහිටි කුඩා මහල් නිවෙසක ජීවත්විය.

2011 දී ඔහු නැවත හයිටියට පැමිණි අතර, සිය පාලන සමය තුළ දී මුදල් වංචාකිරීම සහ අවභාවිතාකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණ ද (ඩුවැලියේ සහ ඔහුගේ පියා බලයේ සිටි සමය තුළ ඩොලර් මිලියන 300ක් පමණ මුදලක් සොරකම්කර ඇතැ යි චෝදනා එල්ලවිය), හිටපු ජනපතිවරයාට එරට පෝට්-ඕ-ප්‍රින්ස් අගනගරයට ආසන්න ප්‍රදේශයක විසීමට අවසර ලැබුණි. ඔහු 2014 දී හෘදයාබාධයකින් මියයන තුරුම කැමති පරිදි අගනගරයේ නිදහසේ සැරිසරමින් වාසය කළේ ය.

බෙනාසීර් භූතෝ (1984 – 1986, 1999- 2007), නවාස් ෂරීෆ් (1999 – 2007)

පළායන නායකයින් සඳහා පිටුවහල යනු එක් තැනක නවතින ගමනක්ම නොවේ.

Image of Benazir Bhutto over a treated flag of Pakistan

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඇතැම් රටවල දේශපාලන වාතාවරණය, වෙනත් රටවලට සාපේක්ෂව නායකයින් බොහෝදෙනෙකුට පිටුවහල්වීමට හේතුවිය හැකි ය. පාකිස්ථානය එවන් රටවලට එක් උදාහරණයකි.

බෙනාසීර් භූතෝගේ දේශපාලන ගමන රෝලර්කෝස්ටරයක ගමනකට සමානවූවකි. ඇයට දෙවරක් පිටුවහල්වීමට බලකෙරුණු නමුත්, ඒ දෙවතාවෙන් පසුවම (පළමුවර එක්සත් රාජධානියේ සහ දෙවැනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ) නැවත පකිස්ථානයට පැමිණි ඇය රටේ අගමැතිනියබවට පත්වූවා ය. මුස්ලිම් බහුතරයක් සිටින රටකට නායකත්වය දුන් පළමු කාන්තාව වන ඇය 1988 සිට 1990 දක්වාත්, 1993 සිට 1996 දක්වාත් එම තනතුර හෙබවූවා ය.

ඇගේ ජනප්‍රියත්වයේ උච්චතම අවස්ථාව එළැඹි සමයේ දී (ඇගේ පළමු මැතිවරණයෙන් මඳ කලකට පසු), ඇය ලෝකයේ ප්‍රධානතම කාන්තා නායිකාවන් අතරින් අයෙකු වූ අතර, ඇගේ රැලීන් සඳහා විශාල ජනකායක් ආකර්ෂණය විය.

එහෙත් එම අවස්ථාවන් ද්විත්වයේ දීම ජනාධිපතිවරයා විසින් දූෂණ චෝදනා මත ඇය ධුරයෙන් පහකරනු ලැබුණි.

2013 දී, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස සලකනු ලැබූ සිද්ධියකින් ඇගේ මරණය සිදුවිය. ඇගේ පියා සහ සොහොයුරන් දෙදෙනාට ද අත්ව තිබුනේ සැහැසි අවසානයන් ය.

බූතෝ අගමැති පදවිය දැරූ දෙවාරයෙන් පසුම නවාස් ෂරීෆ් බලයට පත්වූ නමුත් 1999 දී හමුදාව විසින් ඔහු නෙරපා හරින ලද අතර, භූතෝට මෙන්ම පිටුවහල්වීමට බලකෙරුණි (ඔහු සෞදි අරාබියට පළායාමට පෙර කෙටි කලකට සිරගත කරනු ලැබුණි).

Image of Nawaz Sharif over a treated flag of Pakistan

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඉන් වසර දහහතරකට පසු, ඔහුට අගමැති පදවියේ තෙවැනි වාරයක් දිනාදුන් විපක්ෂ ව්‍යාපාරයකට ෂරීෆ් නායකත්වය දුන්නේ ය.

නමුත් 2017 දී පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැනමා පත්‍රිකා නඩුවේ ප්‍රතිඵලයක් ලෙස ඔහු ජීවිතාන්තය දක්වා රාජ්‍ය නිලතල දැරීමෙහි නුසුදුස්සෙකු වන ලෙස තීන්දුවක් ලබාදුන්නේ ය. ඔහුගේ පවුලේ වත්කම් ප්‍රකාශයේ දක්වා නොමැති අක්වෙරළ සමාගම් සහ වත්කම් ඔහු සතුයැ යි පැනමා පත්‍රිකා මඟින් හෙළිවීම මෙයට හේතුවිය.

1999 කුමන්ත්‍රණයෙන් පාකිස්ථානයේ බලය අල්ලාගෙන, භූතෝට සහ ෂරීෆ්ට රට හැරයාමට සිදුවන තැනට ක්‍රියාකළ පුද්ගලයා වන පර්වේස් මුෂාරෆ්ගේ දේශපාලන දිවිය ද පිටුවහල් කිරීමකින් අවසන්විය.

සයින් අල්-අබිදීන් බෙන් අලී

අවසානයේ බිඳවැටෙන ඩොමිනෝ කැටය ඔබේ ඩොමිනෝ කැටය නොවිය හැකි ය.

Image of Zine al-Abidine Ben Ali over a treated flag of Tunisia

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

සයින් අල්-අබිදීන් බෙන් අලී වසර 23ක් ටියුනීසියාවේ නායකත්වය දැරූ නමුත් පෙර නොවූවිරූ වීදි විරෝධතා රැල්ලක් මධ්‍යයේ 2011 ජනවාරි මාසයේ දී බලයෙන් ඉවත්වීමට ඔහුට සිදුවිය – එය අරාබි වසන්තයේ පළමුවැන්න යි.

බෙන් අලී මුලින් විරෝධතාවන්ගේ වගකීම “අන්තවාදීන්” කොටසකට පැවරූ නමුත් ඔහු ඉක්මනින් සිය උපායමාර්ගය වෙනස් කළේ ය. විරෝධතාකරුවන්ගේ මරණ සම්බන්ධයෙන් දැඩි කණගාටුව ප්‍රකාශ කළ ඔහු මාධ්‍ය නිදහස හඳුන්වා දෙනබවට ප්‍රතිඥා දුන් අතර 2014 දී ජනපතිධුරයේ නොසිටිනබවට ද පොරොන්දු විය.

නමුත් ඔහුගේ ප්‍රතිඥාවන් නොසන්සුන්තාව මැඬලීමට අසමත් විය. පසුදින, විශාල ජනකායක් ටියුනිස්හි වීදිවලට බැස ආරක්ෂක අංශ සමඟ නැවත වරක් ගැටුම් ඇතිකර ගැනීමෙන් පසු ඔහු සෞදි අරාබියට පළාගිය අතර, එහි සිටියදී 2019 සැප්තැම්බර් 19 වන දා මියගියේ ය.

ජනාධිපති ලෙස ස්ථාවරත්වය සහ ආර්ථික සමෘද්ධිය ලබාදීම සම්බන්ධයෙන් බෙන් අලි ගෞරවයට පාත්‍රවූ නමුත් දේශපාලන නිදහස යටපත් කිරීම සම්බන්ධයෙන් ඔහුට පුළුල් විවේචන එල්ලවිය.

බලයෙන් නෙරපාහැරීමෙන් මාස හයකට පසු ටියුනීසියානු අධිකරණයක් විසින් රාජ්‍ය මුදල් වංචා කිරීම සහ අවභාවිතාව සම්බන්ධයෙන් ඔහු සහ ඔහුගේ බිරිඳ වරදකරුවන් බවට පත්කළ අතර (තීන්දුව ලබාදෙද්දී ඔහු හෝ බිරිඳ අධිකරණයේ පෙනී සිටියේ නැත), වසර 35ක සිර දඬුවම් නියමකෙරුණි.

2012 දී, වෙනත් අධිකරණයක් විරෝධතාකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමකළේ ය. මෙම තීන්දුව ලබාදුන්නේ ද ඔහු අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි අවස්ථාවක දී ය.

2011 අරාබි වසන්ත සංසිද්ධිය ටියුනීසියාවේ මෙන්ම ඊජිප්තුවේ, ලිබියාවේ සහ යේමනයේ ද ආණ්ඩු බිඳවැටීමට තුඩුදුන්නේ ය – එය සිරියාව තුළ දශකයක සිවිල් යුද්ධයක් ඇතිකිරීමට සමත්විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් සමඟින් යළි නැගී ටියේ ටියුනීසියාව පමණක් නමුදු වැඩෙන විරැකියාව සහ ස්ථවික ආර්ථිකය නිසාවෙන් බොහෝ ටියුනීසියානුවෝ එරට දේශපාලන පක්ෂ කෙරෙහි විශ්වාසය නැතිකර ගනිමින් සිටිති.

ටියුනීසියාව, පාර්ලිමේන්තුව විසුරුවාහැර අණසිටුවක් මඟින් වසරක් රට පාලනය කළ ජනාධිපතිවරයෙකුගේ බලතල වැඩි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ඡන්දය ප්‍රකාශකර (ජූලි 25 දා) ඇත.

ජනාධිපතිට අසීමිත බලතල ලබාදෙමින්, 90%ක් පමණ ඡන්ද ලබාගනිමින් නව ව්‍යවස්ථාව සම්මතවී ඇතිබව ඡන්ද විමසීම්වලින් පෙනීයයි.

විරුද්ධ පක්ෂයේ කණ්ඩායම් ඡන්දය වර්ජනය කළහ. ඔවුන් අතරින් ඡන්දය ප්‍රකාශකළවුන්ගේ ප්‍රතිශතය 30%ට වඩා අඩුවූ අතර රට නැවත ඒකාධිපති පාලනයකට මුහුණදෙනු ඇතිබවට අනතුරු ඇඟවීය.

ඉසබෙල් පෙරෝන් (1981 සිට වත්මන දක්වා)

ඔබේ රාජ්‍යය ඔබ උදර්පණය කිරීමට උත්සාහ දැරිය හැකි ය.

ආජන්ටිනාවේ ඉසබෙල් පෙරෝන් ලොවම ප්‍රථම ජනාධිපතිනිය යි. නමුත් 1981 වසරේ සිට ස්පාඤ්ඤයේ වෙසෙන ඇය ගෙවන්නේ හුදෙකලා ජීවිතයකි.

තෙවරක් ආජන්ටිනාවේ ජනපතිධුරයට පත්වූ ඇගේ සැමියා වන හුවාන් ඩොමින්ගෝ පෙරෝන් 1974 දී ධුරයේ සිටිය දීම මියයෑමෙන් පසු ඉසබෙල් බලය සියතට ගත්තා ය.

ඉසබෙල් ඔහුගේ තෙවැනි බිරිය විය. මහත් ජනාදරයට පත්වූ ජනපති ආර්යාවක් වූ ඒවා පෙරෝන්ගේ මරණයෙන් වසර කීපයකට පසු මෙම විවාහය සිදුවිය.

ආජන්ටිනීයානුවන් “ඉසබෙලිටා” ලෙස හඳුන්වනු ලැබූ ඇය ජනපතිවරයා හා විවාහවීමට ප්‍රථම කැබරේ නර්තන ශිල්පිනියකව සිටි තැනැත්තියකි.

ඇගේ ධුරකාලය තුළ දී අප්‍රමාණ වැඩවර්ජන සංඛ්‍යාවක් සිදුවූ අතර දේශපාලන ඝාතනයන් ද සියගණනක් සිදුවිය.

1976 දී හමුදා කුමන්ත්‍රණයක් මඟින් ඉසබෙල් පෙරෝන් බලයෙන් පහකෙරිණ. ඇය ස්පාඤ්ඤයට පළායාමට පෙර වසර කීපයක් නිවාස අඩස්සියේ තබාගැනිණි.

ඇයට දක්ෂිණාංශික පැරාමිලිටරි කණ්ඩායමක් සමඟ සම්බන්ධයක් ඇතිබවට හා මිනිසුන් දෙදෙනෙකුගේ අතුරුදන්වීමට සම්බන්ධයක් ඇතැ යි චෝදනා කළ ආජන්ටිනාව, 2007 දී ඇය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කළේ ය.

කෙසේ නමුත් ස්පාඤ්ඤය මෙම උදර්පණ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය; ඇයට එරෙහි සාක්ෂි ප්‍රමාණවත් නොවනබව එරට අධිකරණයක් විසින් තීන්දුවිය.

ෆර්ඩිනැන්ඩ් මාකෝස්

නායකයින් පිටුවහල් කළ හැකි මුත්, ඔවුන්ගේ නාමය බලයෙන් පහකිරීමට නොහැකිවිය හැකි ය

1986 දී, ෆර්ඩිනන්ඩ් මාකෝස්ට එරෙහි දැවැන්ත විරෝධතා පිලිපීනය තුළින් මතුවීමෙන් පසුව, පිලිපීනයේ බලය අත්හැර හවායි වෙත පළාඑන ලෙස එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන් ඔහුට උපදෙස් දුන්නේ ය (මාකෝස් මැතිවරණ වංචාවන්ගෙන් කැළැල්වූ ජනාධිපතිවරණයක දී ජයග්‍රහණයක් ප්‍රකාශකළේ ය).

“පිලිපීනය හිටපු එක්සත් ජනපද යටත්විජිතයක්. මාර්කෝස් [එක්සත් ජනපද රජයේ] නොමසුරු ආර්ථික හා හමුදාමය සහාය ලබාගත් ප්‍රධාන කොමියුනිස්ට්විරෝධී සගයෙක් වෙලා හිටියා,” මහාචාර්ය එස්ක්‍රිබා-ෆෝල්ක් පවසයි.

“ඒ වගේම එය ඉවත්ව යන ආඥාදායකයාට ආරක්ෂිත පිටුවහල් ගමනාන්තයක් ලැබී තිබීමෙන්, වෙනත් ආකාරයකින් විය හැකිවාට වඩා සුමට ලෙස පාලන තන්ත්‍රය වෙනස්වීම සිදුවූ අවස්ථාවක් වුණා.”

පිලිපීනයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් අන්ත දරිද්‍රතාවයෙන් සහ රටේ ණයබරින් මිරිකෙමින් සිටිය දී පවා මාර්කෝස් පවුලේ පාලනයට දේශපාලන විරුද්ධවාදීන්ගේ ඝාතන, පුළුල්ව පැතිරුණු මානව හිමිකම් උල්ලංඝනයකිරීම්, දූෂණය, සහ සාටෝප වියදම් (මාකෝස්-බිරිඳ වූ ඉමෙල්ඩාගේ සපත්තු එකතුව කුප්‍රකටවිය) ඇතුළත් විය.

එහෙත් මාර්කෝස් පවුල පිලිපීනයෙන් ඉවත්වයෑමට තවමත් සූදානම් නැත: දේශපාලන පවුල සඳහා විශ්මයජනක යළි-පැමිණීමක් තහවුරු කරමින් කනිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් (බොංබොං යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙයි) මැයි මාසයේ දී මහා මැතිවරණ ජයක් ලබාගෙන පිලිපීන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ය.

ඇල්ෆ්‍රෙඩෝ ස්ට්‍රෙස්නර් (1989 – 2006)

ඔබට වැඩිදුර යෑමට සිදුවනු නැත.

1989 දී ලෝකයේ දීර්ඝතම ඒකාධිපති පාලනයක් පැරගුවේහි දී අවසානයට පැමිණි විට, පළාගිය ජෙනරාල්වරයාට රැකවරණය පතා වැඩිදුරක් යාමට සිදුනොවී ය.

තම අසල්වැසි රාජ්‍යය තුළ තවදුරටත් කැළඹීම් ඇතිවීම වළක්වාගැනීම සඳහා ද, දෙරටටම තීරණාත්මක බලශක්ති ප්‍රභවයක් වන ඉටයිපු ජලවිදුලි වේල්ලේ කටයුතු සුමටව පවත්වාගෙනයාම සඳහා ද ජෙනරාල් ඇල්ෆ්‍රෙඩෝ ස්ට්‍රෙස්නර්ට රැකවරණය ලබාදීමට බ්‍රසීලය පසුබටවූයේ නැත.

මෙය පැරගුවේ සහ බ්‍රසීලයේ බොහෝදෙනෙකු කම්පනයට පත්කිරීමට සමත්විය. මන්ද, ස්ට්‍රෙස්නර්ගේ වසර 35ක පාලනය නිරන්තර මානව හිමිකම් කඩකිරීම්වලින් සලකුණුවී තිබූ අතර, බ්‍රසීලය ද වසර 21ක හමුදා පාලනයකින් මිදුණේ ඒ මෑතක දී නිසාවෙනි.

1970 ගණන්වල දී ස්ට්‍රෙස්නර්ගේ රජය යටතේ පැරගුවේ රාජ්‍යය “ඔපරේෂන් කොන්ඩෝර්” නම් රාජ්‍ය-ත්‍රස්තවාදී, ආරක්ෂක මෙහෙයුමකට සම්බන්ධ විය. මෙය ලතින් ඇමරිකානු රටවල් හයක (චිලී, ආර්ජන්ටිනාව, බොලිවියාව, පැරගුවේ, උරුගුවේ සහ බ්‍රසීලය) දක්ෂිනාංශික හමුදා ආණ්ඩු විසින් ඒකාබද්ධව මෙහෙයවන ලද, එක්සත් ජනපදයේ පිටුබලය ලත් මෙහෙයුමකි.

2006 වසරේ බ්‍රසීලයේ දී හිටපු හමුදා නායකයා පිටුවහලේ සිටිය දීම මරණයට පත්විය.

ස්ට්‍රෙස්නර්ගේ පාලන කාලය තුළ දී පුද්ගලයින් 400කට වැඩි පිරිසක් මරණයට පත්ව හෝ අතුරුදන්කර ඇතැ යි ඉන් වසර දෙකකට පසු සත්‍ය කොමිසමක් විසින් පවසන්නට යෙදුණි.

ගැලවීමට පහසු මඟක් නැත

Image of Muammar Gaddafi over a treated flag of Libya

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

නමුත් ආරක්‍ෂිත ගමනාන්තයක් සොයාගැනීමට අසමත්වූවන්ට කුමක් සිදුවී ද? තමන්ට යම් හෝ ආරක්ෂාවක් ලබාදෙන ගමනාන්තයක් සොයාගැනීමට අපොහොසත් නෙරපාහරින ලද නායකයින් “කෙසේ හෝ බලයේ ඇලීසිටීමට” තෝරාගත හැකිබව මහාචාර්ය එස්ක්‍රිබා-ෆෝල්ක් අනතුරු අඟවයි.

ඔහු ලිබියාවේ හිටපු ජනාධිපති මුවම්මර් ගඩාෆි උදාහරණයක් ලෙස ලබාදෙයි: 2011 ලිබියානු සිවිල් යුද්ධයේ දී ට්‍රිපොලි නගරය ඇඳවැටීමෙන් පසු, යුද්ධය නැවැත්වීමේ මාර්ගයක් ලෙස පිටුවහල්වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවේ අංශවලින් ගඩාෆිට දැඩි පීඩනයක් එල්ලවිය.

ලිබියානු ආඥාදායකයා ඒ වෙනුවට මාස ගණනාවක් සැඟවී සිටි අතර, අවසානයේ ඔහුගේ උපන්ගම වන සර්ටේහි දී මැර පිරිසක් විසින් මරා දමනු ලැබුණි.

“ඔහු පිටුවහල් වනවාට වඩා මරණය දක්වා සටන් කිරීමට තීරණය කළා. ඇතැමුන් අනුමාන කරන්නේ, තවත් බොහෝ හේතූන් තිබුණත්, ඔහුට දිගුකාලීන ආරක්ෂාවක් ලබාදීමට කැමති සහ එසේ කළහැකි රටක් සොයාගැනීමට නොහැකිවීම මත මෙම තීරණය පදනම් වූ බව යි,” 2017 දී නෝර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් සටහන්කොට තිබුණි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *