කාන්තාවන් ඇඳුම් ඇඳිය යුත්තේ කෙසේදැයි ඉරාන සදාචාර පොලිසිය කියන්නේ ඇයි ?

ByLankaAnews

Sep 27, 2022

22 හැවිරිදි මහ්සා අමිනී ඊනියා සදාචාර පොලිසිය විසින් රඳවා තබා ගෙන සිටියදී ඇතිවූ සිදුවීම්වලින් පසුව මිය යාම හේතුවෙන් ඉරානය පුරා දැඩි විරෝධතා ඇති වී තිබේ. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ඉරානයේ ක්‍රියාත්මක දැඩි නීති සහ ඒවා ක්‍රියාත්මක කරන අයට විරෝධය පෑමක් ලෙස ඉරාන කාන්තාවෝ සිය හිස් ආවරණ ගිනි තැබීම ආරම්භ කර තිබේ.

ඝාෂ්තේ ඉර්ෂාඩ් හෙවත් මාර්ගෝපදේශ මුර සංචාර යනු, ඉරානය තුළ ඉස්ලාමීය සදාචාරය අනුගමනය කෙරෙන බව සහතික කිරීමට සහ ඉස්ලාමීය සංස්කෘතියට පටහැනි ලෙස ඇඳ පැළඳ සිටින පුද්ගලයින් රඳවා තබා ගැනීම සඳහා වන විශේෂ පොලිස් ඒකකය වේ.

ඉරාන නීතිය පදනම් ව ඇත්තේ එරට ෂරියා අර්ථ නිරූපණය මත පදනම්ව ය. එනිසා කාන්තාවන් හිසකෙස් හිජාබයකින් ආවරණය කිරීම සහ ඔවුන්ගේ ශරීර හැඩය සැඟවෙන සේ දිගු ලිහිල් ඇඳුම් ඇඳීම අපේක්ෂා කෙරේ.

පසුගිය සැප්තැම්බර් 13 වන දින, ටෙහෙරානයේ සදාචාර පොලිසිය විසින් මහ්සා අත්අඩංගුවට ගන්නේ ඇගේ හිස් ආවරණය යටින් හිසකෙස් කිහිපයක් පෙනෙන්නට තිබුණු බව පවසමිනි. රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන යාමෙන් පසුව ඇය ඇද වැටී ඇති අතර, ඉතාම කෙටි වේලාවකදී කෝමා තත්වයට පත් වූවා ය. ඉන් දින තුනකට පසුව ඇය මියයන්නේ රෝහලකදී ය. රැඳවුම් මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇගේ හිසට බැටන් පොල්ලකින් පහර දී, අනතුරුව ඔවුන්ගේ වාහනයක ඇගේ හිස වැද්දවූ බවට පළ වූ වාර්තා බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එක් දුලබ සම්මුඛ සාකච්ඡාවකදී, සදාචාර පොලිස් නිලධාරියෙකු විසින් තමන් එහි සේවය කිරීමේදී ලද අත්දැකීම් බී.බී.සී සමඟ නිර්නාමිකව බෙදාගත්තේ ය.

“ඔවුන් පවසන්නේ සදාචාර පොලිසිය ක්‍රියා කරන්නේ කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා බවයි. ” ඔහු පැවසුවේ ය. “මොකද ඔවුන් නිසි ලෙස ඇඳ පැළඳ නොසිටින්නේ නම්, පිරිමින්ගෙන් ඔවුන්ට හානි විය හැකියි.”

ඔහුට අනුව, ඔවුන් පිරිමින් හතර දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුගෙන් සමන්විත හය දෙනෙකුගේ කණ්ඩායමක් ලෙසට කටයුතු කර තිබේ. අධික වාහන තදබද ඇති ප්‍රදේශ සහ ජනතාව රැස්වන ප්‍රදේශ කෙරෙහි ඔවුන්ගේ වැඩි අවධානය යොමු වී තිබේ.

“එය ඉතාම අමුතු දෙයක්. අපි යන්නේ මිනිසුන්ට මඟ පෙන්වීමට නම්, ඒ සඳහා අපට කාර්යබහුල ස්ථානයක්ම තෝරා ගැනීමට අවශ්‍ය වන්නේ ඇයි? එයින් අදහස් කරන්නේ අපට තව තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගත හැකි බවද?”

“එය හරියට අපි දඩයමකට යනවා වගේ…”

ඇඳුම් පැළඳුම් පිළිබඳ සංග්‍රහය කඩ කිරීමේ චෝදනාව යටතේ ‘ප්‍රමාණවත් තරම්’ පුද්ගලයින් අත් අඩංගුවට නො ගත් අවස්ථාවලදී, තමන් හරිහැටි රාජකාරිය ඉටු නො කරන බවට තම අණ දෙන නිලධාරියා තමාට චෝදනා කළ බවත් ඔහු කියා සිටියේ ය. අත්අඩංගුවට ගැනීම් පිළිබඳව මිනිසුන් විරුද්ධ වන විට, ඔහුට එය විශේෂයෙන් දුෂ්කර වූ බවත් නිලධාරියා පැවසුවේ ය.

“ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ව බලෙන් වෑන් රියට ඇද දැමීම. එය සිදු කිරීමේදී මම කෙතරම් වතාවක් කඳුළු සැලුවාද කියා ඔබට සිතාගත හැකි ද?”

“මට ඔවුන්ට කියන්න ඕන වුණා මම ඔවුන්ගෙන් කෙනෙක් නො වන බව. අපි බොහෝ දෙනෙක් අපේ අනිවාර්ය හමුදා සේවයේ යෙදෙන සාමාන්‍ය සොල්දාදුවන්. මට හරි දුකක් දැනෙනවා.”

පශ්චාත් විප්ලවවාදී නියෝග

‘සුදුසු නොවන ලෙස හිජාබය ඇඳීම’ හෙවත් අනිවාර්ය කරන ලද ඇඳුම් වැරදි ලෙස ඇඳීමට එරෙහි ඉරාන බලධාරීන්ගේ සටන 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව ආරම්භ වූවකි. එහි මූලික ම අරමුණක් වූයේ කාන්තාවන්ට විනීතව ඇඳුම් ඇඳීමට පෙළඹවීමයි.

බලයෙන් පහ කෙරුණු බටහිර ගැති ෂා මොහොමඩ් රීසා පහ්ලවිගේ කාලයේත් බොහෝ කාන්තාවන් එම ඇඳුම් අනුගමනය කරමින් සිටි නමුත්, කෙටි සායවල් ඇඳීම සහ හිසකෙස් ආවරණ නොකිරීම දුලබ වූයේ නැත. බොහෝ විට බටහිර ඇඳුම් ඇඳ සිටි ෂා මොහොමඩ් රීසා පහ්ලවිගේ බිරිඳ ෆාරා, නූතන කාන්තාවන් විසින් අනුගමනය කරන්නට යෙදිණි.

Women protesting in Iran in March 1979 with their hair uncovered
1979 මාර්තු මාසයේදී ඉරානයේ ඇවිලුණු හිජාබ් විරෝධී විරෝධතා දින කිහිපයක් පුරා පැවතුණි .

ඉස්ලාමීය ජනරජය පිහිටුවා මාස කිහිපයක් ඇතුළත, ෂා යටතේ ස්ථාපිත කර තිබූ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නීති අවලංගු කිරීම ආරම්භ විය.

“එය එක රැයකින් සිදු වූවක් නොවේ. එය පියවරෙන් පියවර සිදු වූ දෙයක් ” යැයි පළමු හිජාබ් විරෝධී විරෝධතාව සංවිධානය කිරීමට සහාය දුන් මානව හිමිකම් නීතිවේදියෙකු සහ ක්‍රියාකාරිකයෙකු වන 78 හැවිරිදි මෙරින්ගස් කාර් පැවසුවා ය.

“විප්ලවයෙන් පසුව, ත්‍යාග කඩදාසිවල ඔතා ඇති හිස් ආවරණ නොමිලේ පිරිනමන පිරිමින් සහ කාන්තාවන් වීදිවල දකින්නට ලැබිණි.”

1980 ගණන්වල ආරම්භ වූ හිජාබ් විරෝධී විරෝධතාවල මුල් කාලයේදී, කාන්තාවන් සිය විරෝධය දැක්වීම සඳහා හිස් ආවරණ ඉහළට ඔසවන්නට වූහ.
1980 ගණන්වල ආරම්භ වූ හිජාබ් විරෝධී විරෝධතාවල මුල් කාලයේදී, කාන්තාවන් සිය විරෝධය දැක්වීම සඳහා හිස් ආවරණ ඉහළට ඔසවන්නට වූහ.

විප්ලවයේ නායක අයතුල්ලා රුහොල්ලා කොමේනි, 1979 මාර්තු හත් වැනිදා, සියළුම කාන්තාවන්ට ඔවුන්ගේ සේවා ස්ථානවලදී හිජාබය පැළඳ සිටීම අනිවාර්ය කළේ ය. එලෙස හිස ආවරණය කර නො ගත් කාන්තාවන් ‘නිරුවතින් සිටින අය’ ලෙසට සලකන බවටත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

“මෙම නියෝගය බොහෝ විප්ලවවාදීන් විසින් දුටුවේ, කාන්තාවන්ගේ හිස මත හිජාබය බලෙන් පැටවීමේ නියෝගයක් ලෙසට ය”. දැන් වොෂින්ටන්හි වාසය කරන කාර් මහත්මිය පැවසුවාය. “බොහෝ දෙනෙක් සිතුවේ මෙය එක රැයකින් සිදුවනු ඇති බව සිතූ අතර, එබැවින් ඔවුන් එයට විරුද්ධ වූහ.”

මෙම නියෝගයට ඔවුන් වහාම ප්‍රතිචාර දැක්වූ අතර, කාන්තාවන් ප්‍රමුඛ 100,000 කට වැඩි පිරිසක්, පසුදිනට යෙදුනු ජාත්‍යන්තර කාන්තා දිනය දා ටෙහෙරානයේ වීදි බැස සිය විරෝධය පළ කළ හ.

‘අපි නිර්මාණශීලී වුණා’

අයතුල්ලාගේ කොමේනිගේ ආඥාව කෙසේ වුවත්, කාන්තාවන් සඳහා “නිසි” ඇඳුම් මොනවාදැයි තීරණය කිරීම සඳහා බලධාරීන්ට යම් කාලයක් ගත විය.

“ඔවුනට පැහැදිලි උපදෙස් ලැබී නො තිබූ නිසා, ‘නිසි ඇඳුම්’ මොනවාදැයි පෙන්වීම සඳහා කාර්යාල බිත්තිවල එල්ලා තිබූ ආදර්ශක පෝස්ටර් සහ බැනර් රැගෙන විත් තිබුණා. කාන්තාවන් මෙම උපදෙස් පිළිපැදිය යුතු බව ඔවුන් කියා සිටියා. එලෙස හැඳ පැළඳගෙන නො සිටින අයට පරිශ්‍රයන්ට ඇතුළු වීමට නො හැකියි ඔවුන් පැවසුවා” කාර් පැහැදිලි කළා ය.

Woman holding hijab above her head
1981 වන විට කාන්තාවන් සහ ගැහැණු ළමයින් සදාචාර සම්පන්න “ඉස්ලාමීය” ඇඳුම් ඇඳීම නීත්‍යානුකූල අවශ්‍යයතාවයක් බවට පත් කෙරුණි. එයින් අදහස් කෙරුණේ සම්පූර්ණ සිරුර වැසෙන ලෝගුව වැනි ඇඳුමක්, කුඩා හිස් ආවරණයක් සමඟ හෝ හිස් ආවරණයක් සහ අත් ආවරණය කරන ඇඳුමකින් සැරසී සිටීමයි.

“නමුත් හිජාබය අනිවාර්ය කිරීමට එරෙහි සටන පුද්ගල මට්ටමින් දිගින් දිගටම පැවතුණි. අපි හිස් ආවරණය පැළඳීම හෝ අපගේ හිසකෙස් නිසි ලෙස ආවරණය නොකිරීම පිළිබඳව නිර්මාණශීලී වීමු.” කාර් මහත්මිය පැවසුවා ය.

“ඔවුන් අපව නැවත්වීමට උත්සහ කරන සෑම අවස්ථාවකම අපි පෙරළා සටන් කළෙමු.”

1983 දී, ප්‍රසිද්ධියේ හිසකෙස් වසා නොගන්නා කාන්තාවන්ට කස පහර 74කින් දඬුවම් කළ හැකි බව එරට පාර්ලිමේන්තුව තීරණය කළේ ය. වඩාත් මෑතක දී, එයට දින හැටක් දක්වා සිර දඬුවම් ද එකතු කරන ලදී.

බලධාරීන් මෙම නීති ක්‍රියාත්මක කිරීමට විශාල වෙහෙසක් ගත් අතර, කාන්තාවන් ද ඊට එරෙහිව ක්‍රියාත්මක වූහ. තද ජීන්ස් කලිසම්, කලවා දක්වා පමණක් දිග කබා සහ හිසකෙස් විශාල ප්‍රමාණයක් නිරාවරණය වෙන ආකාරයේ පසුපසට කර පළඳින දීප්තිමත් පැහැති හිස් ආවරණ ආදිය ප්‍රසිද්ධියේ හැඳ පැළඳගෙන ඔවුන් සිය විරෝධය ප්‍රකාශ කර සිටිය හ.

වඩා ප්‍රබල ආකාරයේ එළඹීමක්

වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වීමෙන් පසුව ගත වූ වසර ගණනාව තුළ, මෙම නීති ක්‍රියාත්මක කර ඇති ප්‍රමාණය මෙන් ම දඬුවම්වල බරපතලකම ද වෙනස් විය.

ටෙහෙරානයේ එවකට සිටි නගරාධිපති මහමුද් අහමදිනෙජාඩ්, අතිශය ගතානුගතික අදහස් දැරූ අතර, 2004 වසරේදී ජනාධිපති අපේක්ෂකත්වය සඳහා කළ සිය මැතිවරණ ව්‍යාපාරයේදී, මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් වඩාත් ප්‍රගතිශීලී ලෙස පෙනී සිටීමට උත්සාහ කළේ ය. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වුණු ඔහු, “විවිධ මත දරන පිරිස් සිටිනවා. අපට ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත ගැනත් හිතන්න වෙනවා…” යි ප්‍රකාශ කර සිටියේ ය.

An Iranian morality policewoman walks past police vehicles ahead of a crackdown on women violating Iran's Islamic dress code in Tehran, Iran (23 July 2007)
එහෙත් ඊළඟ වසරේ ඔහුගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව, ඔහු සදාචාර පොලිසිය හෙවත් ඝාෂ්තේ ඉර්ෂාඩ් විධිමත් ලෙස ස්ථාපනය කිරීමට කටයුතු කළේ ය. එතෙක් ඔවුනට විධිමත් නිල ඇඳුමක් පවා නො තිබූ අතර වෙනත් පැරාමිලිටරි ඒකක විසින් භාවිතා කළ ඇඳුම් ඔවුන් විසින් භාවිත කර තිබුණි.

සදාචාර පොලිසිය, ඔවුන්ගේ දැඩි පිළිවෙත් නිසා බොහෝ විට මහජනතාවගේ විවේචනයට ලක් වන අතර, අත්අඩංගුවට ගෙන රඳවා තබා ගන්නා කාන්තාවන්ට නිදහස ලබා දෙන්නේ අනාගතයේදී ඔවුන් මෙම නීති රීති පිළිපදින බවට තමන් සහතික වන බව කියන ඥාතියෙකු පෙනී සිටින විට පමණි.

මධ්‍යම නගරයේ ඉස්ෆහාන් හි වෙසෙන එක් කාන්තාවක් බීබීසීයට පැවසුවේ, “මමත් මගේ දුවත් ඔවුන්ගේ අත්අඩංගුවට පත්වුණේ අපේ තොල් ආලේපන නිසා”යි.

“ඔවුන් අපිව පොලිසියට රැගෙන ගිය අතර, හිජාබයක් නොමැතිව අපට පිටතට යාමට නො දෙන බවට කොලයක අත්සන් කරන්න යයි ඔවුන් මගේ ස්වාමියාට පැවසුවා.”

Iranian newspapers on sale in Tehran show photographs of Mahsa Amini on 18 September 2022
ටෙහෙරානයේ තවත් කාන්තාවක්, බීබීසීයට පැවසුවේ තමන් පැළඳ සිටින බූට් සපත්තු පිරිමින්ට “ඉතා සරාගී” විය හැකි යැයි පවසමින් කාන්තා නිලධාරිනියක් තමන්ව රඳවා ගත් බවයි.

“මම මගේ මහත්තයාට කතා කර, සපත්තු කුට්ටමක් ගෙන එන ලෙස ඉල්ලා සිටියා..” ඇය කියන්නී ය.

“එමෙන්ම මම නුසුදුසු ඇඳුම් ඇඳ සිටි බව පිළිගනිමින් කඩදාසියකට අත්සන් කිරීමට ද මට සිදුවූ අතර මට දැන් අපරාධ වාර්තාවක් ද තිබේ.”

බීබීසීයට ලැබුණු අනෙකුත් සිදුවීම් අතර, සදාචාර පොලිසිය විසින් කළ පහර දීම් මෙන් ම, වඩාත් කුරිරු හා අසාමාන්‍ය දඬුවම් ද ඇතුළත් වේ.

එක් කාන්තාවක් පැවසුවේ, තමන් අත්අඩංගුවට ගත් සදාචාර පොලිසිය, තමන්ගේ ඇඟට කැරපොත්තන් දමන බවට තර්ජනය කළ බවයි.

නව මර්දනය

පසුගිය වසරේ ජනපති ලෙස තේරී පත් වූ දැඩි මතධාරී පූජකයෙකු වන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, නව සීමා ලැයිස්තුවක් බලාත්මක කිරීම සඳහා පසුගිය අගෝස්තු 15 වැනිදා නියෝගයකට අත්සන් කළේය.

හිස් ආවරණ නො පැළඳි කාන්තාවන් සොයා ගැනීම සඳහා නිරීක්ෂණ කැමරා හඳුන්වාදීම සහ හිජාබ් නීති ප්‍රශ්න කරන හෝ ඊට එරෙහිව අන්තර්ජාලයේ මත පළ කරන ඕනෑම ඉරාන ජාතිකයෙකුට අනිවාර්ය සිර දඬුවමක් ද මෙයට ඇතුළත් වේ.

Iran's President Ebrahim Raisi speaks at a news conference in Tehran (29 August 2022)
මෙම නව සීමාවන් අත්අඩංගුවට වැඩි වීමට හේතු වූ අතර, ඊට සමගාමීව කාන්තාවන් හිස් ආවරණ නොමැතිව ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කිරීම් ද ඉහළ ගියේ ය. එය අමිනීගේ මරණයෙන් පසු දින කිහිපය තුළදී තවත් තීව්‍ර වී තිබේ.

මේ වනවිට එක්සත් ජනපදයේ වෙසෙන මාධ්‍යවේදියෙකු සහ ක්‍රියාකාරිකයෙකු වන මාසි අලිනජාඩ් පවසන්නේ අමිනීගේ මරණයෙන් පසු ඇති වූ විරෝධතා, ගැඹුරු සහ පෞද්ගලික මට්ටමෙන් දැනෙන බවයි.

ඇය වසර ගණනාවක් පුරා, #mystealthyprotest ඇතුළු හිජාබ් නීතිවලට එරෙහිව සීග්‍රයෙන් පැතිරී ගිය ව්‍යාපාර කිහිපයක් ම ක්‍රියාත්මක කර ඇති අතර, රජය ඇතුළු බොහෝ දෙනෙක් ඇයව දකින්නේ වත්මන් නොසන්සුන්තාවය පිටුපස සිටින ප්‍රධාන චරිතයක් ලෙසිනි.

බටහිර ප්‍රදේශයේ නගරයක් වන සාක්වෙස් හි පැවති අමිනීගේ අවමංගල්‍ය උත්සවයේදී, කාන්තාවන් තම හිස් ආවරණ ගලවා ඉහළට ඔසවන්නට වූහ.

Skip Twitter post, 1

End of Twitter post, 1

1px transparent line

ඉන් පසු ගතවුණු දින කිහිපය තුළ ඔවුන් රට පුරා වීදි විරෝධතා ආරම්භ කළ අතර, ඇතැමුන් පිරිමි විරෝධතාකරුවන්ගේ ඔල්වරසන් දීම මධ්‍යයේ හිජාබවලට ගිනි තබන අයුරු දකින්නට ලැබිණි.

“ඔවුන් මෙය සිදු කරන විට මිනිසුන් බර්ලින් තාප්පය බිම හෙළීමට පටන් ගත් කාලය මට සිහි විය. මේ එවන් මොහොතකි…” ඇලිනෙජාඩ් පැවසුවා ය.

“මේ මොහොත මා තුළ මහත් බලාපොරොත්තුවක් ඇති කරයි. මේ ගැහැණු ළමයින් තනිව නොසිටින පළමු අවස්ථාව මෙයයි. දැන් පිරිමින් ද කාන්තාවන් සමඟ එකට සිටගෙන සිටිති.”

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *