ඇමසන් විනාශයේ සැබෑ තත්ත්වය මෙන්න

ඇමසන්වනාන්තරය ලොව තිබෙන විශාලතම වැසි වනාන්තරය ලෙස කාගෙත් පිළිගැනීමට ලක්වූයේ අනාදිමත් කාලයක සිටය. එහි විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 6.9 ක් ලෙස සැලකේ. ලොව වැඩිම ජල ඝනත්වයක් ඇති ගඟ වන ඇමසන්, ඇමසන් වනාන්තරය හරහා ගලා යන අතර අතු ගංගා 1,100 කින් හා සැතපුම් 1000 කට වඩා වැඩි දිගකින් යුතු ගංගා 17 කින් පෝෂණය වෙයි. ජල මට්ටම ඉහළ යන වඩදිය හට ගන්නා දිනවලදී ඇමසන් ගඟ දිනකට ජලය ඝන අඩි බිලියන 500 ක් පමණ අත්ලාන්තික් සාගරයට මුදා හරි. ඇමසන් වනය බ්‍රසීලය, බොලීවියාව,පේරු රාජ්‍ය, ඉක්වදෝරය, කොලොම්බියාව, වෙනිසියුලාව, ගුයනාව , සුරෙනේම් සහ ප්‍රංශ ගුයනාව නම් රටවල් 9 ට අයත් වන අතර වනාන්තරයෙන් 60% ක් අයත්වන්නේ බ්‍රසීලයටය. මේ හැරුණු කොට පේරු රාජ්‍යට 13% සහ කොලොම්බියාවට 10% ද වනාන්තරයෙන් අයත් වෙයි. සුළු ප්‍රමාණයක වන ගහනයක් .වෙනිසියුලාව, ඉක්වදෝරය, බොලීවියාව, ගුයනාව, සුරෙනේම් සහ ප්‍රංශ ගුයනාව යන රටවලට අයත්වෙයි.

වර්තමානයේ වාර්තාගත ශාක විශේෂවලින් 2/3කට නිවහන වන්නේ ඇමසන් වනාන්තරය. ඇමසන් නදියේ බටහිර නිම්නය ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානය සැලකේ. මේ වනවිට ඇමසන් වනාන්තරයේ එක හෙක්ටයාරයක් තුළ විවිධ විශේෂවලට අයත් ශාක විශේෂ 40 ත් 100 ත් අතර ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. ඇමසන් වනයෙන් වාර්තාගත වූ විවිධ ශාක විශේෂ ප්‍රමාණය 80,000 ක් පමණ වෙයි. ඉන් ශාක විශේෂ 40,000 ක්ම ගෝලීය දේශගුණිය පාලනය කිරීමට හා ජල චක්‍රය ස්ථායීව පවත්වා ගෙන යාමට ආධාර කරයි. එමෙන්ම ලොව කාර්මීකරණය වීම හේතුවෙන් වායුගෝලයට පිටකරන අධික කාබන්ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණය අවශෝෂණය කර වායුගෝලයට ඔක්සිජන් (O2) පිට කිරීමේ මහඟු සේවාවට ද ඇමසන් වනාන්තරය සුවිසල් දායකත්වයක් ලබාදෙයි.

සත්ත්ව විශේෂ දස දහස් ගණනකට නිවහන් සැපයෙන ඇමසන් වනාන්තරය තුළ ක්ෂීරපායී සත්ත්ව විශේෂ 427 ක් පමණ ජීවත් වෙති. මෙම සත්ත්ව විශේෂ අතර දුර්ලභ සත්ත්ව විශේෂයක් වන ජගුවාර් මෙන්ම ඇමසන් ගඟේ වෙසෙන ඩොල්පින්ද වෙයි. මේ වන විට කුරුලු විශේෂ 1800 ක් හා සර්ප විශේෂ 378 ක් පමණ ඇමසන් වනාන්තර තුළින් හඳුනාගෙන ඇත.

උභය ජීවීන් විශේෂ 4000 ක් පමණ මත්ස්‍ය විශේෂ 5,600 ක් ,සමනල් විශේෂ 3,000 ක්, කෘමි විශේෂ මිලියන 2.5ක් හා උඩවැඩියා විශේෂ 4,000 පමණ ඇමසන් වනාන්තරයෙන් හඳුනාගෙන ඇත. විදුලි ආඳන් සහ පිරානා මසුන් ඇතුළු මත්ස්‍ය විශේෂ 2,500 ක් එහි ගංගා ඇළදොළවල දක්නට ලැබේ.

සත්ත්ව විද්‍යාඥයන් සහ උද්භිද විද්‍යාඥයන් පවසන අන්දමට මෙවන විටත් හඳුනා නොගත් ශාක සහ සත්ත්ව විශේෂ මෙන්ම ක්ෂුද්‍ර ජීවීන් අතිවිශාල සංඛ්‍යාවක් ඇමසන් වනාන්තරයේ වෙසෙතැයි විශ්වාස කෙරේ. වසර 1999 සිට 2009 දක්වා වූ කාල පරාසය තුළ ලොව ප්‍රථම වරට ශාක සහ පෘෂ්ඨ වංශීන් විශේෂ 1200 ක් හඳුනාගෙන ඇත්තේ ඇමසන් වනාන්තරයෙනි. එහෙත් පසුගිය අඩ සියවස තුළ සමස්ත ඇමසන් වනාන්තරයෙන් සියයට 17 (17%) ප්‍රතිශතයක් විනාශ වී ඇති අතර එමගින් මිහිතලයට අහිමි වුණු ශාක, සත්ත්ව සහ අනෙකුත් ජීවීන් විශේෂ සංඛ්‍යාව කොපමණ දැයි කිව නොහැකිය. ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන ‘ඇමසන්’ මිහිතලයේ උණුසුම ඉහළයාම පාලනය කෙරෙන වැදගත්ම කාබන් ගබඩාව ද වේ. මිහිතල උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව මෙන්ම ජලජ ජෛව විවිධත්වය පාලනය කරන ඇමසන් වනාන්තරය කාබන් තිර කිරීම සඳහා මෙට්‍රික් ටොන් බිලියන 90 ත් 140 ත් අතර ප්‍රමාණයක කාබන් සංචිතයක් දරාගෙන සිටී.

ඉපැරණි පිය සටහන්

පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට අදින් සියවස් ගණනාවකට පෙර මිලියන ගණනක ජනතාවක් ජීවත් වුවත් වර්තමාන ඇමසන් වනාන්තරයේපේරු රාජ්‍යයට අයත් ප්‍රදේශයේ විවිධ ගෝත්‍ර 40 කට අයත් 3,00,000 කට ආසන්න ජනගහනයක් වාසය කරන බව අනාවරණය කරගෙන ඇත. ඉන් ගෝත්‍ර 14ක් කෙටි කාලයක් නගරබද ජනයා සමග සම්බන්ධතා පවත්වා ඇතත් අද ඔවුන් සම්පූර්ණයෙන්ම හුදෙකලා ජීවිතයක් ගත කරන බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වී ඇත.

හීවරෝ නමැති ගෝත්‍රය කැරිබියානු දූපත්වලින් පැමිණි බවත් ඇරවාක් නමැති ගෝත්‍රය වෙනිසියුලාවෙනුත් අනිකුත් ගෝත්‍ර බ්‍රසීලයේ නැගෙනහිර දෙසින් හා පැරගුවේ දකුණු දෙසින් පැමිණි බවත් පුරාවිද්‍යාඥයන් පෙන්වාදෙයි. එහි පදිංචි වී සිටින මෙම ගෝත්‍ර ඔවුන්ටම වෙන්කරගත් නිශ්චිත ප්‍රදේශයක් තුළ දඩයම් කළ බවට සාක්ෂි ඇත. පසට ගැළපෙන භෝග එනම් මඤ්ඤොක්කා, මාළුමිරිස් වර්ග, කෙසෙල් හා බඩඉරිඟු වැනි දෑ ඔවුන් වගා කර ඇත.

පැරණි සම්ප්‍රදාය අනුගමනය කරමින් ජීවත් වන බොහෝ ගෝත්‍රිකයන් අදටත් එහි දැකගත හැකිය. වාර්ෂිකව සිදු වන ජලගැලීම් හා වනසතුන්ගෙන් එල්ල වන උවදුරු මඟ හරවාගැනීමට උස් කණු මත නිවෙස් තැනීම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. ලී කඳන්වලින් නිවෙස් තනන ඔවුන් එම නිවාස ජලය නොරැඳෙන ශාක පත්‍ර වර්ගයකින් හා පොල් අතුවලින් ආවරණය කිරීම සාමාන්‍ය සාම්ප්‍රදායකි.

මේ වනවිට ඇමසන් වනාන්තරයේ වෙසෙන ගෝත්‍රික ජනයාටත් වන සතුන්ට මෙන්ම ශාක විශේෂවලටත් ඔවුන්ගේ නිජ භූමිය ඉතා වේගයෙන් අහිමි වෙමින් පවති. අධිවේගී මාර්ග ඉදි කිරීම් හා කොකෝවා වැනි භෝග වගාවන්ද ඊට හේතු වී තිබේ. එසේම අනවසර ගස් කැපීම් හේතුවෙන් සෑම දිනකම පාපන්දු ක්‍රීඩාංගණ 1,200 කට හා සමාන භූමි ප්‍රදේශයක් ඇමසන් වනාන්තරයට අහිමිවෙයි. එපමණක් නොව ඇමසන් ගංගාව පෝෂණය කරන ඇළදොළ දූෂණය වී ඇත්තේ නීත්‍යානුකූලව සිදු කරන පතල් කැණීම් හා නීති විරෝධී ලෙස සිදු කෙරෙන කොකේන් ජාවාරමෙනි.

මහා ගින්න

මේ වනවිට දුර්ලභ වන ජීවීන් හා ශාක විශේෂ රාශියකගේ සහ ගෝත්‍රික ජන කොටස් රැසකගේ උන්හිටි තැන් අහිමි කරමින් ඇමසන් වනාන්තරය මහා ගින්නකට ගොදුරු වී ඇත. අභ්‍යවකාශ සමීක්‍ෂණ පිළිබඳ ජාතික විද්‍යායතනය චන්ද්‍රිකා ඡායාරූප මගින් ලබාගත් තොරතුරු අනුව මේ වසරේ ඇමසන් වනගිනි ප්‍රමාණය 84% කින් වැඩි වී ඇත. දැව ජාවාරම්කරුවන් සහ වැවිලිකරුවන් විසින් ගහකොළ කපා දමමින් ඇමසන් වැසි වනාන්තරය විනාශ කරනු ලබන අතර බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝ බලයට පත්වූදා පටන් ඔවුන් දිරිමත් කරන බැවින් වනාන්තර විනාශය වේගවත් වී ඇති බවට පරිසරවේදීහු චෝදනා කරති.

වසර 2018 වාර්තා වූ ඇමසන් වනගිනි සංඛ්‍යාව හතළිස් දහසකට ආසන්න ප්‍රමාණයකි. පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජුනි මාසයේ ඇමසන් වන විනාශය 88% කින් වැඩි වී ඇති බව බ්‍රසීලයේ අභ්‍යවකාශ සමීක්‍ෂණ ජාතික අධ්‍යයනායතයේ අධ්‍යක්ෂවරයා විසින් නිවේදනය කරනු ලැබීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාරය දක්වමින් ජනාධිපතිවරයා එම චෝදනා තරයේම ප්‍රතික්ෂේප කර තිබිණි.

එවැනි ගිනි හේතුවෙන් නැගෙනහිර බ්‍රසීලයේ රොරේමා (Roraima) ප්‍රාන්තයෙන් වැඩි කොටසක් ඝන දුම් වළාවකින් වැසී තිබුණ අන්දම චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්නුම් කරයි. සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන ආකාරයට මේ වසරේ ඇමසන් වනයෙන් හැත්තෑ හතර දහසකට අධික ගිනි ගැනීම් වාර්තාවී ඇත. ඇමසන් වන විනාශය පිළිබඳ වාර්තා පළ වීමත් සමඟ ඊට අදාළ ඡායාරූප සහ වාර්තා මෙන්ම ඒවා පිළිබඳ ප්‍රතිචාර සමාජ මාධ්‍ය ඔස්සේ ඇමසන් ගින්නට වඩා වේගයෙන් පැතිර යන්නට විය.

බ්‍රසීලියානු වියළි දේශගුණය ලැව්ගිනි හට ගැනීමට තරම් පරිසරයක් නිර්මාණය කළත් පසුගියදා වාර්තා වූ ඇමසන් වනගිනි සිතාමතාම එනම් මිනිසා විසින්ම ඇතිකරන (Man made fire) ලද ඒවා බව පැවසේ. එබැවින් ඇතැම් ඒවා නීතියට පටහැණිව වනාන්තරය දවා අළු කර දැමීමට සිතාමතාම තැබූ ගිනි වූ අතර තවත් ගිනි යෝධ ගවගාල් සඳහා භූමිය සකසා ගැනීමට ජාවාරම්කරුවන් විසින්ම තබන ලද ගිනි වෙයි.

මීට පෙර බලයේ සිටි බ්‍රසීල රාජ්‍ය පාලකයන් ෆෙඩරල් ආයතන සමග කටයුතු කිරීම මෙන්ම දඩ ගැසීම් වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් පසුගිය දශකවල වනාන්තර විනාශය පාලනය කර ගැනීමට සමත්ව ඇති බැව් සොබාදහම පිළිබඳ ජගත් අරමුදලේ ප්‍රධානී රිකාඩෝ මෙලෝ පෙන්වාදෙයි. එහෙත් ජනාධිපති බොල්සොනාරෝ සහ ඔහුගේ ඇමැති මණ්ඩලය ඇමසන් වනාන්තරය වනසන්නන්ට එරහිව දඩ ගැසීම දෝෂ දර්ශනයට ලක් කරති. මේ හා සම්බන්ධව බ්‍රසීල ජනාධිපතිවරයා වැඩිදුර පවසා සිටියේ ඇමසන් වනාන්තරයේ පැතිරෙන ගින්න පිළිබඳව තම ආණ්ඩුව විවෘත සංවාදයකට සූදානම් බවය. එසේම මෙම ගින්න පාලනය කිරීම සඳහා තම රටට ප්‍රමාණවත් සම්පත් නොමැති බව බ්‍රසීල ජනාධිපතිවරයා පවසයි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රන් අදහස් දක්වමින් ඇමසන් වනාන්තරයට අත්වෙමින් ඇති ඉරණම විග්‍රහ කළේ “ජාත්‍යන්තර අර්බුදයක්” හැටියටය. මේ සති අන්තයේ ආරම්භ කෙරෙන G-7 රාජ්‍ය නායක සමුළු න්‍යාය පත්‍රයේ ප්‍රමුඛස්ථානය ‘ඇමසන් වන විනාශය’ට අත් විය යුතුයි යනුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා පැවසීය. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රන් පෙන්වා දෙන්නේ ඇමසන් වනාන්තරය ගිනි ගැනීම අපේ ගෙදර ගිනි ගන්නවා යනුවෙනි. මෙම අදහසට ප්‍රතිචාර දක්වමින් බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ දේශපාලන වාසි ලබා ගැනීමේ ප්‍රයත්නයට නිරත වෙන බවට ප්‍රංශ ජනාධිපතිවරයාට චෝදනා කළේය. අපි ඉන්නේ දේශගුණ විපර්යාස මුල්කර ගත් අර්බුදයක් මැද. ජෛව විවිධත්වයට සහ අපේ මහා ඔක්සිජන් ගබඩාවට හානි සිද්ධ වෙන්න ඉඩ දෙන්න බැහැ. යනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් නිවේදනයක් නිකුත් කර ඇත.

කෙසේ වෙතත් මිහිතලයේ පෙණහැල්ල ගිනිගෙහ ඇත, එහෙත් පෙණහැල්ලට ගිනි තැබූ බවට අනාවරණය වී ඇත. ගිනිගෙන දැවී විනාශයට පත් වූූ ජීවී විශේෂ සංඛ්‍යාව කොපමණදැයි ගණන් බැලිය නොහැකිය. හැකි වුණත් එය නැවත ස්ථාපිත කිරීමට හැකියාවක්ද නැත. වත්මන් බ්‍රසීල රජය ජාවාරම්කරුවන් සමග මිත්‍රත්වයක් ඇතිකර ගැනීමත් සමග ඇමසන් වනයට මෙම තත්ත්වය උදා වූ බව පැහැදිලිය. සමස්ත ඇමසන් වනාන්තරයෙන් සියයට 60 ක් බ්‍රසීලයට අයත් වුවත් ඇමසන් වනය සමස්ත මිහිතලයේම ප්‍රාණවත්ම කොටස බැවින් එය රැක ගැනීම මිහිතලයේ ක්‍රියාකාරී සියලුම රාජ්‍යයන්ට මෙන්ම ක්‍රියාකාරී සංවිධානවලටද අයත් කාර්යයකි. මෙම විනාශය හේතුවෙන් එහි වෙසෙන ගෝත්‍රික ජනතාවට මෙන්ම ඒ ආශ්‍රිත ප්‍රදේශවල හා ගම්මානවල වෙසෙන ජන කොටස්වලට සිදුවූයේ කුමක්ද? ඔවුන්ගේ අනාගත තත්ත්වය කුමක්ද? යන්න සොයා බැලීමට බ්‍රසීල රජය කටයුතු කළ යුතු සේම මේ හා සම්බන්ධව G 7 රාජ්‍ය නායක සමුළුව මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ක්‍රියා කළ යුතුය. සොයා බැලිය යුතුය. මෙයට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ධ සෙසු රටවල්ද සිය අදහස් දැක්වීමකින් හෝ ඇමසන් වනාන්තරයේ අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා සහයෝගය දැක්විය යුතුය.

මේ වනවිට ලෝක නායකයන්ගේ දැඩි අවදානය ඇමසන් වනාන්තරය හා බ්‍රසීල රජය කෙරෙහි යොමුවී ඇත. ප්‍රංශ සහ අයර්ලන්ත රාජ්‍ය නායකයන් පවසන්නේ ඇමසන් ගින්න මැඩ පැවැත්වීමට නිසි පියවරක් නොගතහොත් ඔවුන් සමග තිබෙන සම්බන්ධතා සීමා කරන බවකි. සැබවින්ම මෙය ලෝක විනාශය නොවූවත් ඒ හා සමාන වන විනාශයකි. එහි කිසිදු විවාදයක් නැත. මෙම ගිනිගැනීමෙන් හටගන්නා අතුරුඵල නොබෝ දිනකින්ම සමස්ත මිහිතලයටම ලැබෙනු ඇත. විශේෂයෙන් පෘථිවි උෂ්ණත්වයේ ඉහළ යාම බොහොවිට වේගවත් විය හැකිය. ඊට සමගාමීව පෘථිවි ධ්‍රැවාසන්න ප්‍රදේශවල හිමකඳු දියවී සාගර ජල මට්ටම ඉහළ යාමේ ප්‍රවනතාවද වර්ධනය විය හැකිය. මෙම තත්ත්වය ධ්‍රැවාසන්න ජීවීන්ටත්, සාගර සහ ගොඩබිම් ජීවීන්ටත් ප්‍රබල හානිකර තත්ත්ව උදාකිරීමට හේතුවක් වනු නොඅනුමානය.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නැතැති කියා බ්‍රසීල ජනාධිපතිවරයාට අතපිසදා ගත නොහැකිය. ඔහුට පෙර බ්‍රසීලය පාලනය කළ රාජ්‍ය නායකයන් ඇමසන් වනාන්තරය කෙරෙහි දැක් වූ ගෞරවය හා ඒ පිළිබඳව කළ පරිපාලනමය ක්‍රියාදාමය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ආනිවාර්යය. එසේම රටේ ජනතාවගේ කතා බහට ඇහුන්කන් දීමට තරම් බ්‍රසීල ජනාධිපතිවරයා නිහතමානී විය යුතුය. ඒ ඔහු බ්‍රසීලයේ අයිතිකරුවා නොව භාරකරුවා වන බැවිනි.

••අමල් උඩවත්ත

(Peanut Head Beetle)

ඇමසන් වනාන්තරයේ පේරු රාජ්‍යයට අයත් ප්‍රදේශයේ විවිධ ගෝත්‍ර 40 කට අයත් 3,00,000 කට ආසන්න ජනගහනයක් වාසය කරන බව අනාවරණය කරගෙන ඇත. ඉන් ගෝත්‍ර 14ක් කෙටි කාලයක් නගරබද ජනයා සමග සම්බන්ධතා පවත්වා ඇතත් අද ඔවුන් සම්පූර්ණයෙන්ම හුදෙකලා ජීවිතයක් ගත කරන බව පුරාවිද්‍යාඥයන්ගේමතය වී ඇත.

උභය ජීවීන් විශේෂ 4000 ක් පමණ මත්ස්‍ය විශේෂ 5,600 ක් ,සමනල් විශේෂ 3,000 ක්, කෘමි විශේෂ මිලියන 2.5ක් හා උඩවැඩියා විශේෂ 4,000 පමණ ඇමසන් වනාන්තරයෙන් හඳුනාගෙන ඇත. විදුලි ආඳන් සහ පිරානා මසුන් ඇතුළු මත්ස්‍ය විශේෂ 2,500 ක් එහි ගංගා ඇළදොළවල දක්නට ලැබේ.(aruna.lk)


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න