දිනන අපේක්ෂකයා එජාප සන්ධානයෙන් එනවා / ජේ සී අලවතුවල

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවරෙක්දැයි ඉදිරි දින කිහිපයේදී රට හමුවේ ප්‍රකාශ කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අමාත්‍යවරයා ලංකා ඒ නිවුස් සමග සංවාදයකට එක්වෙමින් කියා සිටියේ නියත වශයෙන්ම ජනපතිවරණය ජයගත හැකි වැඩිදෙනකු අපේක්ෂා කරන සුදුසුම අපේක්ෂකයා පිළිබද ඒකමතික තීන්දුවක් නව සන්ධානය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.
මේ වන විට විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ එක්සත් ජාතික පක්ෂය තුල බල අරගලයක් ඇතැයි පෙන්වාදීමට වෑයමක් ක්‍රියාත්මකවුවද සංවාදයක් හැර අනෙක් කිසිදු අර්බුධයක් එක්සත් ජාතික පෙරමුණ තුල නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

දැන් ගොඩ දෙනෙක් පෙන්වන්න උත්සාහ කරනවා එක්සත් ජාතික පක්ෂයේ අර්බුධයක් ඇති බව. ඒ අය නොදන්න දෙය තමයි අපේ පක්ෂය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදීම දේශපාලන පක්ෂය බව.
සමහර දේශපාලන පක්ෂවල වගේ පවුලේ අය හැර වෙනත් අයට නායකත්වයට පිවිසීමේ බාධාවක් එක්සත් ජාතික පක්ෂය තුල කිසිවෙක්ට පවතින්නේ නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා එන්නේ නියත වශයෙන්ම බහුතරයේ කැමැත්ත අනුව. එක් අයෙක් විතරක් ජනාධිපති හෝ අගමැති අපේක්ෂකත්වය පිළිබද තීරණ ගන්න යන පක්ෂයක නොවේ අපි ඉන්නේ.
ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට අවලාද නගන මහත්වරුන්ට අපි කියන්න කැමතියි අපි ගැන නොවෙයි ඔබතුමන්ලාගේ පක්ෂය ගැන බලාගන්න.
අපි ඉදිරි දින කිහිපය තුල රටට දිනන හා රට දිනවන සැබෑ අපේක්ෂකයා හෙළි කළාම දැනට අපි සමග නොමැති දේශපාලන කණ්ඩායම් පවා අපි සමග එකතු වෙනවා.
අපි පැහැදිලිවම කියනවා රටේ නීතියට ගරු කරන චෝදනා නැති ,රටට ආදරය කරන අපේක්ෂකයා එන්නේ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන්.
ඒ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ ඊළග ජනාධිපතිවරයා බවට අපට කිසිම සැකයක් නැහැ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න