අපි පොහොට්ටුවට යනවා / එස් බී ,රෙජිනෝල්ඩ් කියයි

ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ සාමාජිකත්වය ගෙන, වමේ ව්‍යාපාරයට සහය දෙන ජනාධිපති අපේක්ෂකයාට සහයෝගය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සහ හිටපු මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ පවසති.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායකගේ බත්තරමුල්ල පිහිටි නිවසේදී ඊයේ (27දා) පැවති මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව පැවැසූහ.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක,

අපි ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ සම්මේලනයට ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් අපිව අයින් කරන්න කියන පණිවුඩය දෙමින්. ඒ නිසා තනතුරුවලට අලුතෙන් පත්කර ගැනීම අපට ගැටලුවක් වුණේ නෑ.

මා වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුත් භාණ්ඩාගාරිකවරයෙක් ඒ වගේම පක්ෂයේ උප සභාපතිවරුන් වන ඩිලාන් පෙරේරා හා සරත් අමුණුගම වෙනුවට උප සභාපතිවරු දෙදෙනකු පත්කරමින් අලුත් පියවරක් ඉස්සරහට තිබ්බා. ඒකට අපි සුබ පතනවා. ඊට වඩා අපි සුභ පතන්න කැමතියි පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්වීම, සන්ධානගතවීම පිළිබඳව පැවති සාකච්ඡාව සාර්ථක වීම පිළිබඳ.

පසුගිය ජනාධිපතිවරණයේදී අපි හිටියේ සන්ධාන පිලේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පොදු අපේක්ෂකයා වෙලා එළියට ගියත් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග හිටියා. පක්ෂයේ අනුශාසක ලෙස හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂයේ සභාපති පුටුවේ වාඩිකළා. නොසිතපු වෙලාවක පක්ෂය ආරක්ෂා කරන්න හිටපු ලේකම්ට පක්ෂය භාර දුන්නා. පක්ෂයේම තීන්දුවකින් අපි ආණ්ඩුවට එකතු වුණා. අපිට ඇමති තනතුරකුත් හිමිවුණා. අපි ආණ්ඩුවට ගිය දවසේ ඉඳන් අපි දැක්ක දෙයක් තමයි එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු වියරුවෙන් හොරකම් කරා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාපු වෙලාවේ අධිකරණයට සමහර දේවල් විකෘති කරලා පෙන්නුවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හොරකම සිදුවුණේ රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් කියලා අපි හොඳටම දැක්කා. එතැන හොරකමක් වුණේ නෑ කියලා පෙන්වන්නත් රනිල් වික්‍රමසිංහ සහතික වුණා. දිගින් දිගටම වංචා වීම නිසා අවබෝධයෙන් විපක්ෂයට ගිහින් හිටපු මන්ත්‍රීවරු සමග අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඒකට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේත් ආශිර්වාදය ලැබුණා. විශ්වාසභංගයට ඡන්දය දෙන වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළා ඡන්දයෙන් වැළකෙන්න. ඊට අපි විරුද්ධ වුණා. දයාසිරි ජයසේකර ඇතුළු කැබිනට් ඇමතිවරු 16 ක් ඒකට විරුද්ධ වුණා. අපි ඇමැතිකම්වලින් අස්වෙලා එළියට ආවා. දයාසිරි ජයසේකරත් ඒ විදිහට අපිත් එක්ක ආපහු එළියට ඇවිත් ආපුදාට පහුවදාම ආපසු ගිහින් ඇමැතිකම් ගන්න උත්සාහ කරා.

මමත්, ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමාත්, තිලංග සුමතිපාල මන්ත්‍රීතුමාත්, ලක්ෂ්මන් වසන්ත මන්ත්‍රීතුමාත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳගෙන යූ.එන්.පී. විරෝධී දේශපාලන සටන අරගෙන ගියා.

අපි ඉතා අමාරුවෙන් මගේ ගෙදරදී සහ ලක්ෂ්මන් වසන්තගේ ගෙදරදී මෛත්‍රිපාල සහ මහින්ද රාජපක්ෂ එකතු කරා. අපි අපේම ආණ්ඩුවක් හැදුවා. අපිට බහුතරය හිටියා. මැතිවරණයකට සූදානම් වෙද්දී පිරිස අඩුවුණා. අපිට විපක්ෂ නායකකම ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අය ඇමැතිකම්වලින් ඉවත් වෙලා ආවේ අපිට සාප කරමින්.

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට එජාපයෙන් එකතුවූ කිහිප දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත එජාපයට ගෙනියන්න සූදානමක් තියෙනවා. තවත් සමහරු කෙළින්ම යූ.එන්.පී. එකට යන්නේ නැතිව හෙළ උරුමය හරහා එජාපයට යාමේ උත්සාහයක් ගනිමින් හිටියා. එක්කෙනෙක් තමයි නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයට පත්වූ ලසන්ත අලගියවන්න. එතුමාගේ එහෙම උ‍පායශීලී උපක්‍රමයක් තිබුණා.

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සම්මේලනයට ජනාධිපතිතුමා එපා කියද්දීත් පෞද්ගලිකවම අපි සහභාගි වුණා. අපි යුතුකමක් විදිහටයි ඊට සහභාගි වුණේ. අපි ඒක ගත්ත නිවැරදි දේශපාලන තීන්දුවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කතා කරලා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති අපේක්ෂයා ලෙස නම් කළේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපිට රාත්‍රි භෝජන සංග්‍රහයකට එන්න කිව්වා. ඔහුට සහයෝගය දෙන අය දැනහඳුනාගන්න එය තිබුණේ. අපි සම්මේලනයට ගිය එකට විරුද්ධ වූ සියලුදෙනා මේ භෝජන සංග්‍රහයට ආවා. ආවේ නැත්තේ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනායි. අනෙක් සියලුදෙනා සහභාගි වුණා.

අපිට පේන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට එකතු වුණා. පොදුජන පෙරමුණට අද හැම ගමකම ශාඛා තියෙනවා.අද පොදුජන පෙරමුණ ඩිජිටල් පක්ෂයක් බවට පත්වී තිබෙනවා.අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග එකතුවෙලා අති දැවැන්ත ජයග්‍රහණයක් ගන්නවා.

මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ සමග එකතු විය යුතුයි කියන තීරණයේ ඉන්නේ කියලා මම හිතන්නේ.

අද එජාපයේ පක්ෂ නායකත්වය වියරුවෙන් හැසිරෙන්නේ. පක්ෂයේ අපේක්ෂකයාවත් තෝරා ගන්න බැරිවයි ඔවුන් ඉන්නේ.

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර හා බස්නාහිර පළාත් හිටපු මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ,

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන වටිනා පක්ෂය නමැති බස් රථයේ ඩ්‍රයිවර් බස් එක එළවනවා කන්කසන්තුරේට. කොන්දොස්තර ටිකට් කඩනවා දෙවුන්දරට. මහා ප්‍රශ්නයක්. බස් එක නවත්වන හැම හෝල්ට් එකකදීම හතරදෙනෙක් පස්දෙනෙක් බස් එකෙන් බැහැලා යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද සිය අරමුණු අවුල් කරගෙන තිබෙන නිසා ස්වාභාවික මරණයකට පත්වෙමින් සිටිනවා. අංශභාග රෝගියෙකුගේ තත්ත්වයට පත්වෙමින් සිටිනවා. කඳ දැගලුවාට ඔළුව නෑ. මේ පක්ෂයේ ප්‍රගතිශීලීන් යාරයක් මහද්දී බඹ දහයක් ඉරන අය හිටියා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදාවේල ටුවර්ස් බවට පත්වී තිබෙනවා.

මේ මැතිවරණයේදී ජනතාව ඕමි ගහන්නේ නෑ. ජනතාව ගොඩවල් දෙකකටයි බෙදෙන්නේ. අපිට හිටගන්න වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වාම ධාරාව සමගයි. අපේ ඓතිහාසික යුතුකම ඒ පන්තිය වෙනුවෙන් කටයුතු කිරීමයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න