සත් සමුදුර සරසන අවිහිංසක මිතුරෝ

ByLankaAnews

Oct 12, 2022

රැලි පිට රැලි නඟමින් යළිත් බැස යමින් මේ මහ සයුර අපට පැවසීමට තතනන්නේ ජීවිත කතාන්දරය ද? ඒ අබියස පසුවන සෑම තත්පරයකදීම මසිත්හි ජනිත වන්නේ ප්‍රශ්නාර්ථයකි. ජිවයේ ආරම්භය සනිටුහන් වූයේ ජලයේ බවට වන එක් විදු මතයකි. එසේ නම් එසේ බිහි වූ ජීවය ගොඩබිම වෙත බඩ ගා ගෙන පැමිණීමත්, පසුව ගොඩබිම පුරා ව්‍යාප්ත වීමත්, කෙතරම් නම් අපූර්ව වූ චමත්කාරජනක කතන්දරයක් විය යුතු ද? කාලයේ වැලි තලාවෙන් වැසී ගිය එබඳු කතා අවැසි තැන්හිදී මතුවෙමින් යළි යළිත් පවසන්නේ මිනිසුන් ප්‍රමුඛ මුළු මහත් සත්ත්ව සංහතියේම උන්නතිය උදෙසා එකී රහස් හෙළි කර ගන්නා ලෙස නොවන්නේ ද? සොබාදහමට හිතැතිව මේ සියල්ලක්ම අනාවරණය කර ගන්නේ නම් මුළු මහත් සත්ත්ව සංහතියේම යහපැවැත්ම ඒ හරහා තීරණය වනු නියතය. නිරන්තරවම රළ – සරැලි නඟනා මහ සමුදුර අසල රැඳෙන සෑම මොහොතකදීම, ජීවිතය පිළිබඳවව සිතේ ඇඳී මැකී යනුයේ සිතිවිලි ගොන්නකි.

මන්ද යත්, කාර්යබහුල ජීවන වටපිටාවක ගත කරන අප සිත්, ජීවිතය ගැන සිතන්නට කාලය වෙන් කර ගත නොහැකිව ළත වන පසුබිමක, ඉඳහිට හෝ සයුරු තීරයකට ගොස් ඒ දැකුම බලා හිඳ හිත හෑල්ලු කර ගත හැකි නම් එය කදිම වූ සිත නිවන ඔසුවක් වන බවත් සටහන් කළ යුතුමයි.

එසේ ගිය ගමනකදී අපූරු සමුදුර මිතුරකු හමු විය. සොබාදහමට ආදරය කරන්නැයි පණිවුඩය රැගෙන අපේ රටේ මුහුදු සිීමාවට පැමිණෙන මේ දූතයා ගැන තොරතුරු ටිකක් කියන්න හිතුවේ බොහෝ දෙනෙකුට මේ සත්ත්වයා දැක බලා ගත නොහැකි ඉතාමත් දුර්ලභ සත්ත්වයෙක් වන නිසාවෙන්. මොහු අයත් වන්නේ සමුදුරු ක්ෂීරපායී කාණ්ඩයටය.

මුහුදේ ජීවත් වුණත් මෙම සත්ත්වයා මත්ස්‍ය කාණ්ඩයට අයත් වන්නේ නැත. ක්ෂීරපායී සත්ත්ව‍ විශේෂයක් ලෙස නම් කළ හැකිය. එහෙත් මුහුදු ක්ෂීරපායී සත්ත්ව විශේෂයන් වන තල්මසුන් සහ ඩොල්ෆින් අයත් වන සිටේසියා (Cetacea) ගෝත්‍රයට නොව සිරේනියා (Sirenia) නමින් හඳුන්වන ගෝත්‍රයට මෙම සත්ත්වයා අයත්ය. සත්ව විදු ලොව ආනමාලියා රාජධානියේ, මැමාලියා ගණයේ, කෝඩාටා වංශයේ, සිරේනියා ගෝත්‍රයේ, ඩුගොන්ගිඩේ කුලයට අයත් බර කිලෝග්‍රෑම් 300ට වඩා වැඩි දිගින් මීටර් තුනකට ආසන්න හෝ වැඩි ප්‍රමාණයේ සිරුරකට හිමිකම් කියන මුහුදු ඌරන් විද්‍යාත්මකව ඩියුගොන් ඩියුගෝන් (Dugong dugong) ලෙසත් ඉංග්‍රීසි වහරේදී Sea Cow (මුහුදු ගවයින්) ලෙසත් හැඳින්විය හැකිය. ආයු කාලය මිනිසාගේ ජීවිත කාලය හා සමාන කාලයක් ජිවත් වීමේ හැකියාව ඇති සත්ත්ව විශේෂයකි.

විනාඩි 10ක් පමණ හුස්ම අල්ලා ගෙන දිය යට කිමිදෙමින් ආහාර බුදින අතර යළිත් හුස්ම ගැනීමට දිය මතු පිටට පැමිණේ. උණුසුම් දිය ඇති මුහුදු සීමාවේ, මෝය ආශ්‍රිතව, නොගැඹුරු මුහුදු සීමාවට ප්‍රිය බවක් දක්වයි. ශ්‍රී ලංකාවේ මන්නාරම අවට මුහුදු කලාපය, යාපනය අර්ධද්වීපයට බටහිර මුහුදු කලාපය, ආදම්ගේ පාලම මුහුදු කලාපය මොවුන්ගේ කදිම ගොදුරු බිම්ය. මුහුදු තෘණ සඳහා හිතකර වූ පාරිසරික තත්ත්වයන් ඇත්තේ කොතැන ද, මුහුදු ඌරන් එතැනය.

මුහුදු ඌරා නමට සරිලන ආකාරයේ ඌරකුගේ හිසට සමාන ස්වභාවයකින් සමන්විත සත්ත්වයෙකි. ගෙලක් නොපිහිටයි. සිරුර අළු සහ රතු දුඹුරු මිශ්‍රණයකි. උරපත් යුගල සහ ඩොල්ෆින්ට සමාන වූ ස්කෝප්පාකාර වලිගය හේතුවෙන් දුටු මතින් මේ ඩොල්ෆින් යැයි වරදවා වටහා ගත් අවස්ථා ද වාර්තා වී ඇත. ගැහැනු සත්ත්වයින්ගේ දෙපස පිහිටා ඇති උරපත් යුගල ආසන්නයට වන්නට ස්තන ග්‍රන්ථී පිහිටා ඇත. කුඩා පැටවුන් මවගෙන් කිරි උරා බීමට ඒවා යොදා ගනී. හිසෙහි පිහිටීම පහසුවෙන්ම මුහුදු තෘණ ආහාර වශයෙන් භුක්ති විඳීමේදී පහසුවකි. ඝනකම් පහළට තියුණු වූ වක්‍රාකාරව හැරවී ඇති හොම්බෙහි පිහිටීම තෘණ උළා කෑමේම අනුවර්තනයකි. ශාක භක්ෂකයෙකි. දිවා රාත්‍රී තණ සහ මුහුදු පැළෑටි සොය සොයා බුදියි. දවසේ වැඩි කාලයක් ගත කරනුයේ ඒ සඳහාය. ඝනකම් කෙඳිවලින් සමන්විත හොම්බ හැරෙන්නට සිරුරේ සෙසු ප්‍රදේශ රෝම රහිත වූ නග්න ස්වභාවයක් උසුලයි.

උරපත් යුගල, ස්කෝප්පාකාර වලිගය සහ රෝම රහිත ලිස්සනසුලු සම පිහිනා යෑමට මහෝපකාරී වේ. මුහුදේ ගැඹුරට අලෝක කිරණ ගමන් නොකරන හෙයින් ඒ තත්ත්වයට හුරු වීම හේතුවෙන් සහ හිස දෙපසට වන්නට දෑස් පිහිටන නිසාවෙනුත් දෘෂ්ටිය ප්‍රබල නොවූවත්, මන්දගාමී සහ අලස හැසිරීම් රටාවක් සහිත වුවත් අනතුරකදී වේගයෙන් පලා යයි. එනම් ජීවත් වන ජලජ මාධ්‍යයේ ඉතා හොඳින් ශබ්ද තරංග සන්නයනය කරයි. ශ්‍රව්‍ය සංවේදනය ප්‍රබලය. තම වර්ගයේ සත්ත්වයින් අතර සන්නිවේදනය සඳහා සහ ආහාර සොයා ගැනීමට ශබ්ද තරංගවල පරාවර්තනයන් උපකාර කර ගනී (Echolocation).

ඇකයේ වැඩෙන පැටවා ක්‍රමයෙන් උස් මහත් වේ. ඇතැම් විශේෂ ආහාර බිම් සහ නිජබිම් අතර වාර්ෂිකව සංක්‍රමණයෙහි යෙදෙන බවට ද වාර්තා වී ඇත.

සමුද්‍ර දූෂණය මෙම සත්ත්වයින්ගේ පැවැත්මේ අඩු වීමට ප්‍රබල ලෙසම බලපායි. පමණ ඉක්මවා සිදු වන සංචාරක කර්මාන්තයේ අහිතකර බලපෑම නිසා සිදු වන වාසස්ථාන අහිමි වීම හා ඛණ්ඩනය වීම. සමුද්‍ර දූෂණය හේතුවෙන් වාසස්ථානවල ගුණාත්මක බව පිරිහීම. මුහුදු යාත්‍රා නිසා සන්නිවේදනයට සහ ආහාර බිම්, ගොදුරු බිම් සොයා යෑමට ඇති නොහැකියාව, බාධා වීම් මෙන්ම අවිධිමත් ධීවර කර්මාන්තය ද මුහුදු ඌරා සුසානය වෙත රැගෙන යයි. මිනිස් පරිභෝජනය පිණිස මේ අහිංසක සත්ත්වයින් මරා දමනු ලබන්නේ මිනිසුන්ගේ ම්ලේච්ඡත්වය මොනවට ප්‍රදර්ශනය කරමිනි. විටෙන් විට වෙරළට ගොඩ ගසන මේ සත්ත්වයින්ගේ මළ සිරුරු ඩයිනමයිට් ප්‍රහාරවලට හසු වීමෙන් තුවාල වූ ඒවා බව බොහෝ විට අසන්නට දකින්නට ලැබේ. මුහුදු තෘණවල යහපැවැත්ම මුහුදු ඌරාගේ ද යහපැවැත්මට ඍජුවම බලපායි. ඒවා විනාශ වී යාම මුහුදු ඌරාගේ ද විනාශයට මුලය. ඒ විනාශයට මුල වන්නේද අවිධිමත්, පරිසරයට හානිකර වූ මානව ක්‍රියාකාරකම්ය.

කාලීනව මෙම දුර්ලභ මුහුදු ක්ෂීරපායින්ට එල්ල වූ ජීවිත තර්ජන උග්‍ර වත්ම ඔවුන්ගේ ආරක්ෂාව සඳහා නීති දැඩි කිරීමේ අවශ්‍යතාව දැඩි ලෙස හඳුනා ගැනීමත් හා සමඟම ඒ සඳහා අවැසි නීතිමය රැකවරණය මේ සත්ත්වයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සම්පාදනය විය. 1937 දී නීතිගත වී කාලීනව සංශෝධනය වෙමින් යළිත් 2009 වසරේ අවසන් වරට සංශෝධනය වූ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ උපලේඛන අංක II යටතට අයත් වන දැඩි ලෙස ආරක්ෂිත ක්ෂීරපායී සතුන් හා උරගයින්ගේ නාම ලේඛනයේ මෙම සත්ත්ව විශේෂය ඇතුළත් කර ඇත්තේ මෙම සත්ත්වයින්ගේ ජීවිතවලට එල්ල වී ඇති තර්ජන හේතුවෙනි.

ලෝකයේ සෙසු රටවල්වලට සාපේක්ෂව ගත් කල අපේ රට සතු සොබාදහමේ අපූර්ව වූ නිමැවුම් පිළිබඳව ශ්‍රී ලාංකිකයින් ලෙස ඔබ – අප සැමටම සතුටු විය හැකිය. එය ආඩම්බරයට කරුණකි. එහෙත් සොබාදහම අපට කෙතරම් කාරුණික වුවත්, සොබාදහමට අකාරුණිකකම් කරන්නේ මිනිසුන් වන අපමය. අවසන සොබාදම් ව්‍යසනයන්ට ගොදුරු වන්නේ මුළු මහත් සත්ත්ව ප්‍රජාවමය. එහෙත් ශ්‍රී ලාංකික අප තවමත් සොබාදහමට ආදරේ කරන බවට එක් නිදසුනක් සේ ශ්‍රී ලාංකික මුහුදු කලාපය ආශ්‍රිතව මේ දුර්ලභ සත්ත්වයින්ගේ දැකුම පිළිබඳ වාර්තා වීම් හැඳින්විය හැකිය. කල්පිටියේ සිට දකුණු ඉන්දියානු ප්‍රදේශය දක්වා මුහුදු තෘණවල ව්‍යාප්තිය යහපත්ව පැවැතීම ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මුහුදු ඌරාගේ ගැවසීමට බෙහෙවින්ම බලපායි. මුහුදු ඌරා සමුද්‍රීය ජෛව පරිසරය නියෝජනය කරන සංවේදී ක්ෂීරපායි සත්ත්වයකු ලෙස ද හැඳින්විය හැකිය. මුහුදු ඌරන් ගැවසීම යනු එකී මුහුදු කලාපයේ පවතින සමුද්‍රීය ජෛව විවිධත්වයේ එක් නිර්ණායකයක් වශයෙන් ද අර්ථකථනය කළ හැකිය. අප රටට උරුමව ඇත්තේ ජෛව විවිධත්වයෙන් පොහොසත් සමුද්‍රීය ජෛව පද්ධතියකි. එය රටකට ආඩම්බරයකි. මෙකී ආඩම්බරය සුරක්ෂිතව ඉදිරි පරම්පරාව වෙත භාර දීම ඔබ අප සැමගේ වගකීමකට එහා ගිය යුතුකමක් බවත් සිහිකටයුතුය.

සඳමල් රශ්මී ශ්‍රී බුද්ධික

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *