ජාතික රූපවාහිනිය ජනපති යටතට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද (9) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිඛෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය භාරව කටයුතු කරන අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගන්නා බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අද (9) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය හා එහි පරිපාලනය සම්බන්ධයෙන් ඉකුත් කාලය පුරා ගැටලු සහගත තත්ත්වයක් පැවතුණු අතර මංගල සමරවීර මහතා ජනමාධ්‍ය ධුරය හෙබවූ සමයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට ඉනෝකා සත්‍යාංගනී මහත්මිය පත් කර තිබුණා.

පසුව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුරයට පත් රුවන් විජයවර්ධන මහතා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඉකුත් ජුලි මාසයේදී සංජීව විජේගුණවර්ධන මහතා පත් කළ නමුත් සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ඊට අවස්ථාව ලබා නොදී තනතුරේ දිගටම රැදී සිටීම හේතුවෙන් අර්බුධයක් මතුවුණා.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් නැවතත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට රූපවාහිනියේ හිටපු නිෂ්පාදකවරයකු වූ කැළුම් පාලිත මහීරත්න මහතා පත්කළ ද ඔහුට ද රාජකාරි කර ගැනීමට සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ඉඩ ලබා නොදීම යළිත් ගැටළුවක් බවට පත්වුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න