ආර්ථික අර්බුධය සමග දරුවන් අතර මානසික ගැටළු ඉහළ යයි

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයට ගමන් කරමින් සිටි පසුගිය සයමස තුළ දී ශ්‍රී ලංකාවේ සෑම දෙමාපියන් තිදෙනෙකුගෙන් අයෙකුම තම දරුවන්ගේ හැසිරීම්වල සෘණාත්මක වෙනස්කම් නිරීක්ෂණයකර ඇතැ යි මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ.

2022 ජූනි මාසයේ දී සේව් ද චිල්රන් (Save the Children) ආයතනය මඟින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක නවය තුළම පවුල් 2309ක් ආශ්‍රයෙන් සිදුකරන ලද මෙම සමීක්ෂණයෙන් අනාවරණයවී ඇත්තේ, සෑම පවුල් හතරකින් තුනකටම පාහේ තම දරුවන්ගේ චිත්තවේගීය හා මානසික සෞඛ්‍ය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ඔවුන් සමඟ වැඩි කාලයක් ගතකිරීමට සිදුව ඇතිබව යි.

මෙයට හේතුවී ඇත්තේ වැඩි වැඩියෙන් දරුවන් මානසික පීඩාවට පත්වීමේ සහ සමාජ සබඳතාවන්ගෙන් ඈත්ව සිටීමේ ලක්ෂණ පෙන්නුම් කිරීම යි.

වේගයෙන් ඉහළ නගින උද්ධමනයත්, දෛනික විදුලි කප්පාදුවත්, ඉන්ධන, ආහාර සහ ඖෂධ හිඟයත් නිසා බොහෝ පවුල් සිය දරාගැනීමේ හැකියාව ඉක්මවා සිටින බවට එම සමීක්ෂණය අනාවරණය කර ඇත. පවතින තත්ත්වය නිසා පවුල් මත ඇතිකර ඇති ආර්ථික පීඩනය හේතුවෙන් සෑම දරුවන් 10දෙනෙකුගෙන්ම අයෙකුගේ ආහාර රුචිය නැතිවගොස් ඇති අතර, ඔවුන් ප්‍රචණ්ඩභාවය සම්බන්ධ ගති ලක්ෂණ වැඩියෙන් පෙන්නුම් කරනබව එම වාර්තාව හෙළි කරයි.

මෙම සේව් ද චිල්රන් සමීක්ෂණය මඟින් වැඩි දුරටත් අනාවරණය වී ඇත්තේ සෑම දරුවන් පස්දෙනෙකුගෙන්ම එක් අයෙකු නින්දේ රටාව වෙනස්වීම, හැඟීම් පාලනය අපහසුවීම, අන්‍යයින්ට ප්‍රචණ්ඩත්වය පෙන්වීම හෝ නින්දේ දී මුත්‍රා පහවීම වැනි ලක්ෂණයන්ගෙන්ද පීඩා විඳිනබව යි.

ගැටුම්, ව්‍යසන හා අනෙකුත් අහිතකර සමාජ තත්ත්වයන් තුළ මානසික සෞඛ්‍යය සහ මනෝ සමාජීය සහාය පිළිබඳ විශේෂඥ වෘත්තිකයෙකු හා වෛද්‍ය මානව විද්‍යාඥයෙකු වන ආනන්ද ගලප්පත්ති මේ පිළිබඳව අප හා මෙසේ පවසා සිටියේ ය:

“පවතින අර්බුදය නිසා දරුවන්ගේ මනෝ සමාජයීය යහපැවැත්මට අයහපත් ප්‍රතිවිපාක ඇතිවීමේ පුදුමයක් නැහැ. පාසැල් ගමනට බාධා ඇතිවෙලා, පවුලේ ආදායම එකවරම පහත වැටිලා, මානසික ආතතිය සහ දෙමාපියන් අතර ගැටුම් ඇතිවීම වැඩිවෙලා, ආර්ථික තත්ත්වයත් එක්ක පවුලේ ආහාර රටාව වෙනස්වෙලා, පෝලිම්වල මිනිස්සු මැරෙන ප්‍රවෘත්ති දකින්න ලැබෙනවා, අම්මලා තාත්තලා රට රැකියාවලට යන්න හදනවා – මේ මොන ජාතියේ අත්දැකීමකින් වුණත් දරාගැනීමට අපහසු චිත්තවේගයන් ඇතිකරන්න පුළුවන්; අස්ථාවරත්වය පිළිබඳ හැඟීම් ඇතිකරන්න පුළුවන් වගේම දරුවන්ට සාමාන්‍යයෙන් ලැබෙන සහයෝගය නැතිවෙන්න පුළුවන්.”

“දරුවන් සිය පවුලේ සහ ප්‍රජාවේ ඇතිවන වෙනස්කම්වලට ප්‍රතිචාර විදියට හැසිරීමේ සහ චිත්තවේගීය තත්ත්වයේ වෙනස්කම් දැක්වීම ඉතා ස්වාභාවික යි – නමුත් ඇත්ත වශයෙන්ම එය දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත් වගේම දරුවන්ටම පවා කණස්සල්ලක් ඇතිකරන්න පුළුවන්. පාසල් යන දරුවන් තිදෙනෙකුගේ පියෙකු ලෙස මම එය සෘජුවම අත්විඳිමින් සිටිනවා,” ඔහු පැහැදිලි කළේ ය.

ඔහු ප්‍රකාශ කරන්නේ දරුවන්ට ආරක්ෂාව, සැලකිල්ල සහ ආදරය දැක්වීමේ භාරකරුවන්ගේ කාර්යයභාරය දරුවන්ගේ මානසික පීඩාව අඩු කිරීමට මෙන්ම, දීර්ගකාලීන හෝ වඩාත් බරපතල මනෝ සමාජයීය පීඩාවන් ඇතිවීම වැළක්වීමේ දී ඉතාම වැදගත් වන සාධකයන්ගෙන් එකක්බව යි.

සේව් ද චිල්රන් වාර්තාවට අනුව, බොහෝ දෙමාපියන් තම දරුවන්ගේ දුෂ්කරතා සඳහා ක්‍රියාකාරීව ප්‍රතිචාර දක්වනබව පෙනෙන්නට තිබීම සැනසිලිදායක කරුණකැයි ද ඔහු පවසා සිටියි.

වාර්තාවේ දැක්වෙන පරිදි භාරකරුවන්ගෙන් 86%ක් තම දරුවන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා අවම වශයෙන් එක් ධනාත්මක මාපිය ක්‍රමයක් භාවිතා කරයි. දෙමාපියන්ගෙන් හතරෙන් තුනදෙනෙකු (74%) තම දරුවන් සමඟ වැඩි කාලයක් ගතකිරීම ද, දහයෙන් හත්දෙනෙකු (70%) වැඩි ආදරයක් සහ සෙනෙහසක් පෙන්වීම ද, අඩකට වැඩි පිරිසක් (52.3%) සිය දරුවන්ගේ අවශ්‍යතාවන්ට වැඩියෙන් ප්‍රතිචාර දැක්වීම සිදුකරනබව ද වාර්තාවේ දැක්වෙයි.

“තමන් ද පීඩාවට පත්වෙලා ඉඳිද්දී මේ දේ කරන එක දෙමාපියන්ට සැමවිටම පහසු නොවෙන්න පුළුවන් – මොකද මම දන්නවා, අර්බුදය මැද්දේ පීඩනයෙන් රැකියා කටයුතු කරද්දී, ගමනාගමන පහසුකම් හොයාගන්න වද වෙද්දී මම මගේ දරුවන් එක්කත් හැමවිටම ඉවසීමෙන් වැඩ කරන්නේ නැහැ. නමුත් ඉතාම පීඩාවෙන් හෝ කණස්සල්ලෙන් ඉඳිද්දිත්, වැඩිහිටියන් විදියට දරුවන් සමඟ කටයුතු කරද්දී අපි අපේ හැඟීම් සහ ප්‍රතික්‍රියාවන් නිසා ඉවසීම නැතිකර නොගැනීම වැදගත්. වැඩිහිටියෝ තමන්ගේ උපරිමයෙන් පවතින තත්ත්වය කළමනාකරණය කරගන්නව කියලා දරුවන් තේරුම්ගන්න බවට වගබලාගෙන, දරුවන්ගේ වයසට ගැලපෙන විදියට පවුලේ අපහසුතා ඔවුන් එක්ක අවංකව සාකච්ඡා කරන්න අපට පුළුවන්,” ඔහු පවසා සිටියේ ය.

“අපට හැකි ඉක්මනින් ළමුන්ගේ සාමාන්‍ය පාසල් ගමන නැවත ආරම්භ කිරීමත්, අධ්‍යාපන විෂය මාලාවන්, ප්‍රවේශයන් සහ අපේක්ෂාවන් වර්තමාන තත්ත්වයට අනුගත වන ලෙස සකස් කිරීමත් අත්‍යවශ්‍ය යි. දරුවන්ට නිවසේ ඉන්න වෙලාවෙදි වුණත්, නිශ්චිත දිනචර්යාවක් සකස්කර ගැනීම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් – උදාහරණ විදියට, අධ්‍යාපන කටයුතුත්, නිවසේ වැඩකටයුතුත් සඳහා වගේම අනෙක් දරුවෝ හමුවෙන්න, එයාලා එක්ක සෙල්ලම් කරන්නත් නිසි වේලාවකට හුරුවීම වගේ දේවල්. දෙමාපියන් වශයෙන්, අපටත් අපේ හෝ අපේ දරුවන්ගේ ගැටලු එක්ක කටයුතු කරන්න වෙනත් විශ්වාසවන්ත නෑදෑ හිතමිතුරන්ගෙන් චිත්තවේගීය සහ ප්‍රායෝගික සහාය අවශ්‍ය වෙන්න පුළුවන්.”

දරුවන් මෙන්ම ඔවුන්ගේ භාරකරුවන් ද මෙසමය ගතකරන්නේ බරපතල පීඩාවෙනි. මෙනිසා, තමන්ට ද උපකාර අවැසි නම් එය නොපැකිල ලබාගත යුතුබව ඔහු අවධාරණය කරයි.

“දරුවන් රැකබලාගන්නන්ට තමන් වෙහෙසට පත්වෙලා කියලා දැනෙනවා නම් හෝ තමන්ගේ දරුවන්ට ඇති ප්‍රශ්න එක්ක සාර්ථකව කටයුතු කරන්න නොහැකි නම්, ඒ දුෂ්කර කාලපරිච්ඡේදය තුළ ඔවුන්ට උපකාර කළ හැකි හෝ අවශ්‍ය සහාය ලබාගන්න උපකාර කළ හැකි සමාජ සේවකයෙකු හෝ මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු සම්බන්ධ කරගන්න ඕනෑ. මේ වගේ කාලවල දී, කාගෙන් හෝ උදව් ඉල්ලන්න අපි කවුරුවත් ලැජ්ජා වෙන්නවත්, බය වෙන්නවත් උවමනා නැහැ,” ඔහු ප්‍රකාශ කළේ ය.

healpline numbers

ඡායාරූප මූලාශ්‍රය,ANANDA GALAPPATTI

මාසික ආදායමට වඩා වියදම 75%කින් වැඩියි

සමීක්ෂණයට බඳුන්වූ පවුල්වල වර්තමාන මාසික ආදායමේ සාමාන්‍යය වන්නේ රු. 29,000කි. නමුත් ඔවුන් පසුගිය මාසයේ දී ආහාර සඳහා පමණක් වැයකළ මුදලේ සාමාන්‍යය රු. 20,286ක් වේ. එය මාසික ආදායමෙන් 71%කි.

ඔවුන්ගේ මුළු මාසික වියදමේ සාමාන්‍යය රු. 50,265කි. එය ඔවුන්ගේ මාසික ආදායමේ සාමාන්‍යයට වඩා 75%ක මුදලක් වේ.

“දරුවන්ට අවශ්‍ය සහයෝගය නොලැබුණොත් මෙම ලක්ෂණ උග්‍රවේවි”

සේව් ද චිල්රන්හී ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්ෂ ජුලියන් චෙල්ලප්පා මෙම සොයාගැනීම් සම්බන්ධයෙන් පවසා සිටින්නේ දරුවන්ට අවශ්‍ය සහයෝගය නොලැබුණහොත්, ඔවුන්ගේ හැසිරීමේ ඇති ගැටලු උත්සන්නවනු ඇතිබවකි.

“දුෂ්කර සහ නොසන්සුන්කාරී අවස්ථාවල දී කුඩා දරුවන් පීඩාවේ ලක්ෂණ මඟින් තමන්ගේ හැඟීම් පිටට පෙන්නන්න පුළුවන්. ඒ කිව්වේ ළාබාල දරුවන් වැඩිපුර ඇඬීම සහ කෑගැසීම මඟින්, වඩාත් ආක්‍රමණශීලී හැසිරීම් හෝ ප්‍රචණ්ඩත්වය මඟින් මෙන්ම චිත්තවේගීය නියාමනයේ දුෂ්කරතා පෙන්වන්න පුළුවන්. ඇතැමුන් ඔවුන්ගේ හැඟීම් පිටතට නොපෙන්වා ඉන්නවා; මෙනිසා ඔවුන් සමාජ සබඳතාවලින් ඈත්වුණු ගතියක් පෙන්වනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ සිදුවනු අපට පෙනෙන්නට තිබෙන්නේ මෙය යි.

“දරුවන්ට බොහෝවිට අර්බුදය තේරුම්ගන්න අපහසු යි. අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ආපදාවන් තේරුම්ගැනීම සහ ඒවාට සාර්ථකව මුහුණදීම සඳහා ඔවුන්ට පවුලේ සහ මිතුරන්ගෙන් සහාය අවශ්‍ය යි. මේ සඳහා දරුවන්ට අවශ්‍ය සහයෝගය නොලැබුණොත්, ඔවුන්ගේ රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරෙන්නට හැකියි.

Skip Twitter post, 1

End of Twitter post, 1

ජුනි මාසයේ දී එක්සත් ජාතීන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත්කළ වාර්තාවක පැවසෙන්නේ වසංගතය අවසන්වූ විගසම වාගේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ආරක්ෂාව සහ මනෝ සමාජයීය යහපැවැත්ම සම්බන්ධ ගැටළු දිගින් දිගටම වර්ධනය වනබව නිරීක්ෂණයවී ඇතිබව යි.

ළමාරක්ෂක ආයතන, දරුවන්ට එරෙහි ලිංගික අපචාර සිදුවීම්, ශාරීරික අඩත්තේට්ටම්, සහ නොසලකාහැරීමේ සිදුවීම් නුවර එළිය, මඩකලපුව, මොණරාගල, සහ මුලතීව් යන දිස්ත්‍රික්කවලින් වාර්තාවන ප්‍රමාණය කණගාටුදායක ලෙස ඉහළගොස් ඇතැ යි එමඟින් ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ට අනුව, මේ වන විට අධ්‍යාපනය අහිමිවන හා අඩු වයසින් පාසැල් හැරයන දරුවන් සංඛ්‍යාව ද, උදෑසන ආහාරය ලබා නොගෙන පාසැල් පැමිණෙන දරුවන් සංඛ්‍යාව ද සැළකිය යුතු ලෙස ඉහළගොස් ඇත. දරුවන්ගේ අධ්‍යාපනය දෙවැනි තැනට දමා ආහාර මිළට ගැනීමට මුල්තැනදීමට දෙමාපියන්ට සිදුවීම මෙයට හේතුවී තිබේ. මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් මේ වන විට මෙම දරුවන්ට උදෑසන ආහාරය සැපයීමට පාසැල් ද අසමත්ව සිටියි.

පීඩාවට පත්ව සිටින දෙමාපියන් හා අනෙකුත් වැඩිහිටියන්ගෙන් දරුවන් ප්‍රචණ්ඩත්වයට ගොදුරුවීමේ ඉඩකඩ ද වැඩිවී තිබේ. දරුවන්ට එල්ලවන මෙවන් නොයෙක් පීඩාවන් ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට විවිධ අයුරින් බලපායි.

එක්සත් ජාතීන් පවසන අන්දමට, දරුවන්ගේ ආහාර සහ අධ්‍යාපනික අවශ්‍යතා සැපිරීමේ අපහසුතාව නිසා වැඩි වැඩියෙන් පවුල් සිය දරුවන් ළමා නිවාස වැනි ළමාරක්ෂණ ආයතනයන්ට බාරදීමට පෙළඹෙමින් සිටියි.

මේ සියලු කාරණා හේතුවෙන් ළමා කම්කරුවන් වැඩි වැඩියෙන් බිහිවීමේ ඉඩක් ඇතැ යි ද වාර්තාවේ දැක්වෙයි.

උචිත අන්දමේ මානසික හා සමාජයීය සහායක් නොලැබුණහොත් අර්බුදය මඟින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට ඇතිකරන බලපෑම වඩාත් අයහපත් අතට හැරීමට හැකි අතර, දරුවන්ගේ අනාගතය, වැඩිහිටියෙකු වූකල රැකියා අවස්ථා සොයාගැනීමේ හැකියාව වැනි දිගුකාලීන යහපැවැත්ම සහ දරාගැනීමේ හැකියාව සම්බන්ධ පරිහාණියකට ඔවුන් මුහුණදෙනු ඇති බවට මේ වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *