බුදුවුණා කී ගුප්ත විශාරදයාගේ නාග ලොවේ ධාතු

පොහෝ දින එක් විද්‍යුත් මාධ්‍ය­යක පුව­තක් පළ විණි. ඒ ඓති­හා­සික කැල­ණිය පුද­බි­මට නා ලොවෙන් ධාතු වැඩි බවයි. ධාතූ­න්ව­හන්සේ 14 නමක් වැඩ ඇති බව කැලණි විහා­රා­ධි­පති මහා­චාර්ය කොල්ලු­පි­ටියේ මහින්ද සංඝ­ර­ක්ඛිත හිමියෝ කී හ යි වැඩි­දු­ර­ටත් එම පුවතේ කියැ­විණි. එම විද්‍යුත් මාධ්‍ය කතාව ප්‍රචා­රය කළේ නාග ලොවේ සිට සජීවී විකා­ශ­න­යක් ගෙන එන ආකා­ර­යට ය.

පුවතේ සාරාං­ශය මෙසේය. කැල­ණිය පුරාණ නාග­යන්ගේ රාජ­ධා­නි­යයි. බුදුන් ලංකා­වට දෙවන වර වැඩම කරන විට මණි­අ­ක්ඛිත දිව්‍ය රාජ­යා­ණන් වෙනු­වෙන් විශේෂ පූජා­වක් මීට සිවු වස­ර­කට පෙර සිවු­රු­ගල නම් කැලණි ගඟේ බුදු­ර­ජා­ණන් වහන්සේ ජල ස්නානය කළ ස්ථානයේ පවත්වා තිබේ. එම පූජාව කර තිබුණේ උදාර මධු­සංක නැමැති ජෝතී­ර්වේදී විශා­ර­ද­යෙකි. මේ විශා­ර­දයා මීට අවු­රුදු තුන­කට කලින් තමන් බුදු වූ බව කියූ තැනැත්තා ය. බුදු වූ කෙනෙකු බුදු කෙනෙ­කුගේ ධාතු නාග ලොවින් ගෙන්වා ගැනීම හරිම ආක­ර්ෂ­ණීය කට­යු­ත්තකි. මේ රටේ ශ්‍රද්ධා­ව­න්තයෝ බුද්ධා­ල­ම්භන ප්‍රීති­යෙන් පිනා යන්නට වූ අයුරු පෙනිණි.

ගුප්ත විද්‍යා විශා­ර­ද­ව­ර­යෙකු විසින් කැල­ණිය ගං මිටි­යා­වතේ පැවති විශේෂ පූජා­වක් අත­ර­තුර ධාතූන් වහන්සේ වැඩම කිරී­මක් සිදුව තිබේ. වැඩම කළ ධාතූ­න්ව­හ­න්සේලා ප්‍රමා­ණය 14කි.

උදාර නාගයා පෙන්වමින්

ශාසන ඉති­හා­සයේ කියැ­වෙන පරිදි බුදුන් වහන්සේ තෙවැනි වරට ලංකා­ද්වී­ප­යට වැඩම කරන්නේ කැල­ණි­ය­ටයි. ඒ කැලණි ගං මුව­දොර විසූ මණි­අ­ක්ඛිත නා රජුගේ ආරා­ධ­නා­වක් අනු­වය. එම ආරා­ධ­නා­වට කෘත­ගුණ සැල­කීම සඳහා කැල­ණිය රාජ මහා විහා­රය විසින් මණිඅ­ක්ඛිත දිව්‍ය රාජ­යා­ණන් වෙනු­වෙන් මීට සිව් වස­ර­කට පෙර නානු­මුර පූජාව නමින් විශේෂ පූජා­වක් ආරම්භ කර ඇත. එම පූජාව පව­ත්වනු ලබන්නේ ගුප්ත විද්‍යා විශා­රද උදාර මධු­සංඛ නැමැ­ත්තෙකි. ඒ අනුව සෑම මස­කම පළමු සෙන­සු­රාදා එම නානු­මුර පූජාව පැවැ­ත්වෙන්නේ බුදුන් වහන්සේ ජල ස්නානය කළ බව පැව­සෙන ,විහා­ර­ස්ථා­නයේ පිහිටා ඇති “සිවුරු ගල” නම් ස්ථාන­යේ­දීය.

ඒ අනුව ඉකුත් 9 වැනිදා රාත්‍රී 10ට පමණ සිවු­රු­ගල දී මේ ගුප්ත විද්‍යා විශා­රද තුමා විශේෂ පූජා­වක් පවත්වා තොටු­පළේ සේව­ක­යන් දෙදෙ­නෙක් සමඟ කැලණි ගඟට ගොස් තිබේ. ඉන් අන­තු­රුව ඔහු කැලණි ගං පත්ලට වැදී නා ලොවට ගොස් නා ලොවින් ධාතුන් වහ­න්සේලා 14 දෙනෙකු සමඟ කර­ඬුව ගෙනැ­විත් තිබේ.

අන­තු­රුව 12 වැනිදා මධ්‍යම රාත්‍රිය තෙක් ධාතු ප්‍රද­ර්ශ­න­යක් පැවැ­ත්විණි. ධාතු වඳි­න්නට නා ලොවේ සිට ආ බව කී නයෙකු ද ප්‍රද­ර්ශ­නය විය. නාග­ලො­වින් පැමිණි නයා ලීටර 5 හිස් වතුර බෝත­ල­යක බහා සිටි­යේය. ධාතු කර­ඬුව විහා­ර­ස්ථා­නයේ ධාතු මන්දි­රයේ තැන්පත් කෙරිණි. එතැන් සිට නාග­ලො­වින් වැඩිය ධාතු වඳි­න්නට ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ උවැසු උවැ­සියෝ වැල නොකැඩී ඇදී ආහ.

කැල­ණිය නායක හාමු­දුරු­වන් කී කතාව

කල්‍යාණි උභය රාජ­මහා විහා­රා­ධි­ප­තී­න්ව­හන්සේ, කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ පාලි හා බෞද්ධ අධ්‍ය­ය­නාං­ශයේ මහා­චාර්ය කොල්ලු­පි­ටියේ මහින්ද සංඝ­ර­ක්ඛිත නා හිමි­පාණෝ ය. ධාතු වැඩීම ගැන උන්ව­හන්සේ රටට කී කතාව මෙසේය.

“උදාර මධු­සංක කියන මහ­ත්ම­යෙක් ඒ ස්ථාන‍යේ පූජා පව­ත්ව­නවා. නාග ලෝක­යෙන් කැලණි විහා­ර­යට ධාතුන් වහන්සේ පරි­ත්‍යාග කිරී­මට සූදා­නම් බව අවු­රුදු තුනක පමණ කලෙක සිට නාග ලෝක­යෙන් කැලණි විහා­ර­යට ධාතු පූජා කර­න්නට යෙදෙන බව දන්වා තිබුණා. පසු­ගිය වෙසක් පොහෝ දින ඒ දේ ලැබෙ­නවා කියා ස්ථිර ලෙසම ප්‍රකාශ වුණා. නමුත් ලැබුණේ නෑ. නමුත් පසු­ගිය සතියේ දැන­ගන්න ලැබුණා ධාතුන් වහන්සේ නව වැනිදා ලැබෙ­නවා කියා.”

“ඒ අනුව එදින රාත්‍රී දහ­යට පමණ සිවු­රු­ග­ලදී විශේෂ පූජා­වක් පවත්වා ගුප්ත විද්‍යා විශා­රද උදාර මධු­සංඛ මහ­ත්තයා සේව­ක­යන් දෙදෙ­නෙ­කුගේ සහා­යෙන් කැලණි ගඟට ගියා. ටික වේලා­ව­කින් අපට විශාල ශබ්ද­යක් ඇහුණා. ඒ ශබ්දය ආවේ ගගේ වතු­රට තද යමක් ස්පර්ශ කළාම ඇති­වන්නා වූ ඝෝෂාව වැනි දෙයක්. ඒ වගේ හතර සැර­යක ඝෝෂා­වක් ආවා. එහෙම ටික වේලා­වක් අපි බලා­ගෙන ඉන්න­කොට උදාර මහ­ත්මයා කර­ඬු­වක් සහි­තව කැලණි නදි­යෙන් ගොඩට ආවා.”

කරඩුව නායක හිමියන්ට පිළිගැන්වූ අවස්ථාව

“මීට පෙර දුටු­ගැ­මුණු රජ්ජු­රුවො රුව­න්මැලි සෑය නිර්මා­ණය කළා­යින් පස්සේ ධාතු පුණ්‍යො­ත්ස­ව­යේදී රහ­ත­න්ව­හන්සේ නමක් නාග ලෝක­යට ගිහිල්ලා ධාතු­න්ව­හන්සේ ගෙනත් තැන්පත් කළ බව සඳ­හන් වෙනවා. මේවා අතර අනු­ශං­ග­යක් තිය­නවා කියලා මට හිතෙ­නවා. දෙදාස් විස්ස වර්ෂය වන විට අපට හොඳ නාය­ක­ත්ව­යක් ලැබිලා හොඳ දේශ­යක් ගොඩ­නඟන්නට අව­කා­ශය ලැබෙ­නවා කියන පණි­වු­ඩ­යත් ඒ සම­ඟම අපට ලැබුණා. ”

 

 

 

ගුප්ත විද්‍යා විශා­රද උදාර මධු­සංඛ කී කතාව

“මණි­අ­ක්ඛිත නා රජ­තු­මා­ගෙන් ගඟට එන්න කියලා මට ආරා­ධ­නා­වක් ලැබුණා. ගං පතුලෙ ගුහා­ව­කට ගිහින් මං ගොඩ ආවා. නැවත ගං පතු­ළට යන්න හදන විටම නාග රාජ­යාගේ කටේ සර්වඥ ධාතු කර­ඬුව තිබිලා මම දෝතට ගත්තා. ඒ ක්ෂණ­ය­කින්ම ගොඩට ආවා.“

“ඒ වෙන­කොට අපි විශේෂ නාගා­ස­න­යක් හදලා තිබ්බා. එත­නින් කරඬු වහන්සේ තැන්පත් කරලා වන්ද­නා­වක් කළා. ඒ මොහො­තෙදි වතු­රෙන් මතු වුණා නාග­යෙක්. එයා ආවේ ධාතු වන්දනා මාන කරන්න.” වන්දනා මාන කර­න්නට පැමිණි නයා නාග ලෝක­යට ගිය උදාර මධු­සංඛ විසින් ලීටර් 05 වතුර බෝත­ල­යක දමා­ගෙන සොල­ව­මින් සිටි ආකා­රය වීඩියෝ දසු­න්වල දක්නට ලැබිණි.

හොයා­ගෙන යන විට හරිම අපූරු කතා හෙළි වන්නට වූයේය. ගුප්ත විද්‍යා විශා­රද උදාර මධු­සංඛ මීට වසර කිහි­ප­ය­කට පෙර තමන් බුදු බවට පත් වූයේ යයි ප්‍රකා­ශ­යක් සිදු කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ ප්‍රකා­ශ­යක් කර බඩ කට පිරෙ­න්නට කා අතු­රු­දන් වූ සිටි අයෙකි. දුටු­ගැ­මුණු රජුට සමාන කළ අපේ­ක්ෂ­ක­යෙකු රට බේරා­ග­න්නට එන බව කැල­ණියේ නායක හාමු­දු­රු­වන් කී කළ ප්‍රකා­ශ­යෙන් අන­තු­රුව නාග ධාතු දකි­න්නට පැමිණි ශ්‍රද්ධා­වන්ත බැති­ම­තුන්ට ජනපතිවරණ ඡන්ද ලකුණු සංකේතයක් බෙද­මින් සිටි සඟ­රු­වන දක්නට ලැබිණි.

ථූප­වංස, ධාතු­වංස කතා හා මහා­වංශ පුවත් එක්කොට ලිය­න්නට හැදූ පිට­පතේ මොකක් හෝ අවු­ලක් ඇති බව වැට­හුණේ මේ සියල්ල ගළ­පා­ගෙන එද්දීය.

ථූප­වංස පුව­තට අනුව බුදුන් බුද්ධ­ත්ව­යට පැමිණ පස් වැනි අවු­රුද්දේ බක් මස අමා­වක පොහොය දින බුදුහු නාග­දී­ප­යට වැඩි­යහ. ඒ වඩින්නේ චූලෝ­ධර හා මහෝ­ධර නා රජුන් අතර මිණි පළ­ඟක් නිසා හට­ගත් යුද්ධය සංසි­ඳු­ව­න්නට ය. එහිදී බුදුහු යුද්ධය සංසි­ඳුවා දහම් දෙසූහ. සිය බෑන­නු­වන් වූ මහෝ­ද­රට යුද සහාය සඳහා නාග­දී­ප­යට පැමිණ සිටි මණි­අ­ක්ඛික නම් නා රජෙක් විය. මණි­අ­ක්ඛිත කැල­ණිය රාජ­ධා­නිය කර­ගත් රජ කෙනෙකි. බුදුන් ගේ බණ අසා සෝවාන් වූ බව කියන මණි­අ­ක්ඛිත නා රජු බුදුන් වහ­න්සේට කැල­ණි­යට වඩින සේ ආරා­ධනා කළහ. එම ආරා­ධ­නාව පිළි­ගත් බුදුහු පන්සි­ය­යක් භික්ෂූ­න්ව­හන්සේ සමග බුද්ධ­ත්ව­යෙන් අට වන වර්ෂ­යෙහි වෙසක් පුර පස­ළො­ස්වක පුර පොහොය දා කැල­ණි­යට වැඩි සේක. බුදු­න්ව­හන්සේ ඇතුළු මහා සංඝයා වැඩ සිටියේ මණි­අ­ක්ඛිත නා රාජ භවනේ කරන ලද රුවන් මණ්ඩ­ප­යක් මතය. ථූප­වංස පුව­තට අනුව දැනට කැලණි දා ගැබ ඇත්තේ එතැ­නය.

පූජාව සිදුකළ කොස්ගහ තොටුපොළ

මහා­චාර්ය සෙන­රත් පර­ණ­වි­තා­න­යන්ට අනුව බුදුන් ලංකා­වට වැඩම කළ බවට කිසිම පුරා­වි­ද්‍යා­ත්මක සාධ­ක­යක් නැත. බුදුන්ගේ ලංකා ගමන වන්ද­නීය සංක­ල්ප­යකි. එය ඇත්තේ බැති­ම­තුන්ගේ හද­වත් තුළය. වංශ­කථා ලියැ­වෙන්නෙ ශ්‍රැති ගෝචර සමා­ජ­යක මනු­ෂ්‍ය­යන්ගේ ශ්‍රද්ධා ගුණය වර්ධ­නය කර ශික්ෂිත මිනි­සුන් බිහි කර­ගැ­නී­මේත්, වීර්ය වැඩි කර තමා පෙළන සතුරු ආක්‍ර­මණ සඳහා මුහුණ දීමට ඇවැසි පෞරු­ෂය නිර්මා­ණය කිරී­මේත් අනි­වාර්ය වූ සමාජ පර­මාර්ථ පෙර­දැ­රි­වය. සාහි­ත්‍ය­යික පද­න­ම­කින් ලියැ­වෙන ධාතු­වං­සය, ථූප­වං­සය, මහා­වං­සය තුළ බහා ඇති නාග­යන් පිළි­බඳ වූ මේ කතා තුළ පවා දක්නට ඇත්තේ මොවුන් ගංගා පත්ලේ ජීවත් වන තිරි­ස­නුන් නොව, ප්‍රභා­මත් බුද්ධි­යක් සහිත සශ්‍රීක මිනි­සුන් පිරි­සක් බවය. නාග ගෝත්‍රික මිනි­සුන් පිළි­බඳ ටොලමි ( ක්‍රි.ව.87 -150) දැන­ගෙන සිටි­යේය. ටොල­මිගේ සිති­යමේ මුල­තිව්, වවු­නියා, හා ත්‍රීකු­ණා­ම­ලය අතු­ළත් මහ­වැලි ප්‍රදේ­ශය නාග දීපය ලෙස නම් කර තිබිණි. 18 වැනි සිය­ව­සට අයත් ඕලන්ද සිති­ය­ම්ව­ලත් නාග ඉඩම් ලෙස සම­හර ඉඩම් නම් කර තිබිණි. රට පාල­නය කළ උප­රාජ මහා නාග, ඛල්ලා­ට­නාග, චෝර­නාග, මහා­දා­ඨික මහා­නාග, ඉල­නාග, මහ­ල්ලක නාග, කුඩ්ඪ­නාග, අභය නාග, සිරි­නාග, සතුන් නොව නාග වංශික මිනි­ස්සුය.

වව්නි­යාවේ නිරා­වි­යෙන් හමු වන ලංකාවේ කාල නිර්ණය කළ හැකි පැර­ණිම සෙල් ලිපි 4ක ලෙන් පූජා­වන් කළ නාග ගෝත්‍රික බෞද්ධ­යන් ගැන සඳ­හන් වේ. ඒ හත­රේම ඇත්තේ නා රජුගේ දිය­ණිය වූ අනු­රධ කුම­රිය හා ඇගේ සැමියා වන උත්තිය රජු ගැනය. උත්තිය යනු දෙවන පෑ තිස් රජුගේ සොයුරා ය. සර­ලව තේරුම් ගත යුත්තේ මණි­අ­ක්ඛික නම් නා රජෙක් විසූවේ නම් ඔහු ගං පල්ලේ ජීවත් වූ කබර නයෙක් නොවන බවත්, බුදුන් පවා ආරා­ධ­නා­ව­කින් වැඩම කළ හැකි තරම් පෞරු­ෂ­යක්, ශ්‍රද්ධා බුද්ධි­යක්, සහිත වැඩ­දායී උත්තුංග මනු­ෂ්‍ය­යෙක් බවය.

රුව­න්මැලි සෑයේ ධාතු නිධාන කතාව

රුව­න්මැලි සෑයේ ධාතු නිධාන කතාව අසා සිටී­මට තරම් රස­වත් සාහි­ත්‍ය­යික නිර්මා­ණ­යකි. ශ්‍රද්ධාව වඩ­වන අපූර්ව රච­න­යකි. ධාතු නිධා­නෝ­ත්ස­ව­යට ඇවැසි ධාතු නා ලොවින් ගෙන්වීම සඳහා මහා සංඝයා රැස් වී එම ධූත මෙහෙ­වරේ යොද­වන්නේ රහ­ත­න්ව­හන්සේ නමක් නොව, අභි­ඥා­ලාභී සෝනු­ත්තර නම් සාම­නේර නමකි. උන්ව­හන්සේ සොළොස් හැවි­රිදි ය. මේ ප්‍රබ­න්ධ­යට රහ­තුන් සම්බන්ධ කර නොගැ­නී­මට තරම් සාහි­ත්‍ය­ක­රුවා විච­ක්ෂ­ණය.

රුව­න්මැලි සෑයේ ධාතු නිධා­නය පූර්වා­පර සංධි ගළපා කළ පබැ­ඳු­මකි. රුව­න්මැලි සෑයේ ධාතු ගැන මුලින්ම සඳ­හන් කරන්නේ පිරි­නි­වන් මංච­කයේ වැඩ හිඳින බුදු­න්ව­හ­න්සේය. තම­න්ව­හන්සේ පිරි­නි­වන් පෑ පසු ධාතු ද්‍රෝණ අටක් කෝලිය රජ දරු­වන්ට ලැබෙන ආකා­ර­යත් ඉන් එක් ද්‍රෝණ­යක් නිදන් කර රාම­ග්‍රා­මයේ තැනූ දාගැබ බිඳී ගොස් ධාතු කර­ඬුව මුහු­දට වැටෙන ආකා­ර­යත් එම කර­ඬුව ගැන මාංඤ­රික නම් නා රජු මඟින් දැන­ගන්නා මහ­කෙළ නාග රජු එය රැගෙන ගොස් රන් රුව­නින් ආඪ්‍ය ධාතු මන්දි­ර­යක් තනා එහි තැන්පත් කරන ආකා­ර­යත් කතු­ව­රයා බුදුන්ගේ මුවට නන්ව­න්නේය. අජා­සත් රජු හා ධර්මා­ශෝක රජු ධාතු ද්‍රෝණ අටෙන් එකක් අඩු බව දැන­ගෙන විම­සන විට නා ලොවේ එම ධාතු ඇති බවත් රුව­න්වැලි සෑයේ තැන්පත් වන්නේ ඒ ධාතු බවත් කතු­ව­රයා රහ­තුන්ගේ මුවින් කිය­ව­න්නේය. අන­තු­රුව නා ලොවට කිමි­දෙන සෝනු­ත්තර සාම­නේර තැන මහ­කෙල නා භව­නට වැද ධාතු පිළි­බඳ විම­සන ආක­ර­යත්, මහ­කෙළ නා රජු මහා සිය බෑන­නු­වන් නාග වෙස­කට හරවා ඔහුගේ උද­රයේ ධාතු කර­ඬුව සඟවා මහා­මේරු පර්ව­තය පාමු­ලට යවන ආකා­ර­යත්, අන­තු­රුව ප්‍රයෝ­ග­ය­කින් එම කර­ඬුව නා රජුගේ උද­ර­යෙන් ගන්නා සෝණු­ත්තර සාම­නේ­ර­යන් අනු­රා­ධ­පු­ර­යට වැඩම කරන ආකා­ර­යත් එම සාහි­ත්‍ය­යික රච­නයේ දැක්වෙයි.

සංජීව තොටුපොළ පෙන්වමින්

කැල­ණි­යේදී සිදු වන්නේ මේ කතා දෙක රී මික්ස් කර සකස් කර­න්නට හැදූ පිට­පත මහා­වං­ස­ක­රුගේ ප්‍රභා­මත් සාහිත්‍ය රච­නා­වට සම වනවා වෙනු­වට ප්‍රේම දඩ­යමේ කොපි­ය­කට සමාන වීමය. තමන්ගේ අපේ­ක්ෂ­ක­යෙකු දුටු­ගැ­මුණු කාල­යට වඩ­මවා අභි­ෂේක කර­න්නට ගොස් නා ගැනීම සිත් අල­වන සුලු වූයේය. අප කැලණි විහා­ර­යට යන්නේ මේ සිද්ධියේ මුල මැද අග බලා­ග­න්න­ටය.

කැල­ණිය විහා­රයේ වග­කි­ව­යු­ත්තෙ­කු­ගෙන් ඒ ගැන ප්‍රකා­ශ­යක් ගැනී­මට ගියත් නායක හාමු­දු­රු­වන් කඨින පින්ක­මක් සඳහා විදේ­ශ­ගත වී සිටි­යේය. විහා­ර­ස්ථා­නයේ ස්වාමින් වහ­න්සේගේ අද­හස වී තිබුණේ ඒ ගැන මාධ්‍ය­යට කියා පලක් නැති බවය. මාධ්‍ය මේ දේවල් පිළි­ගන්නෙ නැති බවය.

කැල­ණියේ සරන බැති­ම­තුන් නම් ධාතු පැමි­ණියේ මණි­අ­ක්ඛික නා රජුන්ගේ නාග භව­නෙන් බව කැට දමා කීහ.

“අයෙ ඉතින් මොන­වද මේ කියන්නෙ. ඔය නාග ලෝකෙට ගිය මහ­ත්තයා මණි­අ­ක්ඛිත නා රජ්ජු­රුවො එක්ක නිත­රම කතා බස් කර­නවා. නා රජ්ජු­රුවො එක්ක කතා බහ කරලා තමයි ධාතු ගෙන්න­ගෙන තියෙන්නෙ. පෝය දවසේ ධර්ම දේශ­නා­වේදී ලොකු හාමු­දු­රු­වොත් ඒ මහ­ත්තයා ළඟ තියා­ගෙන බණට කිවුවා එතුමා නාග දූත­යෙක් කියලා. ඒ මහ­ත්ත­යගෙ ඇඟේ පාට දැක්ක ද… දැක්කා නම් පෙනේවි. දෙකක් නෑ එතුමා පින්වන්ත නාග රාජ­යෙක් “. නිත­රම කැලණි පන්සලට යන එන සිල් මාතා­වක් කීවාය.

“අර බෝතලේ දාල හිටිය නාග රජයා… අම්මෝ ලස්සන… මහ­ත්තයා දැක්කද ඒ නයාගෙ වයිරං… සිරි­යාවෙ බෑ. නාග ලෝකෙ නයි මෙහෙ නයි වගේ නෙමෙයි. හරිම සිරි­යා­ව­න්තයි.” එසේ කීවේ සුදු වතින් සැරසී සිටි විය­පත් මාතා­වකි.

“ඔය සිදු වීම ගැන අපි මුකුත්ම දන්නෙ නෑ. අපි දැක්කෙත් ටීවී නිවු­ස්ව­ලින්. මං කෙළින්ම කිය­නවා…හාමු­දු­රුවෝ වැරැදි වැඩක් කළේ… දායක සභාව දැනු­වත් කරන්න උන්ව­හ­න්සේට තිබුණා… දායක සභාව රැස් කරන්නෙ පෙර­හර පව­ත්වන්න විත­රයි. පන්සල තනි­ක­රම පාල­නය වන්නෙ හාමු­දු­රු­වන්ට ඕන විදි­හ­ටයි. ඔය උදාර කියන කෙනා එක් වතා­වයි මං දැකලා තියෙන්නෙ. පන්ස­ලක් වුණාම කිසිම දේශ­පා­ල­න­ඥ­ය­කුගේ අත­කො­ලු­වක් නොවිය යුතුයි. කැල­ණිය පන්සල කියන්නෙ මුළු ර‍ටේම මිනි­සුන්ට අයිති පුණ්‍ය භූමි­යක්…” නම සඳ­හන් කිරී­මට අක­මැති කැලණි විහා­රයේ දායක සභාවේ මහ­ත්ම­යෙක් පැව­සු­වේය.

තොටියා කී කතාව

නා රජු වෙනු­වෙන් පූජාව පවත්වා තිබුණේ කැලණි විහා­රය ඉදි­රි­පිට තිබෙන සිවු­රු­ගල නම් ස්ථාන­යට එපි­ටින් වූ කොස්ගහ තොටු­පළ නමැති ස්ථාන­යේය. එම ස්ථාන­යට ගිය අපට හමු වූයේ කැලණි විහා­ර­යට යාබ­දව වෙසෙන සංජී­වය. පර­ම්ප­රා­වෙන්ම උරුම වූ කැලණි ගඟේ පාරුව හසු­රු­වන්නේ ඔහුය.

ධාතු ලබා­ගැ­නී­මට කැලණි ගංදි­යට උදාර මධු­සංක රැගෙන යන්නෙ සංජී­වය. මේ ඔහු අපට කී කතා­වය.

“මං මේ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. නව වැනිදා දවල් වෙද්දී පන්ස­ලෙන් පණි­වි­ඩ­යක් ලැබුණා. මෙහෙම දෙයක් වෙනවා… ඒ පුද්ග­ල­යාට පීනන්න බෑ… එයාව ආරක්ෂා කර­ගන්න කියලා. මං තව මගේ ගෝල­යෙ­කුත් සූදා­නම් කර­ගත්තා. ඔය දවසේ රෑ දහ­යට විතර ගිහින් කොස්ග­හ­ළඟ තොටු­ප­ළෙන් බැස්සා. ඊට පෙර තොටු­ප­ළේදී ඒ මහ­ත්මයා පූජා­වක් කළා. ලොකු හාමු­දු­රු­වෝත් පොලි­සියේ මහ­ත්ත­ය­කුත් සමඟ තවත් අය හිටියා.

එයාට ඉණ මට්ට­මට වතු­රට යන්න ඕනේ කීවා. ඔහු සර­මක් ඇඳ­ගෙන ගඟට බැස්සෙ… පස්සෙ තවත් යන්න ඕන කිව්වා. නාග ලෝක­යෙන් කතා කර­නවා කීවා… මං එයාව ඉණෙන් අල්ලා ගත්තා. ගෝලයා අතින් අල්ල ගත්තා. ඇයි පීනන්න බෑනේ. ඊට පස්සෙ අයින දිගේ අපි තුන්දෙ­නාම යන­කොට පොඩි වළ­කට වැටුණා. දහය හමා­රට විතර බැහැලා දොළ­හ­මාර විතර වෙන­කල් වතුරේ හිටියා. හෙල්ලෙ­න්න­වත් බෑ. මම පණ බයේ.

මොකද ගඟේ ඉන්න කිඹුල්ලු ප්‍රමා­ණය අපිනේ දන්නෙ… අපිව ගෙනිච්චෙ නයි පෙණ වගේ මොන­වාදෝ ආර­ක්ෂා­වට අත්වල පල­ඳ­වලා. එක­පා­ර­ටම ගඟේ එහා ඉවු­රෙන් උණ පඳු­රක් කඩා­ගෙන වැටෙන ආකා­ර­යෙන් ශබ්ද­යක් ආවා. කපු මහ­ත්තයා මට හිමි­හිට කීවා, “ඔන්න දැන් වඩි­නවා කියලා. සුදු පාට නයි පෙණ­යක් වගේ එකක් මතු වුණා. අැවිත් ඒ එක්කම යට ගියා… මගේ ගෝල­යත් දැකලා. එක­පා­ර­ටම රැල්ලක් ආවා. කපු මහ­ත්තයා කීවා “ඔය දැන් ළඟම එනවා… බය­වෙන්න එපා මං ආරක්ෂා කර­නවා කීවා. ඒ කියලා විනාඩි පහක් ගියේ නෑ. එයාව බඩෙන් විත­රක් අල්ල­ගන්න කීවා. ඔහු අත්දෙක එක­තු­කොට දික් කරලා වතුර හෙල්ලුවා. එක­පා­ර­ටම අර කරඬු වහන්සෙ අත උඩට ආවනේ… තනි­ක­රම චෛත්‍ය කර­ඬු­වක්. රන්වන් පාටයි. ඒක ඇතුළේ තමයි ධාතු තියෙ­නවා කීවේ.”

ඒ අනුව මධු­සංඛ මහ­ත්තයා නා ලොවට ගිහින් නාග­යාගේ කට විවර කර එහි වැඩ සිටි කර­ඬුව ගෙනත් නැත. තොටියා බඩ මැදින් අල්ලා­ගෙන සිටිද්දී නා ලොව මධු­සංඛ මහ­ත්තයා ළඟට පැමිණ තිබේ.

“කර­ඬුව අරන් ගොඩට ආවා… එතැ­නදී මගේ ගෝල­යාට කීවා කර­ඬුව වැරෙන් අල්ල­ගන්න… දැන් ඕක වඳින්න නාගයෝ එනවා කියලා. ඒ එක්කම කපු මහ­ත්තයා බෝත­ල­යක් ඉල්ලුවා. මට නැව­තත් කීවා එයා අල්ලන්න කියා. මං කීවා දැන් නම් මට අල්ලන්න බෑ… මෙච්චර වෙලා මහ­ත්තයා අල්ල­ගෙන හිටි­යනේ… මරුවා සමඟ වාස­යක්නේ කළේ කියලා. මං බලා­ගෙන හිටියා. නාගයෝ පස්දෙ­නෙක් වතු­රෙන් මතු වෙලා ආවා … එක නයෙක් කෙළින්ම ආවේ බෝත­ල­යට. ඕක තමයි වුණේ…” බෝතලේ ඉන්න නයා ගැන ඔහු කීවේ එසේය.

මේ අවට නයි එහෙම ඉන්නවා ද? මම ඇසු­වෙමි.

“අපෝ මේ හරියෙ නයි ඕනෑ තරම් ඉන්නවා… මහ­ත්ත­යට කීවේ මං දැකපු කතාව… ඒකෙන් පස්සෙ මට නින්ද යනවා අඩුයි…එච්ච­රයි.” ඔහු කීවේය.

නයි කතාව එසේය. ධාතු කතාව ගැන නම් දුකය. බුදුන් වැඩියා ද නැද්ද යන්න නම් හරි­ය­ටම කිය­න්නට දන්නේ නැත. අඩුම තර­මින් කැලණි විහා­රය සිංහල කලා සම්ප්‍ර­දායේ නූතන ප්‍රති­මූ­ර්තිය බඳු කලා ගාරය ය. එහි ගෞර­ව­ය­වත් මේ නයි නට­ව­න්නට ගිය ඇත්තන් කල්පනා කළා නම් කැල­ණිය මේ තර­මට කොමි­ටල් වෙන්නේ නැත. දෙවි­යන්ට කියා රී ලෝඩ් ගෙන්වා­ගෙන බැටරි චාජ් කර දෙන්නට ගිය පාස්ටර් ගානට මහා­චාර්ය බෞද්ධ භික්ෂු­වක් ඇද වැටුණේ ඇයි දැයි තේරෙන්නේ නැත. එම හැසි­රීමේ මූලය දේශ­පා­ල­නික නම් සාස­න­යට තුනු­රු­වන්ගේ සර­ණය.

ඡායාරූපය – රංජිත් අසංක