සහරාන් / හේමසිරි හා පොලිස්පති එම නඩුවේ විත්තිකරුවන් වෙයි

පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමට කුමන්ත‍්‍රණය කිරීම සහ මිනී මැරීම සම්බන්ධයෙන් ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් නමැත්තා සමඟ හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව එකම නඩුවේ විත්තිකරුවන් වශයෙන් චෝදනා ගොනු කරන බව නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද (06) ප්‍රකාශ කළා.

පොලිස්පතිවරයාගේ යට ඇඳුම් වලට හැර සෙසු සියළුම වියදම් දරන්නේ මේ රටේ ජනතාවගේ මුදලින් බවත් ඒ අනුව රටේ ජනතාව ආරක්‍ෂා කිරීමේ වගකීම ඔවුන් මත පැටවෙන බවත් පෙන්වා දුන් දිලීප පිරීස් මහතා අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහරාන්ගේ වැටුප් ලැයිස්තුවෙන් වැටුප් ලැබුවාද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකරන බවයි සදහන් කළේ.

මිනීමැරම් නඩු විභාගයක් පැවැත්වීමට මහෙස්ත‍්‍රාත්වරයාට බලයක් නොමැතිව තිබීයදී මෙම සිද්ධියට අදාළව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය නඩු විභාගයක් පවත්වා මෙම සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩුවක් ගෙන යෑමට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් සැකකරුවන්ට එරෙහි මිනීමැරුම් චෝදනා යටපත් කර සෙසු කරුණු වලට ඔවුන්ට ඇප නියම කර ඇතැයි පෙන්වා දුන් දිලීප පිරීස් මහතා මහෙස්ත‍්‍රාත්වරිය නීතීය අවභාවිතා කර ඇතැයි සදහන් කළා.

හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය දුන් නියෝගය නීතීවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ මෙන්ම අත්තනෝමතික බව සඳහන් කරමින්  මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගය ප‍්‍රතිශෝධනය කරවා ගැනීම සඳහා නීතීපතිවරයා විසින් මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම්පත ඉදිරිපත් කර තිඛෙනවා.

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන ඇයැදුම්පත පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළ අතර එම මූලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කළ කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ප‍්‍රතිශෝධන ඇයැදුම්පත විභාග කිරීමට තීරණය කළා.

ඒ අනුව මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම් පත සම්බන්ධයෙන් කැඳවනු ලැබු අවස්ථාවේදී මෙහි සැකකාර වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම් පත සම්බන්ධයෙන් නීතීපතිවරයා වෙනුවෙන් සිය දේශණ ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණය අමතමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් පිටු 35 කින් යුත් තීන්දුවක් ප‍්‍රකාශයට පත් කර ඇතැයිද තමන් මේ අවස්ථාවේදී අධිකරණය විවේචනය කිරීමක් නොකරන  බවත් විවේචනය කරන්නේ මහෙස්ත‍්‍රාත්වරියගේ තීන්දුව බවත් පැවසුවා.

එම තීන්දු ප‍්‍රකාශයේ සැකකරුවන්ගේ ප‍්‍රකාශ සටහන් කරගැනීමකින් තොරව ඔවුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව මහෙස්ත‍්‍රාත්වරිය ප‍්‍රශ්න කර ඇතත් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඉතා අසාධ්‍ය තත්වයේ රෝහල් ගතවු මෙම සැකකරුවන් ඇප දීමෙන් අනතුරුව නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි විට ඔවුන්ට තිබු රෝගී තත්වය කුමක්ද? ගත්ත ප‍්‍රතිකාරය කුමක්ද? යන්න විමසීමට මහෙස්ත‍්‍රාත්වරියට හැකියාව තිබුණත් ඇය එසේ කළේ නැතැයි පැවසු දිලීප පිරීස් මහතා මෙම සැකකරුවන් ප‍්‍රහාරය එල්ල කිරීමට සෘජු හවුල් වීමක් නොමැති හෙයින් අපරාධ සිද්ධිය සිද්ධිය පිළිබඳ විමර්ශනය කොට සැකකරවන්ගේ ප‍්‍රකාශ සටහන් කොට ඔවුන් එයට සම්බන්ධ බව හෙළි වන්නේ නම් පමණක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබු බව මහෙස්ත‍්‍රාත්වරිය සඳහන් කරන නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතීපතිවරයා දුන් උපදෙස් පිළිබඳව ඇය තැකීමක් කොට නැතැයිද සදහන් කළා.

අපරාධයක් සම්බන්ධ විමර්ශනයකදී සැකකරු රජයේ සේවකයකුද, පෞද්ගලික අංශයේ අයෙකුද, යන්න විමසීමක් කරන්නේ නැතැයිද මහෙස්ත‍්‍රාත්වරියගේ තීන්දුව සැළකිල්ලට ගැනීමේදී රජයේ සේවකයින් වැරදි කරන්නේම නැද්ද? යන පැනය මතු වන බවත් ඒ තත්වය මත අල්ලස් කොමිසමට රාජකාරියක් කිරීමට අවශ්‍යතාවයක් ඇති වන්නනේ නැතැයිද පැවසු දිලීප පිරීස් මහතා මහෙස්ත‍්‍රාත්වරියගේ තීන්දුවේ බොහෝ තැන්වල ඇත්තේ ඇගේ උපකල්පන බවයි කියා සිටියේ.

ජාතික තවුහිද් ජමාද් සංවිධානය සහ එහි නායක සහරාන් හෂිම් නමැත්තා සම්බන්ධයෙන් 2016 වර්ෂයේ සිට පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා දක්වා බුද්ධි වාර්තා 341 ක් ඉදිරිපත් කොට ඇති බවත් ඉන් බුද්ධි වාර්තා 131 ක් පොලිස්පතිවරයාගේ ඇස්වල අවධානයට යොමු කොට ඇති බවත් තවත් බුද්ධි වාර්තා 97 ක් ආරක්‍ෂ ලේකම්වරයාගේ  ඇස්වල අවධානයට යොමු කොට ඇති බවත් පෙන්වා දුන් දිලීප පිරීස් මහතා මේ එකඳු බුද්ධි වාර්තාවක්වත් පොලිස්පතිවරයා හෝ ආරක්‍ෂක ලේකම්වරයා සිය අවධානයට යොමු කොට නොමැති බව මෙම ප‍්‍රහාරයෙන්ම පැහැදිලි වන්නේ යැයි කියා සිටියා.

ප‍්‍රහාරයක් එල්ල වීම පිළිබඳව වාර්තා ඉදිරිපත් වී තිබියදීත් පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ, කොළඹ හා කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාටම නිවාඩු අනුමත කොට ඇතැයිද පෙන්වා දුන් දිලීප පිරීස් මහතා මෙවැනි කරුණු තිබියදී අත්අඩංගුවට ගනු ලැබු මෙම සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ගත් තීන්දුව දෝෂ සහිත වැරදි මෙන්ම අත්තනෝමතික තීන්දුවක් වන හෙයින් එම තීන්දුව ඉවත දමා මෙම සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලීමක් සිදුකළා.

හිටපු ආරක්‍ෂ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා සිය දේශණ ඉදිරිපත් කරමින් පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සහරාන් හෂිම් නමැත්තා සමඟ හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව එකම නඩුවේ විත්තිකරුවන් වශ්‍යයෙන් චෝදනා ගොනු කරන බව නීතීපතිවරයා වෙනුවෙන් පවසු බව සඳහන් කළා.

එසේ වුවත් ජාතික තවුහිද් ජමාද් සංවිධාන විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කිරීම පිළිදව පොලිස් අධිකාරී වරුණ අබේසේකර මහතා මුලින්ම 2017 ජුනි මස 07 වැනිදා නීතීපතිවරයාට දැනුම් දෙමින් ඒ සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවත් 2018 මැයි මස 31 වැනිදා ඒ පිළිබඳ යළි සිහි කැඳවීමක් කොට ඇතැත් මේ දක්වා ඒ පිළිබඳ උපදෙස් දී නැතැයිද මේ පිළිබඳව රහස් පොලිසිය දැනුවත්ව සිටියත් සැකකරුවන් අල්ලා ගැනීමට කටයුතු කොට නැතැයිද කියා සිටියා.

ආරක්‍ෂක ලේකම් කියන්නේත් ඔහුට ඇත්තේත් වෙනත් අමාත්‍යංශයක ලේකම්වරයකුට ඇති බලතල පමණකැයිද ඇමතිවරයාගේ පාලනයට හා විධානයට අනුව කටයුතු මෙහෙයවීම පමණක් ඔහුට බලය ඇතැයිද ආරක්‍ෂක ඇමතිධුරය දරන්නේ ජනාධිපතිවරයා යැයිද පෙන්වා දුන් ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ජාතික ආරක්‍ෂාව පිළිබඳව හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට පමණක් වගකීමට හැකියාවක් නැතැයිද සදහන් කළා.

රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ආරක්‍ෂක මණඩලයක් පත් කොට ඇති බවත් 2019 ආරක්‍ෂ මණ්ඩලය රැස්වී ඇත්තේ අවස්ථා හතරකදී පමණක් බවත් පෙන්වා දුන් අනුජ පේ‍්‍රමරත්න මහතා මෙම ප‍්‍රහාරය පිළිබඳ තොරතුරු ලබාදුන් ඉන්දියාව සඳහන් කොට ඇත්තේ මෙම ප‍්‍රහාරය පිළිබඳ තොරතුරු විමර්ශනය කොට ඔවුන්ටද ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස යැයිද අනාවරණ කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න