හම්බන්තොට වරායේ මෙහෙයුම් ඇරඹේ-ලැබුණු ඩොලර් මිලියන 300 විශේෂ ගිණුමකට

හම්බන්තොට වරාය චීන-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස අද දින සිට ක්‍රියාත්මක වීමත් සමග ඒ වෙනුවෙන් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 300 කට ආසන්න මුදලක් ලැබුණ බවත්, එය මෙරට විදේශ සම්පත් සංචිතයේ විශේෂ ගිණුමක තැන්පත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළා.
ඒ පාර්ලිමේන්තු සංකීරණයේ පැවැති උත්සවයකදීයි.
හම්බන්තොට වරාය චීන ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස ඇරැඹිම ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ වැදගත් පියවරක් බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ.
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය අද (09) සිට චීන-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන සමූහ ආණ්ඩුවේ හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ංඩිංග්ස් (CMPH) සමාගමේ නියෝජියින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 01 හි දී සිදු කෙරුණා.
එම උත්සවය අමතා තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

චීන-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස හම්බන්තොට වරායේ පාලන කටයුතු ගෙන යෑම අද බාර ගත්තා. මෙතැන් සිට හම්බන්තොට වරාය ඉන්දියන් සාගරයේ ප්‍රධානතම වරායක් ලෙස පත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ජාතික ආණ්ඩුවේ අරමුණක් වුණේ හම්බන්තොට පැවැති හිස් වරාය වෙනුවට ක්‍රියාකාරී වරායක් බවට එය පත් කිරීමයි. ඒ සඳහා වන මූලික පියවර අද අපි ගෙන තිබෙන බව සිහිපත් කළ යුතුයි.
ඒ වැඩපිළිවෙලේ පළමු පියවර ලෙස හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගනිමින් ආර්ථික කලාප කිහිපයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ හරහා කර්මාන්ත කරණයක් සිදු වනවා සේම සංචාරක ව්‍යාපාරය ද දියුණු වෙනවා.
මේ ප්‍රදේශයේ නාවුක ගමනා ගමනයත්, කර්මාන්ත ෙක්‍ෂ්ත්‍රයත්, සංචාරක ව්‍යාපාරයත් දියුණුවීමෙන් ඉතිහාසයේ පළමුවතාවට රුහුණට කර්මාන්ත, ආර්ථික පදනමක් අපි ලබා දෙනවා. ඒ දියුණුව උදාවන බව ස්ථීර වශයෙන්ම මට ප්‍රකාශ කළ හැකියි. මොකද ඒ දියුණුව කටුනායක, බියගම, කඩුවෙල, සීතාවක වැනි ප්‍රදේශවල අප දුටුවා.
2015 සහ 2016 ජනාධිපතිතුමත්, මමත්, මහජන චීනයේ ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා සමග සාකච්ඡා කර මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීරණය කළා.
මේ සඳහා අවශ්‍ය නීති ඊයේ (08) දින පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තා. ඒ අනුව අද මේ උත්සවයෙන් පසු ඒ වැඩ කටයුතු බාර ගන්නවා.
හම්බන්තොට වරායේ පරිපාලන කටයුතු සහ මෙහෙයුම් කටයුතු චින–ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයකට අප ලබා දෙනවා. ඒ සඳහා වන මුදල් මේ මොහොතේම අපට ලැබෙනවා. මේ නිසා හම්බන්තොට වරායේ ණය බර මින් පසු රටට බරක් වන්නේ නැහැ.
2014 හා 2015 යන වසරවල අප පොරොන්දු වුණේ ජනතාවට බරක් පටවන්නේ නැතිව හම්බන්තොට වරාය දියුණු කරන බවටයි. ඒ පොරොන්දුව දැන් ඉෂ්ඨ කර තිබෙනවා. ඊළඟ පරම්පරාවට පමණක් නොව මේ පරම්පරාවට පවා එය අපි බරක් කරන්නේ නැහැ. ඒ අයට මේ ණය ගෙවන්න අපි ඉඩ තියන්නේ නැහැ.
හම්බන්තොට වරායෙන් හා කර්මාන්ත පුරයෙන් උපදවන විදේශ විනිමය අපේ විදේශ සංචිතවලට යොමු වන බව කිව යුතුයි. එසේ නම් අප ගන්නා මේ පියවර නිසා මීට වඩා හොඳ ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකියි. ඒ විශ්වාසය මත අපේ අනාගත පරපුරට කිසිඳු බියක් සැකක් නොමැතිව ඉදිරියට යා හැකියි.
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බවට එදා අප පොරොන්දු වුණා. මේ හරහා සිදු වන්නේ ඒ අරමුණ ඉටු කර ගැනීමට අවශ්‍ය වැදගත් පියවරක් තැබීමයි. ඒ නිසා අප සමග වැඩ කරන මේ හවුල් ව්‍යාපාරයටත්, එය සාර්ථක කර ගැනීම සඳහා අප සමග ක්‍රියා කරන මහජන චීන ආණ්ඩුවටත්, ෂී ජින්පින් ජනාධිපතිතුමාටත් මගේ ස්තූතිය පළ කිරීමට කැමැතියි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.