දරු පවුල් ඔක්කොම පිටරට / කතා කරන්නේ දේශප්‍රේමේ

අපි සංවර්ධන සැලසුම් හදද්දී ඇතැමුන් බොරු බිල්ලෝ හදලා මිනිස්සු බය කරනවා. සමහරු කියනවා සීගිරියත් විකුණන්න යනවා කියලා. මේක කොළඹ ත්‍රිකුණාමලය මාර්ගයේ තියෙන නිසා මේ චෝදනාව කරන්නේ. මේ ප්‍රකාශ කරන අයගේ දරු පවුල් ඔක්කොම ඉන්නේ පිටරටවල. එහෙම තියාගෙන තමයි මේ අය දේශප්‍රේමී කතා පවත්වන්නේ” යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක පැවැසීය. හෙතෙම මේ බව සඳහන් කළේ බත්තරමුල්ල සුහුරුපායේදී පැවැති ජාතික භෞතික සැලැස්ම හඳුන්වාදීම සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉදිරියේදී ක්‍රියාත්මක වන ඕනෑම සංවර්ධන ක්‍රියාදාමයක් මෙම සැලැස්මට අනුකූල විය යුතු බවද හෙතෙම එහිදී පැවසීය. ඒ අනුව මහාමාර්ග, වාරිමාර්ග, බලශක්ති හෝ නාගරික සංවර්ධවන ව්‍යාපෘති ආදී වශයෙන් ඕනෑම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී මෙම ජාතික භෞතික සැලැස්මට යටත් විය යුතුය.

එමෙන්ම මෙම සැලසුම් නිර්මාණය කර ඇත්තේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදිය. ඒ අනුව පාරිසරික තත්ත්ත්ව, ජනගහන තත්ත්ව, නාගරික තත්ත්ව, ජනගහනයේ උගත්කම සහ අනාගත ආර්ථික වර්ධනය පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර තිබේ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවැසීය.

බස්නාහිර පළාත සඳහා අංග සම්පූර්ණ බස්නාහිර මහ නගර සැලසුම නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම නැගෙනහිර වෙරළ ඇතුළු ත්‍රිකුණාමල අවට කලාපයේ සුවිශේෂී සංවර්ධන සැලසුමක් සාදා තියෙනවා. පරිසර ඇගයීමේ ක්‍රියාවලියකුත් ඒ කලාපයේ කළා. ඒ වගේම මේ දිනවල හම්බන්තොට ඇතුළු තිස්සමහාරාම ප්‍රදේශයේ විධිමත් නාගරීකරණ සැලසුම් සදමින් සිටිනවා. අපි තෝරාගත් නගරවල උපාය මාර්ගික නගර සංවර්ධනය කරනවා. මේ සඳහා යාපනය, අනුරාධපුර, මහනුවර, ගාල්ල, යන නගර අයත් වෙනවා. ඉදිරියේදී කුරුණෑගල, දඹුල්ල, රත්නපුර, මාතර වැල්ලවාය, ඇඹිලිපිටිය සහ වාලච්චේනයේ සිට අම්පාර දක්වා කලාපයේත් මෙය ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම දකුණු දිග කලාපයේ අන්තර් ජාතික මුහුදු මාර්ග සහ ගුවන් මාර්ග විශේෂයෙන්ම දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල සලකා බලා මේ රටට මධ්‍යම ආර්ථික රටක සිට අධි ආදායම් රටක් දක්වා ගෙනයාම තමයි අපේ පරමාර්ථය. රටේ විද්‍යාඥයින් දෙතුන් දාහක් එකතුවෙලා මේ සැලැස්ම හැදුවෙ. මෙවැනි සැලැස්මක් නැති නිසා විශාල පාරිසරික හානි, මූල්‍ය හානි සිද්ධ වෙනවා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නෑ.

මේ සැලැස්මේ ප්‍රධාන කොරිඩෝව කළුතර මීගමුව හරහා ත්‍රිකුණාමලය දක්වා විහිදෙනවා. ඒ වගේම පරිසර සංවේදී කලාප ලෙස කෑගල්ල, මහනුවර, නුවරඑළිය, බදුල්ල ආදී ප්‍රදේශවල විශාල ජනගහනයක් පදිංචි වීමේදී අති විශාල පාරිසරික හානියක් සිද්ධ වෙන්න යනවා. ඒ නිසා යෝජනා කරන සියලුම මහාමාර්ග දුම්රිය මාර්ග ඇතුළුව සියලු යටිතල පහසුකම් සැලැස්සමකට අනුව සිදුවිය යුතුයි කියලා අපි කියනවා.

“අපි ආදායම් උපදවන්න ඕන. ඡන්දෙ ගන්න කැලෑවල, ගම්මානවල පාරවල් කාපට් කළාට වැඩක් නෑ. මේ සැලැස්මට අනුව කටයුතු කළොත් රටට අනිවාර්යයෙන්ම ආර්ථික ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේම ගිය අවුරුද්දෙ රජය ලැබූ ආදායමට වඩා සියයට එකසිය අටක මුදලක් ගියා ණයයි පොලියයි ගෙවන්න. මේ අවුරුද්දෙ පළමු වැනි මාසයේ භාණ්ඩාගාරයට එකුතු වෙලා තියෙන්නේ රුපියල් බිලියන 894 යි. නමුත් ණයයි පොලියයි බිලියන 1100යි.

විශේෂයෙන් කියන්න ඕන මේ ජාතික භෞතික සැලසුම දඩමීමා කරගනිමින් තක්කඩි දේශපාලන ප්‍රචාරකයන් කිහිපදෙනෙක් යම් යම් ප්‍රකාශ නිකුත් කරනවා. එකක් තමයි මේ සැලසුම ඇමරිකා එක්සත් ජනපදයේ සැලසුමක් කියන එක. ඒක බොරු. මේක සම්පූර්ණයෙන්ම දේශීය විශේෂඥයින් විසින් කරපු සැලසුමක්. ඒ වගේම මේ රජය ත්‍රිකුණාමලය විකුණන්න යනවා කිව්වා. අපේ පැරණි රජවරු විසින් ත්‍රිකුණාමලය ලෝකයට විවර කරා. මේ ආර්ථික කලාපය ගැන අදහස ඇති කරගත්තෙ එතුමන්ලා. මේ ත්‍රිකුණාමලය හරහා බෙංගාල බොක්ක අවට කලාපය විශාල ආර්ථික කලාපයක් දැන් දියුණු වෙමින් තියෙනවා. බංග්ලාදේශය, ලාඕසය, කාම්බෝජියාව, වියට්නාමය, තායිලන්තය, මියන්මාරය සහ චීනයේ කුන්මින් ඇතුළු යුනෑන් ප්‍රාන්තය මීට අයත් වෙනවා. එහිදී අනාගතයේදී චීනයේ සිට මධ්‍ය ආසියාවට යන එක් අධිවේගී මං තීරයක් සෑදෙනවා. අපි ත්‍රිකුණාමලෙන් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් බෞද්ධ අපිට වැදගත් වන මේ කලාපයට විවරවෙන්න. මේකට ඇමරිකන් සැලසුමක් කියන්නේ වංචනිකයෙක් නැත්නම් කිසිත් නොදන්නා මෝඩයෙක්.

මේ ජාතික භෞතික සැලැස්මත් ඇමරිකාවත් එක්ක අත්සන් කරන්න යෝජනා කරලා තියෙන්නේ. එම්. සී. සී. ගිවිසුමත් අතර කිසිම සම්බන්ධතාවක් නෑ. ලෝක බැංකුව දැනටමත් මේ ජාතික භෞතික සැලැස්ම පදනම්ව තමයි අපට ආධාර ලබා දෙන්නේ. ප්‍රංශය අනුරාධපුර දියුණු කරන්න ආධාර දීලා තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුව දඹුල්ල, කුරුණෑගල සහ ත්‍රිකුණාමලයට ආධාර ලබාදෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉදිරියේදීත් අපිට ආධාර මේ ආකාරයෙන් ලැබෙන්න නියමිතයි. අපි ඇඹිලිපිටිය දියුණු කරන්න විශේෂයෙන් කටයුතු කරනවා. ඌවෙන් වැල්ලවාය දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම සැලැස්ම හැදුවේ සියලු දේශීය විශේෂඥයෝ. ඒ නිසා විදෙස් රටකට අපේ සල්ලි ගියේ නෑ.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද ජාතික භෞතික සැලැස්ම පසුගිය ජුනි මස ගැසට් නිවේදනයක් මගින් නිකුත් කළ අතර එය මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව ඉදිරියේදී මෙය නීතියක් බවට පත්වනු ඇති බව මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මහාචාර්ය ජගත් මුණසිංහ පැවසීය. මෙම සැලසුමට අනුව රැකීරක්ෂා, ජීවන තත්ත්වය උසස් කිරීම, ආර්ථික වර්ධනය සහ ඊට පසුබිම සැකසීම, රට පුරා සමතුලිත සංවර්ධනය, තිරසර සංවර්ධනය ඇති කිරීම යන අරමුණෙන් යුක්තව මෙම ජාතික භෞතික සැලැස්ම ඉදිරිපත් කළ බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

පාඨලී චම්පික රණවක

– මහා නගර සංවර්ධන ඇමැති

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න