• Sun. Nov 27th, 2022

සිංහරාජ අඩවියේ අනාගතය වන සංරක්ෂණයෙන්ම කෙළෙසයි ද?

ByLankaAnews

Sep 17, 2022

නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත ක්‍රියාත්මක කළ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (Ecosystem Conservation and Management Project – ESCAMP) මගින් අද වන විට මේ තත්ත්වය රට තුළ ස්ථාපිත කිරීමට දැවැන්ත උත්සාහයක නිරත වේ. එම ව්‍යාපෘතියට අනුව රක්ෂිත වනාන්තර යනු තවදුරටත් ජෛව විවිධත්ව සංරක්ෂණ හෝ ජල සුරක්ෂිතතාව සඳහා හෝ දේශගුණික විපර්යාස ඇතුළු ස්වාභාවික විපත් පාලනය කරන පරිසර තුළිතතාව පවත්වාගෙන යාමට වැදගත් වන, සියලු ජීවීන්ට රැකවරණය සලසන ස්වාභාවික සම්පත් නොව ආර්ථික භාණ්ඩයක් බවට පත් කළ හැකි වෙළෙද භාණ්ඩයක් බවට සිතන සමාජයක් ගොඩනගමින් තිබේ.

මෙය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් විසින් ඉතා හොඳින් වැළදගෙන ඇත. සමහර රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම හා ප්‍රකාශයට පත් කළ රක්ෂිත වනාන්තර වටා පිහිටි රක්ෂිත නොවන වනාන්තර එම රක්ෂිතවලට ඈදීම සිදු කරන්නේ ද මෙය ඉලක්ක කර ගෙන ය. ඒ අනුව ඔවුන් උත්සාහ දරන්නේ වන රක්ෂිත හා සංරක්ෂිත වනාන්තර සියල්ල විනෝදාස්වාදය සඳහා පමණක් වෙන් වූ සංචාරක කර්මාන්තයේ ගොදුරක් බවට පත් කිරීමට ය. ඒ සඳහා රක්ෂිත වනාන්තර තුළ මාර්ග හා ගොඩනැගිලි ඉදි කරමින්, විනෝදාස්වාදය පමණක් පදනම් කර ගත් සංචාරක කර්මාන්තයට ගොදුරු කරමින් තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් බොහෝ කැමැත්තක් දක්වන්නේ රක්ෂිත වනාන්තර තුළ මාර්ග ඉදි කිරීමට හා ගොඩනැගිලි ඉදි කිරීමට ය. ඔවුන් වන අපරාධ මැඩ පැවැත්වීමට ක්‍රියාමාර්ග ගැනීම හෝ රක්ෂිත වනාන්තරයේ පැවැත්ම සුරක්ෂිත කිරීමට නීති ක්‍රියාත්මක කිරීම හෝ රක්ෂිත වනාන්තර අවට ජීවත් වන ජනතාව ගේ ආකල්පමය වර්ධනයක් ඇති කර රක්ෂිත වනාන්තර ආරක්ෂා කර ගැනීම හා ජන ජීවිතය සුරක්ෂිත කර ගැනීමට මඟ පෙන්වීම වෙනුවට සිදු කරන්නේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තු සිදු කිරීමට ය.

මේ තත්ත්වයට අද වන විට සිංහරාජ වන රක්ෂිතය හා ජාතික උරුම වන භූමිය ලක් වෙමින් තිබේ. ලෝක බැංකු ණය ව්‍යාපෘතික් ලෙස ක්‍රියාත්මක වූ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ (ESCAMP) පළමු අදියරේ දී සිංහරාජයේ කුඩව වනාන්තර පිවිසුම ආශ්‍රිත වන මං සංවර්ධනය කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අභිමත බලය භාවිත කරමිනි. පරිසරය පිළිබඳ අවබෝධයක් සහිත බොහෝ දෙනෙක් මේ සඳහා විරෝධතාවය පළ කරද්දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු ගේ වුවමනා ව මත සිංහරාජ වනාන්තරය තුළ අඩි 10 ක් පමණ පළල හා කිලෝමීටර 2 ක් පමණ දිග මාර්ගය කොන්ක්‍රීට් ගල් අතුරා සකස් කිරීම, ජල මාර්ග කොන්ක්‍රීට් අතුරා සකස් කිරීම ඇතුළු ඉදිකිරීම් ගණනාවක් වනාන්තරය තුළ සිදු කෙරින. ඒ සමඟ ම ඒ ආශ්‍රිත ජීවීන් විශාල ප්‍රමාණයක් හා එම සතුන් ගේ ක්ෂුද්‍ර වාසස්ථාන සියල්ල ම එම ජීවීන්ට අහිමි විය. වනාන්තරය තුළ ජලය බැස යන මාර්ග කොන්ක්‍රීට් අතුරා සකස් කිරීම නිසා පස් කණ්ඩි තුළ ගුල් හාරා ගෙන ජීවත් වන මිරිදිය කකුළුවන් ගේ වාසස්ථාන, උභයජීවීන් බෝවන ස්ථාන එම සතුන්ට අහිමි විය. සිංහරාජය තුළ පෙර පැවති වන මං ආශ්‍රිත ව හමු වූ පිණුම් කටුස්සන්, පළා පොළගුන් වැනි සතුන් අද වන විට දැක ගන්නට නොලැබෙන තත්ත්වයට පත් කිරීමට මෙම අවිධිමත් සංවර්ධන කටයුතු හේතු වී තිබේ.

කොන්ක්‍රීට් ගල් අතුරා සිංහරාජ වනාන්තරය තුළ සකස් කළ වන මං අද වන විට සංචාරකයන්ට භාවිතයට ගත නොහැකි ලිස්සන සුළු මාර්ග බවට පත් වී ඇත. එපමණක් නොව වනාන්තරය තුළ පිහිටි එම මාර්ගවල වාහන ගමනාගමනයට ද අවස්ථාව ලබා දෙමින් තිබේ. සමහර ස්ථානවල පස් කඳු නායේ යාමට ලක් වන තත්ත්වයට ද පත් වී ඇත. එම තත්ත්වය පාලනය කිරීමට රුපියල් මිලියන ගණනක් වැය කර ගල් වැටි ඉදි කිරීමට ද සිදු වී ඇත.

මේ සියලු පූර්වාදර්ශ පවතිද්දී පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ මීලඟ අදියර යටතේ අද වන විට සිංහරාජයේ කුඩව වන පිවිසුමේ දෙවන ඇතුළුවීමේ සිට පර්යේෂණ මධ්‍යස්ථානය දක්වා පිහිටි වනාන්තර මාර්ගය අඩි 8ක් පළලට කොන්ක්‍රීට් ගල් අතුරා සකස් කළ මාර්ගයක් බවට පත් කිරීමට හා පර්යේෂණ මධ්‍යස්ථානයේ අලුතින් ගොඩනැගිලි ගණනාවක් ඉදි කිරීමට සැලැසුම් කර තිබේ. එම ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කිරීමට ද සූදානම් වේ.

වනාන්තරය තුළට දිගින් දිගට ම ඉදිකිරීම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් සිංහරාජ අඩවියේ සංරක්ෂණය වෙනුවට විනාශයට මාර්ග සැකසීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ. බි්‍රතාන්‍ය පාලන යුගයේ දී කෝපි හා තේ වගාවෙන් අහිමි වූ සිංහරාජ අඩවියේ වන විනාශය හැත්තෑව දශකයේ දී කොස්ගම තුනී ලෑලි සමාගමට දැවමය ශාක කැපීමෙන් සිංහරාජ අඩවියේ වන විනාශය වර්ධනය විය. ඉන් පසු ව වරින්වර පහතරට තේ වගාව හා ජනාවාස ව්‍යාප්ත කිරීමට සිංහරාජ අඩවියේ වනාන්තර එළිපෙහෙළි කෙරින. ඒ මගින් සිංහරාජ අඩවියට සිදු වූ හානිය සුලු පටු නැත. අද වන විට ඒ තත්ත්වය තවත් ආකාරයකින් වර්ධනය කිරීමට සිංහරාජ අඩවියේ භාරකාරත්වය දරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ම කටයුතු කිරීම කණගාටුවට කරුණකි.

අඩි 8ක් පළල කොන්ක්‍රීට් ගල් ඇතිරූ මාර්ගයක් බවට සිංහරාජය තුළ පිහිටි වන මං තවදුරටත් පරිවර්තනය කිරීමෙන් වනාන්තරය තුළ මීවන ශාක සහිත කලාප හා ආවේණික ශාක සහිත කලාප බොහොමයක් සිංහරාජ අඩවියට අහිමි වනු ඇත. එම ප්‍රදේශය බොහෝ ජීවීන් ගේ ක්ෂුද්‍ර වාසස්ථාන හා ගොදුරු බිම් ප්‍රදේශ වේ. ඒවා සියල්ල මෙම ව්‍යාපෘතියත් සමඟ ම අහිමි වනු ඇත. මේ පිළිබඳ ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිංහරාජ අඩවියේ සේවය කරන නිලධාරීන්ට අවබෝධයක් නොමැති වීම හා මුදල් ඉදිරියේ සිංහරාජයේ රැකවරණය පිළිබඳ ව අමතක කිරීම පිළිබඳ ව අප කණගාටු වෙමු.

සිංහරාජ වනාන්තරයේ මාර්ග ඉදි කර විවෘත වූ බොහෝ ප්‍රදේශවල කටකළු බෝවිටියා හා කහ දියපර වැනි ආක්‍රමණික ශාක ව්‍යාප්තිය දරුණු ලෙස සිදු වීම නිසා භෞමික උඩවැඩියා, මීවන ශාක, අක්මා ශාක, පාසි ශාක හා යටි ස්ථරයේ ශාක බොහොමයක් විනාශ වී ගොස් තිබේ. ඒ හේතුවෙන් ඒ මත යැපෙන සත්ත්ව විශේෂවලට ද එම තත්ත්වය දරුණු ලෙස බලපා ඇත. මෙවන් කරුණු පිළිබඳ ව අවබෝධයකින් තොර ව වනාන්තර තුළ, වන ආවරණය විවෘත කරමින් ඉදි කිරීම් සිදු කිරීමට කටයුතු කිරීමෙන් පෙනී යන්නේ මෙවැනි කරුණු පිළිබඳ ව කිසිදු අවබෝධයකින් තොර ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කරන බව ය.

මෙවන් අතලොස්සක් වූ හානි කර නිලධාරීන්ගෙන් රක්ෂිත වනාන්තර ආරක්ෂා කර ගත හැකි වේද යන්න ගැටළුවකි. හානි කර ව්‍යාපෘති කඩිනමින් වැළඳ ගන්නා එවන් නිලධාරීන් වන සංරක්ෂණය වෙනුවට භෞතික සංවර්ධනයන් කඩිනමින් ක්‍රියාත්මක කරති. මේ තත්ත්වය අපට පළමු ව අත් විදින්නට ලැබුණේ නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ ය. මෙම රක්ෂිතයේ ඉතා ම වැරදි ස්ථානයක පිටවල පතනේ සංචාරක මධ්‍යස්ථානයක් ඉදි කිරීම නිසා බොහෝ ආවේණික ජීවීන් රටට අහිමි වෙමින් තිබේ. පිටවල පතන ආශ්‍රිත ව ජීවත් වන නකල්ස් කඳුකරයට ආවේණික දුම්බර ගල්පර මැඩියා හා දුම්බර පතන් අල ශාකය සංචාරකයන් මෙම ප්‍රදේශයේ අධික ව ගැවසීම නිසා විනාශයට ලක් වෙමින් තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කළ මෙම ඉදි කිරීම් හේතුවෙන් සිදු විය හැකි තත්ත්වය පිළිබඳ ව පෙන්වා දුන්න ද බලහත්කාරයෙන් මෙම ඉදිකිරීම් කිරීමේ ප්‍රතිඵල අද වන විට අද්දකින්නට තිබේ. මෙවන් පූර්වාදර්ශ මත ඉගෙනුම් ක්‍රියාවලියක් නොමැති වීම තුළ සිදු වන අනර්තය ඉතා ම විශාල ය.

මේ සියල්ල අවබෝධ කර ගත් සමාජයක් ගොඩ නැගීමට පහසු නැත. නමුත් අවබෝධයක් සහිත ජනතාව හෝ මෙම සම්පත් ආරක්ෂා කර ගැනීමට යොමු විය යුතු ය. එසේ නොමැතිවුවහොත් සිදු වන්නේ මුදලට කෑදර නිලධාරීන් ඉදිරියේ ඔවුන් ගේ භාරයේ පවතින සම්පත් ඔවුන් විසින් ම විනාශ කර දැමීම ය. මුදල් පසුපස හඹා යන ඉදි කිරීම් කොන්ත්‍රාත්තු සිදු කිරීමට වැඩි උනන්දුවක් දක්වන නිලධාරීන් විසින් සිංහරාජ අඩවියේ වනාන්තර සුරක්ෂිත කර ගැනීමට වැඩි උනන්දුවක් දක්වන්නේ ද නැත.

රක්ෂිත වනාන්තර තුළට සංචාරක පහසුකම් ගෙන ඒම වෙනුවට සිදු කළ යුතු වන්නේ රක්ෂිතයෙන් පරිභාහිර ව එහි මායිමේ සංචාරක පහසුකම් ඇති කිරීම ය. සංචාරක පහසුකම් වැඩි කළ යුතු වන්නේ රක්ෂිතයෙන් පරිභාහිර කලාපයේ ය. ඒ තුළින් රක්ෂිතයට සිදු වන අහිතකර බලපෑම් පාලනය කර ගත හැකි ය. රක්ෂිත වනාන්තර යනු වෙළෙද භාණ්ඩයක් නොවන බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවබෝධ කර දිය යුතු ය.

සංචාරකයන්ට විවෘත කළ යුතු වන්නේ ඉතා ම සංවේදී පරිසර පද්ධති වලින් තොර කලාපය ය. එපමණක් නොව භෞතික ඉදි කිරීම්වල වටිනාකම මත ස්වාභාවික වනාන්තර තුළ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමට උත්සාහ නොදැරිය යුතු ය. එසේ කළ හොත් සිදු වන්නේ රක්ෂිත වනාන්තරය කෙටි කාලීන ව විනාශයට ලක් වීම ය. මෙය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත්තු සිදු කිරීමට වැඩි උනන්දුවක් දක්වන වන සංරක්ෂණය පිළිබඳ ව උනන්දුවක් හා අවබෝධයක් නොමැති නිලධාරීන්ට තේරුම් කර දිය යුතු ය. එසේ නොමැතිවුවහොත් එම නිලධාරීන් කිහිපදෙනා නිසා සමස්ත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එහි පාලනයේ පවතින වනාන්තර සියල්ල විනාශයට ලක් වනු නොඅනුමාන ය.

මේ නිසා සිංහරාජ අඩවියේ රැකවරණය තහවුරු කිරීමට නම් කඩිනමින් කළ යුතු වන්නේ 2004 ජූලි 22 වන දින අංක PS/CS/26/2004 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව සිංහරාජ ජාතික උරුම වන භූමියට යාව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප්‍රමාණය ඇතුළත පිහිටි සියළු ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (ඒ) වගන්ති ප්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම කඩිනම් කිරීම ය. වසර 18 ක් ගත වී ඇති නමුත් මෙම කැබිනට් පත්‍රිකාව අනුව සිංහරාජ වන රක්ෂිතයට පැවරීමට නියමිත හෙක්ටයාර 2508.4 ක සුවිශේෂී වනාන්තර ඉඩම් ප්‍රමාණය තව ම රක්ෂිත වනාන්තරයට ක්‍රමාණුකූලව අත්පත් කර නොගැනීම නිසා අනාරක්ෂිත ව පවතී.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන මෙම වනාන්තර ඉඩම් මාතර, රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්ක තුනෙහි පිහිටා තිබෙන අතර ඒවා විවිධ වතු සමාගම් සඳහා මේ වන විට බදු දී තිබේ. මාතර දිස්ත්‍රීක්කයේ එන්සල් වත්ත, කුරුගල වත්ත, බෙවර්ලි වත්ත, හේමගිරි වත්ත. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් මුරකැලේ වත්ත, ෆැබ් වත්ත, ඉලුබකන්ද වත්ත, මෝර්නින් සයිඩ් වත්ත, කැන්ටර් වත්ත, හේස් වත්ත, ගොන්හෙළ වත්ත, ඇබේරෝස් වත්ත, බැක්වෙයා වත්ත, කෝදුරාගල වත්ත, දඹහේන වත්ත සහ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් හෝමදොළ වත්ත ලෙස හඳුන්වන මෙම වනාන්තර බිම් සිංහරාජයට පැවරීම සඳහා යෝජනා වී තිබේ. මෙම යෝජනාව ක්‍රියාත්මක නොවනතාක් කල් මෙම වනාන්තර බිම් තේ වගාව හා එනසාල් වගාව සඳහා පමණක් නොව හෝටල් ඉදි කිරීම හා සූර්ය බලශක්ති බලාගාර ඉදි කිරීම වැනි විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා මතුරට වැවිලි සමාගම හා එල්. ඕ. එල්. සී. සමාගම වැනි සමාගම් විසින් වරින් වර එළි පෙහෙළි කරනු ලැබේ.

මෙම වනාන්තරවලින් කොටසක් මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ප්‍රාදේශීය ලේකම්වරු කිහිපදෙනෙකු ගේ දැඩි කැපවීම මත පවරා දී ඇත. නමුත් අනෙක් වනාන්තර කඩිනමින් පවරා ගැනීමට හා ඉන් පසුව ගැසට් නිවේදනයක් මගින් එම සමස්ත වනාන්තර සිංහරාජ වන රක්ෂිතයට සම්බන්ධ කිරීමට සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සිංහරාජය තුළ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට ගන්නා කඩිනම් උත්සාහයන් මෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැත. වතු සමාගම් මගින් මෙම සුවිශේෂී වනාන්තර සියල්ල විවිධ භාවිතාවන්ට ලබා ගෙන අවසන්වන තුරු සමාගම්වල ග්‍රහණයේ සිටින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බලා සිටින බව මේ වන විට තහවුරු වී ඇත. මෙය වැළැක්වීමට පරිසරය ගැන සිතන සියලූ ම දෙනා ගේ මැදිහත්වීම අද වන විට අත්‍යවශ්‍ය ව තිබේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *